Print this Article


අවිද්‍යාව නිසා තෘෂ්ණාව උපදී

අවිද්‍යාව නිසා තෘෂ්ණාව උපදී

මෙම ලිපියෙහි 04 වන කොටස දුරුතු අමාවක (ජනවාරි 24) පත්‍රයෙහි පළවිය.

ඇතැම් පුද්ගලයන් උදෙසා ලෝකය, ආත්ම සංකල්ප, දුක හා තණ්හාවේ ස්වභාවය ආදිය පැහැදිලි කිරීමේ දී තමන්ගේ කැමැත්ත පරිදි ලෝකය නො පවතින බව හා තණ්හාව දුරු කළ යුතු බව ප්‍රකාශ වන දේශනා ඇතුළත් සූත්‍ර නැත්තේ නොවේ.

අනෙක් දහම් කරුණු මෙන් ම දුක, තණ්හාව වැනි දහම් කරුණු විවරණය කිරීමේ දී ද ඒ ඒ පුද්ගලයන්ට වැටහෙන ප්‍රමාණය අනුව ධර්මය අවස්ථාවෝචිත ව දේශනා කිරීම බුදුරදුන්ගේ මෙන් ම ශ්‍රාවකයන්ගේ ද ස්වභාවය විය. ඇත්ත වශයෙන් ම බුදුදහම තුළ පරමාර්ථමය දේශනාවන්හි දී දුක හා තණ්හාව පුද්ගලයෙකුට අයත් කොට නොදැක් වේ. තෘෂ්ණාව හටගන්නා ආකාරය බොහෝ සූත්‍රවල විවරණය කොට තිබේ. "මම" යැයි හැඟීමක් ඇති කල්හි මගේ යැයි හැඟීමක් වේ. "මම" කියා කෙනෙකු නොවේ නම් "මගේ" යැයි දෙයක් නොමැත. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා පඤ්චඋපාදානස්කන්ධයෙහි සත්‍ය තත්වය නො දැකීමෙන් "මම" යැයි වරදවා ගැනීම වන බවත්, එසේ ඇති කල "මගේ" යැයි ගැනීම වන බවත් බුදුරදුන්ගේ 12 සංයුත්තනිකාය 2, මොළියඵග්ගුන සූත්‍රය, 23 පිට දේශනය යි. මේ අනුව තෘෂ්ණාව යනු හේතුඵල දහම නොදන්නා වූ අවිද්‍යාව නිසා උපදින ධර්මයකි. හෙවත් හේතුඵලයකි. එම තණ්හාව සහමුලින් ම දුරු කළ හැක්කේ හේතුඵල දහම දන්නා වූ විද්‍යාව පහළ වීමෙන් පමණි. ඉන් මෙපිට කළ හැක්කේ තණ්හාව යටපත් කිරීම විනා නැති කිරීම නොවේ. ඒ අනුව පඤ්ච උපාදානස්කන්ධ ධර්මයන් හේතූන් නිසා හටගෙන, හේතූන් නැතිවීමෙන් නැතිවන ධර්ම වශයෙන් දැකීමෙන් අහංකාර මමංකාර (මම ය මාගේ ය යන හැඟීම) දුරු වන බව බුදුදහමෙන් ප්‍රකාශ වේ. සත්වයා සම්බන්ධ සමස්තය ම හේතුඵල න්‍යායකින් සියුම් විවරණයකට භාජනය කිරීම පටිච්චසමුප්පාදයෙන් සිදු කෙරේ. අතිශය ගැඹුරු දහම් විවරණයක් වන හේතුඵල දහම විකෘති කොට ලඝු අර්ථයකින් දැක්වීම බුදුදහමේ හදවතට එල්ලකරන පාපී පහරකි. එබැවින් එවැනි මතවාද දුරු කිරීම හා ඒවාට හසු නොවීම දෙලොව යහපතටත්, නිවන් මගටත් මහෝපකාරයක් බව කිව යුතු ය.

පඤ්චශිලය විකෘති කිරීම

බුදුරදුන් වදාළ පඤ්චසීලය එසේ නො වදාළ බව කියමින් පඤ්චසීලය යනු බමුණන්ගේ වතක් වශයෙන් නිග්‍රහ කිරීම ද පන්සිල් රැකීමට අනුශාසනා කරන භික්‍ෂූන් වහන්සේලා බමුණුමත හා නිගණ්ඨ මත ප්‍රකාශ කරන්නවුන් යැයි ගැරහීම ද යථොක්ත ධර්ම විකෘතිකයන් විසින් සිදු කරනු ලැබේ. ප්‍රාණඝාතාදියෙන් වෙන්වීම පිළිබඳ බුද්ධ දේශනා ත්‍රිපිටකයෙහි බෙහෙවින් දක්නට හැකි ය. ඒ අතර දීඝනිකායෙහි මුල් සූත්‍ර රාශියක ම සීලය පිළිබඳ විග්‍රහයන්හි මෙවැනි දේශනා සුලභ ව හමුවේ. පඤ්ච දුශ්චරිතයෙහි යෙදීමෙන් ගෙනයන ලද්දක් බහා තබන්නාක් මෙන් නිරයෙහි උපදින බව නිරය සූත්‍රයෙහි දැක්වේ. තථාගතයන් වහන්සේ පැන වූ ශික්‍ෂාපද ශ්‍රාවකයන් විසින් ජීවිත හේතුවෙන් ද නො ඉක්මවන බව පහාරාදයන්ට දේශනා කොට තිබේ. රහතුන් දිවි ඇති තුරාවට ප්‍රාණඝාතාදියෙන් වැළකුණු බව සිහි කරමින් තමන් ද ඒවායෙන් වැළකිය යුතු බව නවංගුපොසථ සූත්‍රයේ දැක්වේ . අභිධර්ම පිටකයෙහි ද සික්ඛාපද විභංගයෙහි දී පඤ්චසීලය පිළිබඳ විග්‍රහ වේ. පඤ්චසීල ප්‍රතිපදාව නිග්‍රහයට ලක් කරන මොවුන් නිවැරැදි පඤ්චසීලය නම් පහාණ සීල, වෙරමණී සීල, චෙතනා සීල, සංවර සීල, අවිතික්කම සීල යනුවෙන් දක්වනු ලැබේ. සීලය පිළිබඳ මෙබඳු හැඳීන්වීමක් පටිසම්භිදාමග්ගප්පකරණයෙහි දක්නට ලැබේ. පද කිහිපය පමණක් ගෙන ධර්මය විකෘති කිරීමේ අදහසින් නියම පඤ්චසීලය මෙය යැයි කීව ද, කුමක ප්‍රහාණය ද?, කුමකින් වෙන් වීම ද ?යි මොවුහු නො කියති. එවැනි විග්‍රහයක් කළ හොත් නැවතත් ප්‍රාණඝාතාදියෙන් වෙන්වීම පිළිබඳ කීමට සිදු වන බැවින් ඒ ගැන

13 අංගුත්තරනිකාය 3, 276 පිට

14 අංගුත්තරනිකාය 5, 86 පිට

15 අංගුත්තරනිකාය 5, 428 පිට

16 විභංගප්පකරණය 2, 104 පිට

විස්තර නො කර සිටී. පටිසම්භිදාමග්ගප්පකරණයේ දැක්වෙන සීලය පිළිබඳ විභාගයේ දී ම ප්‍රාණවධයාගේ ප්‍රහාණය සීලය, වෙන්වීම සීලය ආදි වශයෙන් ඉතා පැහැදිලිව සඳහන් වී තිබේ.

මෙම ලිපියෙහි තවත් කොටසක් නවම් පුර පසළොස්වක (පෙබරවාරි 08 ) පත්‍රයේ පළවේ