Print this Article


 ධම්මපදයෙන් ජීවිතයට:  ඇතොත් නුවණළඟය නිවන

ඇතොත් නුවණළඟය නිවන

අප්පමාදරතො භික්ඛු - පමාදෙ භයදස්සි වා
අභබ්බො පරිහාණාය - නිබ්බාණස්සෙ’ව සන්තිකෙ
ඇලුණු නො පමාවෙහි - බිය දක්නා පමාවෙහි
 

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් නිගාමවාසී තිස්ස තෙරුන් වහන්සේ ඇරබ මේ ගාථාව වදාළ සේක.

සැවැත් නුවරින් නුදුරෙහි එක්තරා නියම් ගමෙක ප්‍රභූ පවුලක තරුණයෙක් බුදු සස්නෙහි පැහැද පැවිදි වූයේ ය. නියම් ගමකින් පැවිදි වූ හෙයින් උන්වහන්සේට නිගාම තිස්ස යන නම ව්‍යවහාර විය. ඉතා සැදැහැයෙන් පැවිදි දම් පිරූ උන්වහන්සේ ගේ අල්පේච්ඡ, සන්තුෂ්ට ගුණය හා විනය ගරුක ශික්ෂාකාමී චර්යාව පිළිබඳව ඉතා ඉක්මණින් ම පැතිර ගියේ ය. උන්වහන්සේ තම ඤාතීන් විසූ ගමෙහි නිතර පිඬුසිගා ගිය හ. නුදුරෙහි ම වූ සැවැත් නුවර අනේපිඬු සිටාණන් වැනි සැදැහැති දානපතියන් විසූව ද, මහා සංඝරත්නයට නිතර ගරු සත්කාර කළ සිවුපසය පිළිගැන්වූ පසේනදී කොසොල් රජතුමා සිටිය ද උන්වහන්සේ කිසි කලෙක එහි නො ගියහ.

දිනක් භාග්‍යවතුන් වහන්සේ හමු වූ භික්ෂූන් වහන්සේ පිරිසක් උන්වහන්සේට මෙසේ සැළ කර සිටිය හ. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ නිගාමතිස්ස භික්ෂුව තම ඤාතිවරුන් මධ්‍යයේ ම වාසය කරන්නේ ය. මෙතරම් සැදැහැති දානපති අනේපිඬු මහ සිටාණන් සිටිය ද, අසදෘශ දන් දෙන පසේනදී කෝසල රජතුමාණන් විසුව ද ඒ කිසිවකු ගේ පුණ්‍ය කර්මයකට නො පැමිණෙයි.” භාග්‍යවතුන් වහන්සේ ඒ අසා නිගාමතිස්ස හිමියන් සැවැත් නුවරට කැඳවූහ. “භික්ෂුව, ඔබ ඤාතීන් අතරම රැඳී ඔවුන් වෙතම පිඬු සිඟා යමින් ඔවුන්ට ම සීමිතව කුල සංඝට්ඨ ව සිටින බව සැබෑදැ යි විමසා සිටිය හ. “භාග්‍යවතුන් වහන්ස, මම කුලයන් හා බැඳී නො වෙසෙමි. මා පිළිගන්නේ මට යැපෙන්නට අවශ්‍ය තරමේ භෝජනයක් පමණි. මට ලැබෙන අහර සුළු හෝ වේවා මඳ හෝ වේවා ප්‍රනීත වේවා ප්‍රනීත නො වේවා මම ඉන් කම්පා නො වී ලද දෙයින් සතුටු වෙමි. වැඩිපුර හෝ වැඩි මිහිරට හෝ මම නො වෙහෙසෙමි. එසේ අල්පේච්ඡ ව ජීවත් වනු මිස ඤාතීන් කෙරේ ඇලී ජීවත් නො වෙමි” යි නිගාමතිස්ස හිමියෝ ප්‍රකාශ කර සිටියහ.

භාග්‍යවතුන් වහන්සේ “සාධු, සාධු භික්ෂුව ඉතාමත් සුන්දර ය”යි පවසා භික්ෂූන් වහන්සේ අමතා මෙසේ ප්‍රකාශ කළහ. “මහණෙනි, මා වැනි ගුරුවරයෙක් ලත් ඔබ අල්පෙච්ඡ වීම පුදුමයක් නොවේ. මගේ පරපුරේ මගේ පුරුද්දේ ආකාරය මෙය ය.” එසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ නිගාමතිස්ස හිමියන්ගේ අල්පේච්ඡතාව කීර්තනය කරමින් මේ කතා පුවත ද වදාළ හ.

එක් කලෙක හිමවත පෙදෙස ගංගා නම් ගඟ ඉවුරේ දිඹුල් වනයක ගිරව් දහසක් පමණ විසූ හ. කලක දී මේ දිඹුල් ගස වියළී මැරී යන්නට වූයෙන් බොහෝ ගිරවු එය හැර ගිය හ. එහෙත් එක් ගිරවෙක් තමා විසූ ගසෙහි ඵල නැති කල ද කොළ, පොතු ආදිය කමින් ගඟේ දිය බොමින් විසී ය. ඔහු ගේ අල්පේච්ඡතාව හේතුවෙන් ශක්‍රයා ගේ මන්දිරය පවා කම්පා විය. හෙතෙම ගිරවා වඩාත් විමසනු පිණිස ගස වියළී කුඩු හැලෙන තත්ත්වයට පත් කළ ද හේ එතැනින් නො ගියේ ය. එයින් ප්‍රසන්න වූ ශක්‍ර දේවේන්ද්‍ර තෙම ඔහු විසූ වනය නැවත සරු සාර ඵල බර උයනක් බවට පත් කළේ ය. එකල “ගිරා රජවත් අල්පේච්ඡභාවය ප්‍රගුණ කළ මගේ පරපුරේ එක් පුරුකක් වූ මේ නිගාමතිස්ස මෙසේ අල්පේච්ඡවීම පුදුමයක් නො වේ යැ’යි වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළ හ.

අප්පමාදරතො - අප්‍රමාදයෙහි

ඇලුණු

පමාදෙ – ප්‍රමාදයෙහි

භයදස්සි වා - භය දක්නා

භික්ඛු - භික්ෂුව

නිබ්බාණස්ස - නිර්වාණයෙහි

සන්තිකෙ - සමීපයෙහි

සිටියේ

පරිහාණාය – පරිහාණියට

අභබ්බො එව - සුදුසු

නොවන්නේ ම ය.

අප්‍රමාදයෙහි ඇළුණු, ප්‍රමාදයෙහි භයංකරත්වය හඳුනන භික්ෂුව නිවණට සමීප ව වසන හෙයින් පිරිහෙන්නට සුදුසු නොවේ.