Print this Article


ශික්ෂණය සහ ප්‍රඥාව

ශික්ෂණය සහ ප්‍රඥාව

මිනිස්සු මුළාව තුළ ජීවත් වීමට කැමැත්තක් දක්වති . මුළාව තුළ යම් රාසාස්වාදයක් තිබීම ඊට හේතුව වේ. යමෙකු යම් දෙයක් සිතෙහි මෙහෙයුම යටතේ ලබාගැනීමට ප්‍රයත්න දරන විට එයට බාධා කරන යම් බලවේගයක් වෙතොත් එය විනාශ කර දැමීමට ඔහු හෝ ඇය තුළ ශක්තියක් ජනිත වේ. ඒ අන් කිසිවක් නොව ද්වේශය යි.

ඕනෑම ද්වේශයක මුළාව පවතින අතර, ඕනෑම මුළාවක ද්වේශය නෑකම් ව ඇත. නොසැලකිල්ල හා මුළාව අතර සම්බන්ධතාවයක් ඇත. මුළාව නැමැති දිලීරය වැඩෙනුයේ නොසැලකිල්ල නැමති අඳුර පවතිනවිට ය. නොසැලකිල්ල යනු අවුලට ඉඩ හැර බලා සිටීමයි . එවැනි සිතක අත්හැර දැමූ බිම් කැබැල්ලක වල් පැළෑටි වැඩෙනවා සේ රාග, ද්වේශ, මෝහ, ඊර්ෂ්‍යාව ආදී ක්ලේෂයන් ඉක්මනින් වර්ධනය වේ.

සැලකිලිමත් බව යනු ප්‍රවේසම හා අවධිමත් භාවයයි. මිහිතලයේ ජීවත්වීම ගැටලුවක් කරගෙන ඇති එකම සත්ත්වයා මිනිසා ය. මිනිසා පෙළෙන කුමන ගැටලුව ගත්ත ද එය ඇලීම හෝ ගැටීම පදනම් ව ඇති වූ එකකි. රාග, ද්වේශ, මෝහ, භය, මද, මාන යන ක්ලේෂයන්ගෙන් නොසෑහෙන තරමින් බැට කමින් මිනිසා ජීවත් වේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මිනිසුන් අතෘප්තියෙන් ජීවත් වී, අතෘප්තියෙන් මිය යන සත්ව කොටසක් බවත්, ලෝකය ම අතෘප්තිය මත ගොඩනැගී ඇති බවත් ය. මිනිසුන්ගේ තිරශ්චීන ගති පාලනය සඳහා බෞද්ධ චින්තය මහත් පිටිවහලක් හා අස්වැසිල්ලක් වී ඇත. බුදුන් වහන්සේ ගේ උත්තරීතර දේශනාවන්ට අනූකූල ව පන්සිල්, අටසිල්, ආජීවක, අෂ්ඨමක සීලය, දස සිල් වඩා වර්ධනය කළ යුතු ය. සීල, සමාධි, ප්‍රඥා දියුණු කොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවේශ විය යුතු ය. සසර දුකින් මිදීමට හැකි වනුයේ තෘෂ්ණාව ප්‍රහීණ කොට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස සෑම දෙයක්ම යථා පරිදි දැකිය හැකි යථාභූත ඥානය උපදවා ගැනීමෙනි.

පෞරුෂත්ව සංවර්ධනය

මිනිසාගේ සිතුම් පැතුම්, චර්යාවන්, චිත්ත චෛතසික ස්වභාවයන්, චිත්තවේග යන සියල්ලෙහි ම සංකලනයක් පෞරුෂය ලෙස සාමාන්‍යයෙන් හඳුනා ගත හැකි ය. ජේ.ඒ. හැඩ්ෆීල්ඩ් නැමැති මමෝ විද්‍යාඥයා විසින් ලියන ලද Childhood and Adolescence  නම් ග්‍රන්ථයේ ඔහු දක්වා ඇත්තේ දරුවෙකුගේ පෞරුෂය සකස් වීම ආරම්භ වන්නේ අවුරුදු දෙකහමාර සිට අතර දක්වා කාලය තුළ බවයි.

පෞරුෂය සකස් වීමේ අවස්ථා හතරක් ඇති බව හැඩ්ෆීල් පවසා ඇත. එනම් අනුකරණය (Imitation) භාවාරෝපණය (Suggestibility)  අනන්‍යතාව ( Identification)  හා ආත්මාඩම්බරය (EGO) යනුවෙනි. අනුකරණයේ දී සිදු වන්නේ අන් අය කරන දේ බලා සිට එය අනුගමනය කිරීමයි. භාවාරෝපණයේ දී තම ඇසුරට සමීප ව සිටින අයගේ හැඟීම් තමන් වෙතට ආරෝපණය කර ගැනීම සිදු වේ. අනන්‍යතාව තුළ තමා අන් අයට සමාන යයි සිතා කටයුතු කරයි. ආත්මාඩම්බරය තුළ අන් අයගේ උපකාරයක් හෝ සහයක් නොමැති ව, ස්වාධීන ව තමන්ට කි‍්‍රයා කළ හැකි බවට ගෞරවයෙන් යුතුව සිතා කටයුතු කරයි.

පුද්ගලයාගේ පෞරුෂය අංග කීපයක් ඔස්සේ වර්ධනය විය යුතු ය. ඒවා නම් කායික, මානසික, චිත්තවේගික, ආධ්‍යාත්මික, සාමාජික, සාදාචාරාත්මක හා සෞන්දර්යාත්මක යන අංශයන්ය. නූතන සමාජයේ බොහෝ වැඩිහිටියන්, මව්පියන්, ගුරුවරුන් වැඩි වශයෙන් මහන්සි ගන්නේ දරුවන්ගේ කායික හා මානසික පෞරුෂාංගයන් වර්ධනය කිරීමට ය. මෙම උත්සාහය ද යහපත් එකකි. අනෙක් ඉහත කී අංශයන් මඟ හැරී යන විට දරුවාගේ පෞරුෂයේ සමතුලිතභාවය ගිලිහී යනු ඇත. එම තත්ත්වය දරුවාගේ ජීවිතයට පාඩුවකි . ඒ අනුව ඉහතින් දැක්වූ සියලු අංශයන්ට අදාළ ව දරුවෙකුගේ පෞරුෂාංග දියුණු කිරීම පූර්ණ පෞරුෂත්ව සංවර්ධනයක් ලෙස සැලකේ. බුද්ධි වර්ධනය උදෙසා හොඳ අධ්‍යාපනයක් ලැබීම ද පෞරුෂ සංවර්ධනයට ඉවහල් වන්නා වූ තවත් ප්‍රබල සාධකයකි. අධ්‍යාපනයක් නොලබන පුද්ගලයාගේ මානසික ශක්තිය එතරම් වේගයකින් වර්ධනය නොවන්නේ ය. ප්‍රඥාව මිනිසාගේ පාරිශුද්ධියට ඉවහල් වන බවත්, ප්‍රඥාව රත්නයක් බවත් බුදුන් වහන්සේ වදාරා ඇත්තේ එබැවිනි .