[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර

උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර

" ශ්‍රී ශාසනාලංකාරාම පුරාණ විහාරස්ථානයෙහි රෝපණය කරන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජෝපහාර වශයෙන් අලි ඇතුන් ඇතුළුව විවිධ නර්තනාංග රැසකින් සමන්විත අලංකාර පෙරහරක් ප්‍රදේශවාසින්ගේ සහභාගිත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලැබේ. බෞද්ධ පූජනීය වස්තුන්ට ගෞරව කිරීම සඳහාත්, පුද පූජාවන්ගේ උපහාරයක් සඳහාත් පෙරහර පැවැත්වීම ඈත අතීතයේ සිටම පැවති චාරිත්‍ර විධියකි. "


ශ්‍රී ශාසනාලංකාරාරාම විහාරයේ බෝධීන් වහන්සේ

ගාල්ල, උඩුගම , ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයේ විරාජමානව වැඩ සිටින ඉන්දියාවේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛා බෝධීන් වහන්සේට උපහාර පූජා පිණිස 34 වන වරටත් පැවැත්වෙන උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර 2020 ජනවාරි 25 වන දින රාත්‍රී 07.00 ට උඩුගම නගරයේ වීථී සංචාරය කෙරේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

දක්ෂිණ ලංකාවේ උඩුගම පුරවරයෙහි පිහිටා ඇති ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානය විසි වැනි සියවසේ ලංකාවාසී බෞද්ධ අබෞද්ධ බොහෝ දෙනාගේ ගෞරවාදරයට පත් වූ අතර ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කර ගත් පූජනීය බෞද්ධ සිද්ධස්ථානයකි. ශ්‍රී ලංකාව යටත් විජිතයක් ව පැවති අවධියේ ප්‍රදේශයේ බුදු දහමේ පුනර්ජීවනයක් ඇති කරලීමේ පුරෝගාමීත්වය ගෙන කටයුතු කළේ මෙම විහාරස්ථානයෙහි එදා වැඩසිටි නෙළුවේ ශ්‍රී ගුණානන්ද නා හිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ මෙම විහාරස්ථානයෙන් සිදුකෙරුණු ජාතික, ආගමික, සාමාජික, ආර්ථික සහ සංස්කෘතික සේවාවන් අසීමිත ය.

ගුණානන්ද නාහිමියන් නෙළුව නම් ගමෙහි ඉපිද ගැමි සිරිය අත්විඳිමින් කුඩා කල මව්පියන් සහ සහෝදර සහෝදරියන් සමඟ කල් ගෙවූහ. ප්‍රවෘජ්ජ්‍යා භූමියට ඇතුළත් වීමෙන් පසු පිරිවෙන් අධ්‍යාපනය තුළින් සිංහල, පාලි, සංස්කෘත භාෂාත්‍රය මෙන්ම ත්‍රිපිටක ධර්මය මනාව හැදෑරූහ. එදා පැවිදි සමාජයේ වැඩ සිටි හික්කඩුවේ ශී‍්‍ර සුමංගල නාහිමි, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමි වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමි වැනි උගත් බුද්ධිමත්, කීර්තිධර නාහිමිවරුන් සමඟ එක්වී කටයුතු කිරීමේ මහාර්ඝ අවස්ථාවක් නාහිමියන් උදාකර ගත්හ. ඒ නිසාම නා හිමියෝ තරුණ වයසේ දී ම ජනතා ගෞරවයටත්, රාජ්‍ය ගෞරවයටත් පාත්‍ර වූහ. උන්වහන්සේගෙන් රටටත්, ජාතියටත්, ශාසනයටත් සිදුවන උදාර සේවාව දුටු සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයට පත් කළහ. උන්වහන්සේ ලෝක බෞද්ධ සාම මහා සංඝ සම්මේලනයේ සභාපති වශයෙන් ද කටයුතු කළහ. මෙසේ උසස් තනතුරු සහ වගකීම් වලින් කාර්ය බහුල ජීවිතයක් ගතකළ නමුදු ස්වකීය ප්‍රදේශයේ සියලු ආගමික සාමාජික කටයුතුවලදී කැපවීමෙන් කටයුතු කළහ. සිය විහාරස්ථානයෙහි අඩුපාඩුවක් ලෙස පැවති බෝධීන් වහන්සේ නමක් රෝපණය කළ යුතුයැයි සිතූ අතර එම බෝධිය ඉන්දියාවේ බුද්ධගයාවේ වැඩ සිටින බෝධියේ ම අංකුරයක් විය යුතු යැයි සිතා ඒ සඳහා අපමණ වෙහෙසක් දැරූහ.

ඒ වන විට ඉන්දීය මහා බෝධි සමාගමේ ප්‍රධාන සභාපති ව සිටියේ නෙළුවේ ශ්‍රී ජිනරතන නා හිමිපාණන් ය. උන්වහන්සේ නෙළුවේ ශ්‍රී ගුණානන්ද නා හිමිපාණන්ගේ ඥාති පරපුරට අයත් එකම ගමේ ඉපදී හැදී වැඩුණු හිමිනමක් විය. ඒ අනුව ගුණානන්ද නා හිමියෝ සිය අදහස වූ බුද්ධගයාවේ වැඩ සිටින ශී‍්‍ර මහා බෝධින් වහන්සේගේ අංකුරයක් සිය විහාරස්ථානයට වැඩමවා ගැනීමට අවශ්‍ය බව දැන්වූහ. ඉන්දීය රජයේ ගෞරවාදරයට පාත්‍රව සිටි නෙළුවේ ශී‍්‍ර ජිනරතන නායක ස්වාමීන් වහන්සේ ඉහත සඳහන් අදහස එවකට ඉන්දීය අග්‍රාමාත්‍යවරිය ලෙස සිටි ඉන්දිරා ගාන්ධි මැතිනියට දැන්වීමෙන් පසු ඒ අවශ්‍ය කරන සියලු පහසුකම් ඉන්දීය රජය විසින් ලබා දෙන ලදී. එවකට ලංකාවෙහි අග්‍රාමාත්‍යවරිය වූයේ සිරිමාවෝ ආර්.ඩයස් බණ්ඩාරනායක මැතිනිය යි. එතුමිය සමඟ ඉතා කුළුපග ඇසුරක් තිබු නෙළුවේ ශ්‍රී ගුණානන්ද නා හිමියන් සිය අදහස අග්‍රාමාත්‍යවරියට දැන්වීමෙන් පසු ලංකාවෙහි ඒ සඳහා සියලු පහසුකම් ලංකා රජය විසින් සපයන ලදී. මෙසේ ඉන්දීය රජයේත්, ලාංකීය රජයේත් උපරිම අනුග්‍රහයෙන් හා ගෞරවයන් ලබමින් 1976 ගුවන් මගින් බුද්ධගයාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් මෙරටට වැඩමවන ලදී. ගුවන් තොටේදී උපරිම රාජ්‍ය ගෞරවය ලැබුණු අතර, පිළිගනු ලැබුයේ එවකට ජනාධිපති ව සිටි ශ්‍රීමත් විලියම් ගොපල්ලව මැතිඳුන් විසිනි. එසේ වැඩම වූ බෝධි ශාඛාව රිය පෙරහරකින් ගෞරව පුදසත්කාර සහිතව උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම විහාරස්ථානයට වැඩම කළහ. එසේ වැඩම කරවු බෝධීන් වහන්සේ 1976 ජූලි මස 11 දිනට යෙදී තිබුණූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනයෙහි ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සාධු නාද පූජෝපහාරයෙන් මැද උඩ මළුවෙහි සකස් කරන ලද බිමෙහි රෝපණය කරන ලදී. ක්‍රි.පූ. තුන්වන සියවසේ සඟමිත් තෙරණිය විසින් වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඓතිහාසික සිදුවීමෙන් පසු ක්‍රි.ව. විසිවන සියවසේ සිදුවු තවත් ඓතිහාසික සිදුවීමක් ලෙස ඇගයීමට ලක්වෙයි.

එම ඓතිහාසික සිදුවීම සිහිකරලීම වස් ශ්‍රී ශාසනාලංකාරාම පුරාණ විහාරස්ථානයෙහි රෝපණය කරන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජෝපහාර වශයෙන් අලි ඇතුන් ඇතුළුව විවිධ නර්තනාංග රැසකින් සමන්විත අලංකාර පෙරහරක් ප්‍රදේශවාසින්ගේ සහභාගිත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලැබේ. බෞද්ධ පූජනීය වස්තුන්ට ගෞරව කිරීම සඳහාත්, පුද පූජාවන්ගේ උපහාරයක් සඳහාත් පෙරහර පැවැත්වීම ඈත අතීතයේ සිටම පැවති චාරිත්‍ර විධියකි.

ක්‍රි.ව. පස්වැනි සියවසේ මෙරටට පැමිණි පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවන්හි එදා අනුරාධපුරයෙහි පැවති දළදා වහන්සේට පූජෝපහාරයක් ලෙස පැවැත්වූ අලංකාර පෙරහරක් පිළිබඳ විස්තර අඩංගු කර ඇත. පාහියන් හිමියන්ගේ විස්තරයට අනුව බෞද්ධ කතා චිත්‍රයට නගා මඟ දෙපස අලංකාර කර තිබූ බවත් ඒ හැර මග දෙපස විවිධ සැරසිලි වලින් අලංකාර කර තිබූ බවත් , සඳහන් වේ. පළමු දළදා පෙරහර මේඝ ගිරියේ සිට අභය ගිරිය දක්වා ගමන් කළ බවත් ඉතිහාසයෙහි සඳහන් වෙයි. ලාංකීය සමාජය තුළ පූජෝපහාර වශයෙන් පෙරහර පැවැත්වීම සියවස් 15 කට වැඩි අතීතයකට දිවෙයි.

වත්මන් විහාරාධිපති, උඩුගම සමිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි, පාලක විහාරාධිපති හා ශ්‍රී මහා බෝධිරාජ පෙරහරේ ප්‍රධාන සම්බන්ධීකාරක උඩුගම සාරානන්ද හිමියන්, පෙරහරේ නිලමේවරුන් ඇතුළු උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථ ශ්‍රී මහා බෝධිරාජ පෙරහර කමිටුව ප්‍රදේශ වාසීන්ගේ ව්‍යාපාරික, ප්‍රජාවගේ, වතුකම්කරු ජනතාවගේ සහ විවිධ පරිත්‍යාගශීලින්ගේ සහයෝගය ඇතිව සිය විහාරස්ථානයේ රෝපණය කර ඇති ශ්‍රී මහා බෝධියට ගෞරව උපහාර දැක්වීම වස් සිදු කෙරෙන චිත්තාකර්ෂණීය වු අලංකාර පෙරහර පැවැත්වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මගින් උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර ජාතික උත්සවයක් ලෙස 2016 මාර්තු 01 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර ඇත. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නරඹන දක්ෂිණ ලංකාවේ ගාල්ල දිසාවේ ප්‍රමුඛතම පෙරහර මෙය වන අතර, 34 වන වරටත් පුර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වේ.

ජනවාරි 25 වන දින රාත්‍රී 07.00 ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවැත්වෙන සුවිශේෂ පූජාවෙන් හා කෙටි දහම් හමුවෙන් අනතුරුව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මිගාර හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම මැති ඇමැතිවරු රැසකගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. ඉන්පසු පෙරහර මංගල්‍යයේ කටයුතු ආරම්භ වේ. පෙරහර විහාරස්ථානයෙන් පිටත්ව උඩුගම නගරයේ වීථි සංචාරය කිරීමට කටයුතු යොදා ඇත. මේ නිමිත්තෙන් 2020 ජනවාරි 01 දින සිට 28 දක්වා විහාරස්ථානයේ රෝපණය කොට ඇති ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස දී දිනපතා තේවාව සහිතව උදේ 4.30 ට කිරිපිඬු පූජාව ද, රාත්‍රී 7.00 ට ශ්‍රී මහා බෝධි පූජාව ද, පංචමහා දේවාලය සඳහා දිනපතා රාත්‍රී 8.30 ට මුරුතැන් පූජාවන්ද පැවැත්වේ. ජනවාරි 27 දින දෙවොල් මඩු ශාන්ති කර්මයක් විහාරස්ථාන භුමියේ පැවැත්වෙන අතර 28 දින අලුයම ගිනි පෑගීමෙන් හා දේව දානයෙන් පෙරහර මංගල්‍යයේ කටයුතු අවසන් වේ.

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 24 වනදා සිකුරාදා පූර්ව භාග 02.17 ට ලබයි. 25 වනදා සෙනසුරාදා පූර්වභාග 03.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 24 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 02 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]