Print this Article


ලෝක මානයට ධර්මය ශ්‍රවණය කිරීම අර්ථවත් නැත

ලෝක මානයට ධර්මය ශ්‍රවණය කිරීම අර්ථවත් නැත

"පින් ලැබීමට හා යහපත් ක්‍රියාකාරකම් හුරුපුරුදුවීමට බණ ඇසිය යුතු ය. එසේ වුව ද, අසන හැම බණකින්ම පින් සිදුවනවා ද? නැත. ඇසූ පමණින් පින් වැඩෙන්නේ නැත. අසන දෙය අනුව පුද්ගල චර්යාවේ වෙනසක් ඇතිවිය යුතුවා සේ ම එම වෙනස බාහිර සමාජයට දෘශ්‍යමාන විය යුතු ය. පින් ලැබෙන්නේ එවිට ය. එසේ නොවන්නේ නම්, ඔහු හෝ ඇය අසන ලද බණ ලෝක මානයට ප්‍රමාණවත් වනවා විනා, පුද්ගල ජීවිතයට අර්ථයක් රැගෙන එන්නේ නැත. "

ඖෂධ ලබාගැනීම සියලු ම දෙනාට අවශ්‍ය වුවත්, අසනීපයක් නොමැති පුද්ගලයෙකුට ඖෂධවලින් ප්‍රයෝජනයක් ලැබේ ද?

එවැනි ම ආකාරයට අසනීපයක් තිබුණත්, එම ඖෂධ නිවැරැදි ආකාරයකට පාවිච්චි නොකරන පුද්ගලයෙකුට ඉක්මන් සහනයක් ලැබේ ද? ධර්මය නමැති ඖෂධය ද එබඳු ආකාරයෙන් ප්‍රයෝජනයට ගත යුතු ය. බණ අසන පුණ්‍යවන්ත පිරිස එහි ගෞරවය ආරක්ෂා වන පරිද්දෙන් ධර්මය ශ්‍රවණය කළ යුතු වා සේ ම, සමාජ යුතුකම් ඉටුකිරීම සඳහා ධර්මය ශ්‍රවණය කරන්නට ගොස් අවබෝධයෙන් තොරව ශ්‍රවණය කළාට පින්සිදුවන්නේ නැත. සිදුවන්නේ අයහපතක් පමණි. ලෝවැඩ සඟරාවේ වීදාගම මෛත්‍රිය හිමියන් විසින් ලියා ඇති කවියක මෙසේ සඳහන් වේ.

බිම ඉඳ සිට කී බණ නාසන්නේ
විමතිව උඩ ඉඳ සිට නාසන්නේ
කැමතිව කීවොත් විමසා පන්නේ
එම වද සඟමොක් සැප සාදන්නේ

හිටගෙන කියන්නා වූ බණ, නොගිලන්ව බිම හිඳගෙන නො ඇසිය යුතු ය. එසේ ම අන් නොයෙක් දේ සිතමින් හෝ උස් තැනක ඉඳගෙන හෝ හිටගෙන හෝ නොඇසිය යුතු ය. කොතැන්හි දී කීවත් ඉමහත් පි‍්‍රයමනාපයෙන් යුතු ව විමර්ෂණය කොට ඇසිය යුතු ය. ස්වර්ග මෝක්ෂ සම්පත් සිද්ධ කර දෙන්නේ එසේ යහපත් ලෙස ඇසු ධර්මය ම නොවේ ද? එසේ මැයි.

ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමේදී සාම්ප්‍රදායික ලෙස පරිසරය සකස් කොට ධර්මයට ගෞරවයක් ඇතිවන ඇතිවන ආකාරයට සකසා තිබිය යුතු ය. එම ස්වභාවය ආරක්ෂා කිරීම ගිහි පැවිදි දෙපක්ෂයේ ම වගකීම වෙයි. සැමදා එකම ආකාරයෙන් සියලු දෙයම පැවතිය යුතුය යන අදහස එයින් පැහැදිලි වන්නේ නැත. වෙනස්වීම අසාමාන්‍ය දෙයක් හැටියට සැලකීම වැරැදිය. එය සාමාන්‍ය දෙයකි. නමුත් යම් වෙනසක් සිදුකිරීමේ දී එය කළ යුතු වන්නේ හෝ සිදු විය යුත්තේ කෙසේද? යන වග ගිහි පැවිදි දෙපාර්ශ්වයේ ම මතකයේ නිතරම රැඳිය යුතු කරුණකි. යම් පුද්ගලයෙක් ධර්මය ශ්‍රවණය කරන්නේ නම්, එම අවස්ථාවේ දී සම්පූර්ණයෙන් ම තම සිත එය සඳහා යොමුකරවමින් සාවධානව ශ්‍රවණය කළ යුතු ය. (සබ්බ චේතසා සමන්තා හරිත්වා) වික්ෂිප්ත මනසින් හෝ අනදර සිතින් එය කරනු ලබන්නේ නම්, ධර්මය කෙරෙහි ගෞරවය නොමැති වන්නේ වෙයි. (වික්ඛිත්තෝවා අනාදරේනවා) අසන ලද ධර්මය අවිචාරවත්ව නො අසා විචාර පූර්වකව හොඳින් කරුණු විමසමින් ඇසිය යුතු වෙයි.

දස පුණ්‍ය ක්‍රියාවල සුති හෙවත් ඇසීම යනුවෙන් දක්වා තිබෙන්නේ ද බණ ඇසීම උතුම් පින්කමක් නිසා ය. යම් පුද්ගලයෙකු සතියකට එක් වරක් හෝ නියම ආකාරයෙන් ධර්මය ශ්‍රවණය කරනු ලබන්නේ නම්, ඔහුගේ ජීවිතය සුවපත්වෙයි. මනස ද සැහැල්ලු වෙයි. ධර්මයට ද ගෞරවය දක්වන්නේ නැතිව විචාරශීලි බවින් තොරව බණ අසන්නේ නම්, දිනපතා එය ඇසුව ද ඉන් ඵලක් වන්නේ නැත. ඉන් තමන්ට සිදුවන්නේ අයහපතක්ම පමණි. ඇතැම් විට තරගයට ධර්මය ප්‍රචාරය කරයි. ඇතැමුන් තරගයට ධර්මය ශ්‍රවණය කිරීමට පැමිණෙයි. එය එතරම් යහපත් ක්‍රියාවක් ලෙස දැක්විය නොහැකි ය. ධර්මයෙන් පැහැදිලි කරනු ලබන ප්‍රකට කරුණ වන්නේ ලෝකයේ කුමන තරඟ තිබුණත් සමාජ ජීවිතයේ දී පුද්ගලයාට අන් පුද්ගලයන් සමඟ තරග පැවැතිය නොහැකි ය. යම් පුද්ගලයෙක් එබඳු ආකාරයෙන් තරගයට යමක් කරන්නේ නම්, ඔහුට හෝ ඇයට ඉතිරි වන්නේ ඊර්ෂ්‍යාව හා මානය පමණි. ධර්මානුකූල ව එය යහපත් දෙයක් ලෙස දකින්නේ නැත. පුද්ගලයාට සමාජ ජීවිතයේ දී තරගය පවතින්නේ තමාට එරෙහිව මිස අන් අයට එරෙහිව නොවන බව ධර්මානුකූල ව විග්‍රහ කළ හැකි ය. එවිට ඔහු හෝ ඇය වෙනත් පුද්ගලයන් සමඟ ගැටීමට නො යයි. තමා යා යුතු නිවැරැදි මාවත හා නිවැරැදි තීන්දු තීරණ තමා විසින්ම ගනු ලබයි. තමාට පරාජය අත්වුව ද, ඉන් නතර වන්නේ නැත. උත්සාහය ද, උනන්දුව ද, තවදුරටත් වර්ධනය කරගනිමින් ජයග්‍රහණය කරා ගමන් කරයි. කළ යුතු නො කළ යුතු යහපත, අයහපත නිවැරැදිව වටහාගනිමින් ඒ අනුව කටයුතු කිරීමට උනන්දු වෙයි. වර්තමාන සමාජයෙහි ඇතැම් පුද්ගලයන් කල්පනා කරන ආකාරය වැරැදි ය. තමා නිවැරැදිය, යන පූර්ව නිගමනයේ සිටීම එයට හේතුවයි. එවිට තමාගේ අඩුපාඩු පෙනෙන්නේ නැත. පෙනුණත් ඒවා ප්‍රබලතා ලෙස සිතීමට පෙළඹෙයි. එබඳු පුද්ගලයෙකුට කිසි දවසක නිවැරැදි තැනකට පැමිණිය නොහැකි ය. ඇතැම් විට බණ ඇසු විට පින් ලැබේය යන සිතිවිල්ල ද ඔවුන් තුළ පවතී.

පින් ලැබීමට හා යහපත් ක්‍රියාකාරකම් හුරුපුරුදුවීමට බණ ඇසිය යුතු ය. එසේ වුව ද, අසන හැම බණකින්ම පින් සිදුවනවා ද? නැත. ඇසූ පමණින් පින් වැඩෙන්නේ නැත. අසන දෙය අනුව පුද්ගල චර්යාවේ වෙනසක් ඇතිවිය යුතුවා සේ ම, එම වෙනස බාහිර සමාජයට දෘශ්‍යමාන විය යුතු ය. පින් ලැබෙන්නේ එවිට ය. එසේ නොවන්නේ නම්, ඔහු හෝ ඇය අසන ලද බණ ලෝක මානයට ප්‍රමාණවත් වනවා විනා, පුද්ගල ජීවිතයට අර්ථයක් රැගෙන එන්නේ නැත.