[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භව කතරයි දුක් සයුරයි - 05 : සම්මුතිය සහ පරමාර්ථ ධර්මය

සම්මුතිය සහ පරමාර්ථ ධර්මය

" රූපය - පෙණපිඬුවකි. වේදනාව - දිය බුබුළකි. සංඥාව - මිරුඟුවකි. සංඛාරය – අරටුවක් නැති කෙසෙල් කඳක් බඳුය. විඤ්ඤාණය – මායාවකි. අභාවිත සිතක් ඇස දුකට පොළඹවන ලද්දේ හිස් යමක්, ඇති යමක්, සරි යමක් හැටියට ගැනීම නිසා නොවේ ද? එමෙන් ම එයට සත්ථ පුද්ගල සංඥාව ආරෝපණය කර ගැනීම නිසා නොවේ ද?"

ඇලීම සහ ගැටීම සකස්වීම නිසා ඇලීමෙන් මම, මගේ , කරගෙන තවදුරටත් රාගය හෙවත් ආශාව දියුණු කර ගැනීමත්, ගැටීමෙන් තවදුරටත් ව්‍යාපාදය, තරහව, වෛරය , ක්‍රෝධය ආදී වශයෙන් කෙලෙස් ධර්මවල සකස්වීමත් සිදුවෙනවා. අවසානයේ භවය තමා තමා විසින් ම සකස් කර ගැනීමක් බව පැහැදිලියි.

මේ නිසා උපත මෙලොවට පමණක් නොව භවයට ම දුකක් කරවන්නට මේ සියුම් වූ ඇසට පුළුවන්කම තිබෙනවා. මේ නිසා දුක දුකට පත්වෙන්නට හෝ හඬන්න කරන යෝජනාවක් හෝ ඉගෙනීමක් නොවන්නට නම් ආරම්භ කළ යුත්තේ ඇසෙන්, රූප දකින විට ඒ ඇසෙන් නික්මීම පුරුදු කර ගැනීමයි. කනෙන් ශබ්ද අසන විට ඒ ශබ්දය උපාදානය කර ගන්නේ නැතිව නික්මෙන තැනක සිහිය පිහිටුවීමයි. මේ ආකාරයට නාසයට ආඝ්‍රහන සකස් වන විටත්, දිවට රස ලැබෙන විටත්, කයට ස්පර්ශ ලැබෙන විටත්, මනසෙන් සිතිවිලි ඇති කර ගන්නා විටත්, හේතූන් ප්‍රත්‍ය කරගෙන සකස් වූ ඵලවිපාක නම් වූ මේ ආරම්මණයන් හේතූන්ගේ විසිර යෑමෙන් විසිර යන්නේ ය, යන අදහස නැවත නැවත මෙනෙහි කොට පුරුදු පුහුණු කිරීමෙන් භාවිත සිතක් ඇති කරගත හැකියි. එනම් යම් වූ ද ප්‍රඥාවක්, සම්‍යග්ප්‍රඥාවක් පහළ කර ගැනීමයි.

එවිට දුකින් පිරුණු උපත නැවත දුකින් පිරිසුදු නොවන්නට සිද්ධ වන්නේ කුමක් ද? ඇස අත්හරිනවා කියන තැනකට පැමිණීම යි. මෙය නෙක්ඛම්මය හැටියට, නික්මීමක් හැටියට දැක්විය හැකියි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් නික්මීමක් හැටියට දැකිය හැකියි. ඇස අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛණ ධර්මයට යටත් කොට වැටහෙන්නට පටන් ගන්නවා. පියෙවි, ඇස ගිලන්වීම, නොපෙනී යාම, සරල ලෙස තේරුම්ගත හැකියි. එහෙත් පියෙවි ඇසේ චක්ඛු ප්‍රසාදයට බැස ගත් රූප සටහන අභාවිත සිතකින් හඳුනාගෙන එමගින් රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් සකස් කර ගැනීම භවයට මුල පිරීමයි. මෙයට ම ගලපාගෙන කන නාසය ආදී ඉන්ද්‍රියන් ද තේරුම්ගත හැකියි.

ලෞකික වශයෙන් අභාවිත සිතකින් ඇස පරිහරණය වීම නිසා භවය වැනසුණ ආකාරයට මෙලොව ජීවිතය පැවැත් වූ හා පවත්වන පුද්ගලයන් පිළිබඳ, පිරිස් පිළිබඳ ව විමසා බලා ගත හැකියි. වරදවා ඇති කරගත් බැඳීමක් ඇස මුල්කරගෙන, ඒ රූපය මම මගේ කර ගැනීමෙන් ආයතනයන් ද, එනම් කන ආදී ආයතනයන් ද, ශබ්ද ආදී ආරම්මණයන් ද එයට උදව් කරගෙන, උපකාර කරගෙන භවය දුකක් බවට පත්කර ගන්නට අවස්ථාව සලසා ගන්නා ආකාරය ඉතාම පැහැදිලියි. ඇසෙන් වර්ණ සටහනට, රූපයට ඇති කර ගන්නා ආශාව අල්ලා ගැනීම, කනෙන් හඬ ඔස්සේත්, නාසයෙන් ආඝ්‍රහණ ඔස්සේත් දිවෙන් රස ඔස්සේත්, කයෙන් ස්පර්ශ ඔස්සේත්, මනසෙන් සිතිවිලි ඔස්සේත් එය පෝෂණය කර ගැනීමක් සිදු කර ගන්නවා. එය සක්ඛාය දිට්ඨිය හැටියට පෝෂණය කර ගැනීමක් සිදු කර ගන්නවා. ඒ පෝෂණය කර ගැනීම ඉන් අනතුරුව "මම" හා "මගේ " කර ගන්නවා. "මම" හා මගේ කරගත් තැන සරල ලෙස සඳහන් කරන්නේ නම්, රෝම කූපයේ පටන් "මම" මතුවෙන්නට පටන් ගන්නවා. මගේ කියන අල්ලා ගැනීම සිදුවෙන්නට පටන් ගන්නවා. සම්මුතිය තුළ මේ ස්කන්ධ පංචකය කෙසේ පැවැත්විය යුතු දැයි අප පෙර දී සඳහන් කළා. එහෙත් පරමාර්ථ වශයෙන් මෙහි ඇති නිසරු බව, හිස් බව මම, මගේ , කරගන්න යමක් නැති බව, නිත්‍ය, සුඛ වශයෙන් කිසිවක් නොපවත්නා බව තේරුම් ගත යුතු ම යි.

මෙයට නිදසුනක් ලෙස භාග්‍යවතුන් වහන්සේ “ඵෙණපිණ්ඩුපම” සූත්‍රයේ සඳහන් කළ

ඵෙණපිණ්ඩුපමං රූපං- වේදනා බුබ්බුළුපමා
මරීචි කූපමා සඤ්ඤා සංඛාරා කදලූපමා
මායුපමඤ්ච විඤ්ඤාණං දීපිතාදිච්ච බන්ධුනා”
ගාථා රත්නය උපකාරකරගත හැකියි.

රූපය - පෙණපිඬුවකි. වේදනාව - දිය බුබුළකි. සංඥාව - මිරුඟුවකි. සංඛාරය – අරටුවක් නැති කෙසෙල් කඳක් බඳුය. විඤ්ඤාණය – මායාවකි. අභාවිත සිතක් ඇස දුකට පොළඹවන ලද්දේ හිස් යමක්, ඇති යමක්, සරි යමක් හැටියට ගැනීම නිසා නොවේ ද? එමෙන් ම එයට සත්ථ පුද්ගල සංඥාව ආරෝපණය කර ගැනීම නිසා නොවේ ද? මම, මගේ, කියන දෘෂ්ඨියට හරවා ගැනීම නිසා නොවේ ද?

දැනුම තිබුණත් කිසිවක් ස්ථිර නොවන බවට එහෙත් සිත පුරුදු නොකිරීම නිසා සිත සිතාගෙන සිටින්නේ මෙය තමා කැමැති තාක් කල් එහි පිනවන්නට තමාට අවස්ථාවක් ඇති බවයි. සිත නැගී සිටින්නේ ඒ අදහසින් ය. මොළයේ ඇති කරගත් දැනුමත් කෙටිකාලීන වස්තූන් පිළිබඳ ව සිතිවිලි පවත්වා ගන්නවා. එහෙත් පරමාර්ථ වශයෙන් ගන්නා විට විඤ්ඤාණය තුළ එය පුරුදු නොවීම නිසා විඤ්ඤාණය තුළ උපාදාන අවස්ථා පමණක් රැඳී සිටිනවා. මම, මගේ , කියන දෘෂ්ඨිය ම එය පවත්වාගෙන තිබෙනවා. මේ නිසා මොළයෙන් සම්මුතිය තුළ දැනුම් පවත්වාගෙන කටයුතු කළත් , පරමාර්ථ වශයෙන් හේතූන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන්නා වූ යම් ඵලයක්, විපාකයක් වේ නම්, ඒ හේතූන් ප්‍රත්‍යයන්ගේ විසිර යන්නේ ය, යන අවබෝධයට සිත සිහිය පිහිටුවා ගැනීම අවශ්‍යයයි. මෙය සියලු දෙනා විසින් ගැඹුරින් විමසා බැලිය යුතු අවස්ථාවක් හැටියට දැකිය යුතුයි.

අපි සරල නිදසුනක් ගෙන බලමු. එය ඉතා ම දැනුමෙන් අඩු අයෙකුට වූවත් , ලෞකික විෂයය පිළිබඳ ව දැනුමෙන් අඩු අයෙකුට වූවත් තේරුම් ගත හැකියි. එය ලෞකික විෂය තුළ වෛද්‍ය විය යුතු ද, ඉංජිනේරු විය යුතු ද? නීතිඥ විය යුතු ද? එසේත් නැති නම් මොනයම් විෂයය ක්‍ෂේත්‍රයක උගත් ම කෙනෙකු ලෙස තැනක සිටිනවා ද? නැද්ද කියන ගැටලුව ඇති වන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ දවස දුප්පත් කසළ සෝධකයන් පවා, මහ මඟ පිරිසුදු කරන ඇත්තන්, ගොවියන් වැනි අය පවා මේ ගැඹුරු ධර්මය අවබෝධ කර ගත්තා. ඒ සාංසාරික පුරුද්ද හා සමගිනුයි.

නමුත් අප මෙලොව ජිවිතය ගැන සිතුවොත් , මෙලොව ජීවිතයේ එවැනි තැනක සිටින අයෙකුට පවා පරමාර්ථ ධර්මය අවබෝධ කර ගැනීමේ අවස්ථාව තිබෙනවා. යම් විටෙක ලෞකික විෂය දැනුමෙන් ඉහළ කෙනෙකුට ලෞකිකත්වය මත පමණක් රැඳී සිටීම නිසා එනම් කැමැති දේ හි ඇලීමත්, අකැමැති දේ හි ගැටීමත් මුල්කොටගෙන තණ්හා මද මාන දිට්ඨින් හි සිත, සිහිය පිහිටුවා ගැනීම නිසා මේ පරමාර්ථ ධර්මය අවබෝධ කර ගත නොහ ැකි වනු ඇත. මේ නිසා සම්මතය තුළ මම, මගේ , කියන ඒ ඇල්ම සමඟ කටයුතු කළත් , එය පරමාර්ථ වශයෙන් දැක ගන්නා විට මෙය සම්මුතියක් පමණක් බවත්, තාවකාලිකව හඳුන්වා ගන්නා දෙයක් බවත් සිතට පුරුදු කොට පවත්වා ගැනීම අවශ්‍ය කරනවා.

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 24 වනදා සිකුරාදා පූර්ව භාග 02.17 ට ලබයි. 25 වනදා සෙනසුරාදා පූර්වභාග 03.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 24 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 02 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]