[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 155 වන ආදි කර්තෘ සමරුවට 29 වනදා අනුරපුරදී පින්කම් රැසක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 155 වන ආදි කර්තෘ සමරුවට 29 වනදා අනුරපුරදී පින්කම් රැසක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ 155 වන ආදි කර්තෘ අනුස්මරණ උත්සවයට කුල දරුවන් සියයක් (100) සසුන් ගත කෙරෙන අතර, මහා සංඝරත්නය දහස් නමකට දවල් දානය පිරි නැමීම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි මහා නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් 29 වනදා අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් පරිශ්‍රයේදී සිදු කරන බව සාරානන්ද පරිවේනාධිපති සහ විහාරාධිපති රාජකීය පණ්ඩිත උඩගබ්බල ඤාණාලෝක නා හිමිපාණන් වහන්සේ පවසති.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අඹගහවත්තේ ඉන්දාසභවරඤාණසාමි නාහිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කළ අතර මෙවර 155 වන අනුස්මරණ උත්සවය උතුරු මැද පළාත් සංඝ සභා පහක් සමඟ ගෝනගල ඤාණාලෝක හිමි, දම්පහළ ඉන්දසෝම හිමි, ඇලක්පන්කුලමේ වංශානන්ද හිමි සමඟ අප විහාරස්ථ මහා සංඝ රත්නය විසින් සංවිධාන කටයුතු සිදු කරන බවද එම උත්සවය සඳහා 29 වන දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහා නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය දහස් නමකට අධිකව ද සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ගිහි පින්වතුන් සහ උතුරුමැද පළාත් ආණ්ඩුකාරතුමා ඇතුළු දේශපාලන අධිකාරියේ මැති ඇමතිතුමන්ලා ගේ සහභාගිත්වයෙන් සිදුකිරීමට නියමිත ය.

මීට සමගාමීව මරදන්කඩවල නගර මැද සරණංකර සහ උපසේන යන ස්වාමින් වහන්සේලාගේ පිළිරූ වලට පුද පූජා කටයුතු සිදු කරන අතර ප්‍රදේශයේ ආර්ථික අපහසුතා පවුල්වලට වියළි ආහාර සලාක බෙදා දීම ද පසු ගියදා සිදු කෙරුණු අතර, කැබතිගොල්ලෑව සහ පොළොන්නරුවේදී එම පවුල් සඳහා වියළි ආහාර පාර්සල් ලබා දී පාසල් දරුවන්ට පොත් පත් සමඟ පාසල් උපකරණ බෙදා දීමක්ද සිදු කරන ලදී. විහාරස්ථාන 246 ක සහ පිරිවෙන් 17 ක දායක දායිකාවන් ඇතුළු පිරිස් ද එම පින්කමට සහභාගි වූ බවද ඤාණාලෝක හිමියෝ පැවසූහ.


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදි කර්තෘ අනුස්මරණ නිකාය දින පුණ්‍ය මහෝත්සවය

පු‍ෙණාත්සවයක් ලෙස පැවැත්වීම මහත් රුකුලකි

පිරිසුදු නිර්මල උපසම්පදාව පිළිබඳව මහා ගවේෂණයක යෙදුණු අඹගහවත්තේ සරණංකරාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සියම්, අමරපුර නිකායන්හි උපසම්පදාව ලබා ඉන් අතෘප්තිමත්ව බුරුමයේ රාමඤ්ඤ දේශයට වැඩම කොට එම සංඝයා වෙතින් උපසම්පදාව ලබා ඉන්දාසභවරඤාණසාමි යන නව නාමයක් සහිතව ලංකාවට වැඩම කොට, වරාපිටියේ සුමිත්ත, පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේලා හා එක්ව 1863 වර්ෂයේ ජූලි 13 දින ගාල්ලේ ගිංගඟ උදකුක්ඛේප සීමා මාලකයේ උපසම්පදා විනය කර්මය සිදු කිරීමෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මෙරට ස්ථාපනය කළහ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ශාසනයේ චිරස්ථිතිය පතා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, උපාලි, ආනන්ද මහ තෙරවරුන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් ප්‍රථම සංගායනාව සිදු කළා සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පිහිටුවීමේ මූලික පරමාර්ථය ද නිර්මල භික්ෂු ශාසනයේ චිරස්ථිතිය ම විය.

“විනයෝ නාම සාසනස්ස ආයු” යන්න ආදර්ශ පාඨය කර ගනිමින් “අඤ්ඤායි ලා භූ පනිසා අඤ්ඤා නිබ්බාණ ගාමිනි”යන බුදු වදන නිරන්තර ප්‍රත්‍යවේක්ෂණයෙන් “අනුමත්තේසු වජ්ජේසු භය දස්සීව“ කටයුතු කළ භික්ෂු ගණයාගෙන් සමන්විත නව රාමඤ්ඤ නිකායික භික්ෂු වංශය නොපැහැදුණු අයගේ පැහැදීම ඇති කරමින් පැහැදුණු අයගේ පැහැදීම, වැඩි කරමින් තුන් සිංහලයේම සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. සියවසකට අධික කාලයක ඉතිහාසයක් ඇති අප රාමඤ්ඤ මහා නිකාය ශෝභමාන කරමින් වැඩ සිටි සංඝ පීතෘන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ගෙන් අපේක්ෂා කළ ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, ධර්මානු ධර්ම ප්‍රතිපන්නව ආගමික, ජාතික, ශාසනික හා අධ්‍යාපනික අමරණීය මෙහෙවරක් සිදු කළහ. තම මෙහෙවර සිදු කිරීමේ දී නිකායේ අනන්‍යතාවයට හා භික්ෂු ජීවිතයට කැලලක් නොවීමට පරිස්සම් වූහ.

අපේ නිකායේ පැවැත්මට මහා පදනමක් ව පවතින අපේ කතිකාවතට අනුකූලව ම කටයුතු කළහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වත්මන් වැඩිහිටි, මධ්‍යම, නවක සියලු භික්ෂූන් වහන්සේලාට නිකායේ අභිමානවත් ඉතිහාසය මතක් කර දෙමින් විනයට, කතිකාවතට අනුකූලව ස්වකීය කාර්යය උභයාර්ථ සංවර්ධනයට හේතු වන ආකාරයෙන් සිදු කිරීමට යොමු කිරීම සඳහා වාර්ෂිකව සිදු කරන නිකාය දිනය උත්කර්ෂවත් පුණ්‍යොත්සවයක් ලෙස පැවැත්වීම මහත් රුකුලකි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විශේෂාධිකාරී මණ්ඩලයේ හා කාරක මහා සංඝ සභාවේ අනුමැතියෙන් උතුරු මැද පළාත් ප්‍රාදේශීක සංඝ සභාවන්හි සංවිධායකත්වයෙන් පැවිදි කිරීමේ පුණ්‍යොත්සවයක්, උත්සව සභාවක් සහිතව 2020 වර්ෂයේ නිකාය දින සමරු උත්සවය අනුරාධපුර ශුද්ධ භූමියේ පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීම සම්බන්ධයෙන් සංවිධායක කමිටුවේ සියලු දෙනාටම මාගේ හෘදයාංගම ආශිර්වාදය පිරිනමමි.

ඔබ හැම දෙනා වහන්සේටම අනන්ත බල ඇති රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා.


ඉදිරි පරපුරට ද ආදර්ශ සැපයීමට මෙය අතිශය උපකාරී ය

අඹගහවත්තේ සරණංකර ඉන්දාසභවර ඤාණසාමි මාහිමියන් වහන්සේ 1863 ජුලි මස 12 වැනි දින ගාල්ලේ මහමෝදර උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදා විනය කර්මයක් සිදු කොට ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය නම් භික්‍ෂු වංශය පිහිටවූහ. වසර 23 ක් පමණ කාලයක් සංඝ සම්මතයෙන් නිකායේ ප්‍රථම මහා නායක ධුරය ද දරමින් එවකට පැවති ශාසන විලෝපනයට ප්‍රතිකර්ම යොදමින් පැවිදි උපසම්පදා සිදු කරමින් විශාල සඟ පිරිසක් ශාසන චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරනු පිණිස පෙළ ගස්වා 1886 ජනවාරි මස 29 වැනි දින අපවත් වී වදාළහ. ඒ උදාර සංඝ පීතෘන් වහන්සේගේ ගුණය අනුස්මරණය කෙරෙන නිකාය දිනය ලෙස ජනවාරි 29 වැනි දින යොදා ගනු ලබන්නේ පවතින ශාසනික තත්වය විමර්ශනය-නිරීක්‍ෂණය කොට ඉදිරි සසුන් පැවැත්ම වෙනුවෙන් කළ යුතු කටයුතු සම්භාරය, ගත යුතු පියවර ද ආවර්ජනා කොට අධිෂ්ඨානශීලී ව දැඩි කැපවීමෙන් ඒ උදාර අරමුණු වෙනුවෙන් ක්‍රියා කිරීමට ය. ආදි කර්තෘ අනුස්මරණ නිකාය දින මහෝත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට එකතු වන්නේ ඒ අනුව ය. ආරම්භයේ දී අඹගහවත්තේ මාහිමියන් වහන්සේට අතිපූජ්‍ය වරාපිටියේ සිරි සුමිත්ත, අතිපූජ්‍ය පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්‍ද යන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ සහයෝගය, ආධාරය ලැබිණ. ශාසනික හැඟීම් ඇතිව වනවාසී ව මහණදම් රැකි ඒ උතුමන් වහන්සේලා ද රාමඤ්ඤ නිකාය ප්‍රතිපත්තියට පැහැදී එයට අනුගත වූ අතර ආරම්භක දුෂ්කර අවධියේ දී ප්‍රතිපත්ති ගරුක, ධර්ම විනයානුගත භික්‍ෂු නිකායක් ලෙස සමාජගත කිරීමට අදාළ වැඩ පිළිවෙලේ කොටස් කරුවෝ වූහ. උන්වහන්සේලාගේ ගුණානුස්මරණය කොට ඉදිරි පරපුරට ද ආදර්ශ සැපයීම සඳහා මේ අනුස්මරණ උත්සවය අතිශය උපකාරී ය. ආදි කර්තෘ අපදාන සංග්‍රහයක් නිකුත් කිරීම, ගුණ සමරු වැඩ සටහන් සංඝ සභා මට්ටමින් පැවැත්වීම, නිකායේ වන්දනා ක්‍රමය හා ශාසනික චාරිත්‍ර විධි පොත මුද්‍රණය කොට බෙදා හැරීම, “නව තෙරණ පැවිදි වත” නමින් නවක පැවිද්දන්ට විනය පිළිවෙත් හඳුන්වාදෙන ග්‍රන්ථය නිකුත් කිරීම ආදිය ද කුල දරුවන් 100 ක් සසුන් ගත කිරීම ද එදිනට යෙදී තිබේ. සංඝ සභා මට්ටමින් භික්‍ෂු ප්‍රතිපත්ති සංවර්ධනය පිළිබඳ ව භික්‍ෂූන් වහන්සේ දැනුවත් කිරීමේ වැඩ සටහන් ද සම්පාදනය කොට ඇත. ආදි කර්තෘ අනුස්මරණය නිමිත්තෙන් සිදු කරන මෙම ක්‍රියාදාමයේ ප්‍රතිඵලය ලෙස අප දකින්නේ භික්‍ෂූන් වහන්සේ ධර්මානුගත කිරීම ය. ඒ සඳහා මෙම වැඩසටහනින් බලපෑමක් වේය යනු අපගේ විශ්වාසය යි.


අපගේ ව්‍යායාමය වන්නේ ශාසනය චිරස්ථායි වනු පිණිස අවශ්‍ය පියවර ගැනීමය

ක්‍රි.ව. 1832 වර්ෂයෙහි මෙලොව උපත ලැබූ අඹගහවත්තේ මාහිමියන් බුදු සස්න චිරස්ථායී කරනු පිණිස ම උපන් පුණ්‍යවන්තයෙකු බව පෙනේ. “මේ සස්න ප්‍රකෘතිමත් කරන්නට නොලැබුණොත් බුදු සසුන නටුවා වන්නේය” යි සිතූ උන්වහන්සේ දිවි පරදුවට තබා බුරුම දේශයට වැඩම කළේ පිරිසුදු උපසම්පදාව රැගෙන ඒම පිණිස ය. එසේ රැගෙන අවුත් 1863 දී ලක්දිව උපසම්පදාවක් සිදු කොට ශාසන ශෝධනය ඇරඹු බව පෙනේ. එම ප්‍රථම උපසම්පදාවෙන් ඇරඹි භික්ෂු වංශය රාමඤ්ඤ නිකාය නමින් හැඳීන්වේ. ඒ වනවිට වනවාසී ව මහණදම් පුරමින් පිරිසුදු උපසම්පදාවක් අපේක්ෂාවෙන් සිටි බොහෝ ස්වාමීන් වහන්සේලා නව නිකායේ උපසම්පදාව ලබා ශාසනය සුරක්‍ෂිත කිරීමෙහි යෙදුන බව පෙනේ. වරාපිටියේ සිරි සුමිත්ත, පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද යන මහෝපාධ්‍යාය ස්වාමීන් වහන්සේලාගේ සහායත්, උලාංකුලමේ සිරි සරණංකර ශාස්ත්‍රවෙල්ලියේ උපසේන, පුලියන්කුලමේ දීපංකර යන ස්වාමීන් වහන්සේලාගේ කැපවීමත් නිසා කෙටි කලක් තුළ රට තුළ නව නිකායේ ව්‍යාප්තියක් සිදු විය. ප්‍රතිපත්තිකාමී ධර්ම විනය ගරුක භික්ෂු පරපුරක ආරම්භය මහජනයාගේ චිත්ත ප්‍රසාදයට හේතු වූ බව ද බුද්ධිමත්, සැදැහැවත් ජන ප්‍රධානීන්ගේ සහායයෙන් නිකාය ව්‍යාප්තව ගිය සැටි ද ඩී.එස්. සේනානායක ප්‍රථම අග්‍රාමාත්‍ය වරයා නිකායේ දායක මණ්ඩලයේ මූලිකත්වයට පත් වීමෙන් පෙනේ. “විනයො නාම සාසනස්ස ආයු” යැයි කී හෙයින් විනය ශාසනයේ ආයුෂය වෙයි. විනය ගරුකත්වය නැති වූ විට ශාසනය පිරිහෙයි. වර්තමානයෙහි අප අත් දකිමින් සිටින්නේ එම ඛේදවාචකයයි. ශාසන පුනරුද්දීප්තියක් ඇති කරලීමට නම් විනයධරයන්ට, ධර්මධරයන්ට මහජන අනුග්‍රහය ලැබිය යුතුය. අවිනයවාදීන්, අධර්මවාදීන් ට ඒ සහාය ලැබි ඔවුන් බලවත් වුවහොත් ඒ ශාසන පරිහානියට හේතු වෙයි. එහෙයින් ආදි කර්තෘ අනුස්මරණ නිකාය දිනයේ දී අප සිහි ගන්වා ගත යුතු වන්නේ ආදි කර්තෘන් වහන්සේ ගේ පරමාර්ථයයි. ඒ ධර්ම විනය බලගැන්වීමයි. පිරිසුදු ධර්ම විනය ආරක්ෂා කිරීම හා එම ධර්ම විනයානුගත භික්ෂු පරපුරක් ඇති කිරීමයි. වර්තමාන භික්ෂූ සමාජයට පිරිසුදු ධර්මය විනය පිළිබඳ ව අවබෝධයක් ලබා දීමට කටයුතු කිරීමයි. වත්මන ශාසන භාරධාරීන්ගේ වගකීම වනුයේ එයයි. එයට මහජනයාගේ ද, පාලක පක්ෂයේ ද අනුග්‍රහය ලැබිය යුතු ම ය. එසේ නොවන්නේ නම් මේ ධර්මය විනය අතුරුදන් වීමට වැඩි කලක් ගත නොවනු ඇත. අපගේ ව්‍යායාමය වන්නේ ශාසනය චිරස්ථායී වනු පිණිස අවශ්‍ය පියවර ගැනීම ය.


උත්සවයේ අරමුණ සාක්ෂාත් කරගනු පිණිස කටයුතු කරනු පෙනේ

මෙවර (2020-01-29) ආදි කර්තෘ අනුස්මරණ නිකාය දින මහෝත්සවය උතුරු මැද පළාතේ පැවැත්වීමට තීරණය කිරීමත්, එහි වගකීම උතුරු මැද පළාත් සංඝ සභාවට භාරදීමත් පිළිබඳව අප නිකායේ අතිපූජ්‍ය මහා නායක ධුරන්ධර නාපාන පේමසිරි මාහිමියන් වහන්සේ ප්‍රධාන නිකායේ කාරක සංඝ සභාවට අපගේ කෘතඥතාවය පළමු කොට පිරිනැමිය යුතු ය. පොළොන්නරුව, කලා වැව, රාජාංගනය, කැබිතිගොල්ලෑව, අනුරාධපුරය යන සංඝ සභා පහ ඒ වගකීම භාරගෙන ඉතා උනන්දුවෙන් රජය ද, පෞද්ගලික ආයතන ද, දායක පිරිස් ද සහභාගී කරවාගෙන ඒ හැම දෙනාගේ සහයෝගයෙන් උත්සවයේ අරමුණු සාක්ෂාත් කරගනු පිණිස කටයුතු කරනු පෙනේ.

එහි දී උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරවර මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමා, ප්‍රධාන ලේකම් තුමා, පළාත් සභාවේ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිසාපති තුමා, අතිරේක දිසාපති තුමා ඇතුළු කාර්ය මණ්ඩල මේ සම්බන්‍ධයෙන් සුවිශාල කැප කිරීමක් කරන බව කිව යුතු ය.

උතුරු මැද පළාත කේන්ද්‍ර කොට බිහි වූ සඟ පරපුර දෙකක් රාමඤ්ඤ නිකායේ ව්‍යාප්තියට මං හෙළි කළ බවත් එම පරම්පරා දෙක පදනම් කොට රට පුරා රාමඤ්ඤ නිකාය ව්‍යාප්ත වී ගිය බවත් උතුරු මැද පළාතට ගෞරවයක් වශයෙන් සඳහන් කළ යුතු ය.

මෙම ජනවාරි 11 වැනි දින මරදන්කඩවල දී එම සරණංකරොපසේන සඟ පරපුර ආරම්භක ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ගුණ සමරු උපහාර පින්කමක් කලා වැව සංඝ සභාවේ සංවිධානයෙන් ද, කැබිතිගොල්ලෑව සංඝ සභාවේ සංවිධානයෙන් ජනවාරි 15 වැනි දින හඳගල සඟ පරපුරේ නිර්මාතෘන් වහන්සේලාගේ ගුණ සමරුවක් කැබිතිගොල්ලෑවේ දී ද පැවැත් වූ අතර ජනවාරි 16 වැනි දින පොළොන්නරුව සංඝ සභාවේ සංවිධානයෙන් මැදිරිගිරියේ දී විශේෂ ගුණ සමරු පින්කමක් ද පැවැත්විණි. රාජාංගන හා අනුරාධපුර සංඝ සභාවල මෙහෙයවීමෙන් සිදු කෙරෙන සංඝ සත්කාරක වැඩ සටහන 29 වැනි දින උදේ වරුවේ ශ්‍රී සාරානන්ද පිරිවෙනේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එසේ ම කුල දරුවන් සිය දෙනෙකු සසුන්ගත කිරීම ද ශාසන චිරස්ථිතියට අදාළ කටයුතු රාශියක් සිදු කිරීමට ද වැඩ පිළිවෙල යොදා ඇත.


අතිශය සතුටට කරුණක්

මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලාංකික භික්ෂු සංස්ථාවට මහත් වූ ප්‍රගමනයක් ඇති කිරීමට වර්තමානයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පත්ව තිබීම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සභාපති වශයෙන් මට ඇත්තේ අපරිමිත සතුටක් වන අතර එම නිකායේ නිකාය දිනය අනුස්මරණය කරන මේ ඓතිහාසික දිනයේ සුභාශිංසනයක් එක් කිරීමට ලැබීම මහත් වූ භාග්‍යයක් ලෙස සලකමි.

1863 වැන්නේ දී අතිගරු අඹගහවත්තේ ඉන්ද්‍රාසභවර ඤාණසාමී සරණංකර මහා නායක නාහිමිපාණන් වහන්සේ විසින් ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මේ මොහොත දක්වා ශාසන අභිවෘද්ධිය වෙනුවෙන් කරන ලද සුවිශාල වූ මෙහෙවර මෙසේ සඳහන් කළ නොහැක. මේ මොහොත වන විට දිවයින පුරා විහාරස්ථාන 2200 පමණ ද, භික්ෂූන් වහන්සේලා 8150 පමණ නියෝජනය කරන ප්‍රබලතම සංඝ සංස්ථාවක් බවට පත්ව තිබීම අතිශය සතුට ට කරුණ කි.

ශාසන ප්‍රගමනය වෙනුවෙන් ආරම්භක මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ව මෙතෙක් පහළ වූ විශිෂ්ටතම මහා නායක සංඝ පීතෘ වහන්සේලා කළ ශාසන මෙහෙවර ගෞරවයෙන් යුතුව සිහිපත් කරන අතර වර්තමාන මහා නායක ධුරන්දර අග්ග මහා පණ්ඩිත ශිරෝමනී අතිගරු නාපාන ශ්‍රී පේමසිරි මහා නාහිමියන්ගෙන් වන සේවය ද මහත් සේ අගය කරමි.

සිල්වත්, ගුණවත්, නැණවත් භික්ෂු පරපුරක් සම්බුද්ධ ශාසනයේ චිරජීවනය සඳහා දායාද කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය දිනය සමරන මේ මොහොත සම්බුද්ධ ශාසනයේ තීරණාත්මක සංධිස්ථානයක් වන බවද සිහිපත් කරනු කැමැත්තෙමි. මෑත භාගයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිවෘද්ධිය වෙනුවෙන් එහි මහ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති අත්තංගනේ ශාසනරතන නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විධායක සභාව ඇතුළු කාරක සංඝ සභාවට ද මාගේ ගෞරවය පුද කරමි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය දිනය අනුස්මරණය කරන ඓතිහාසික සාරානන්ද පිරිවෙන් භූමියේ වැඩසිටිමින් රටටත්, සම්බුද්ධ ශාසනයටත් විශේෂයෙන් රජරට ජනතාවටත්, මහත් වූ ශාසන ප්‍රබෝධයක් ඇති කළ අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක ගිරාඹේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේගේ ශාසන සේවය ද මේ මොහොතේ සිහිපත් කිරීම යුතුකමක් සේ සලකමි.

රටට, ජාතියට, ආගමට හිතැති සසුන්කෙත බැබළවිය හැකි බුද්ධ පුත්‍රයින් වහන්සේලා බිහි කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට ශක්තියක් හා බලයක් ලැබේවා’යි ප්‍රාර්ථනා කරමි.


පැවරෙන වගකීම සුළු පටු නොවේ

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදි කර්තෘ අඹගහවත්තේ සරණංකර ඉන්දාසභවර ඤාණසාමි මහා ස්වාමීන් වහන්සේගේ ගුණානුස්මරණ දිනය නිකායේ දිනය වශයෙන් සලකා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වාර්ෂිකව සිදු කරන ශාසන උද්දීපන වැඩසටහන මෙවර උතුරු මැද පළාතේ සිදු කිරීමට තීරණය කිරීම ගැන මම අතිශයින් ම සතුටට පත් වෙමි. ඒ ශාසන පුනරුදයෙහිලා කිසියම් කැප කිරීමක් කිරීමට දායකත්වය දැරීමට උතුරු මැද පළාතට විශේෂ අවස්ථාවක් උදා වී ඇති හෙයිනි.

වර්තමාන සමාජ තත්වය පිළිබඳ නිරීක්ෂණයේ දී අපට පැහැදිලි වන්නේ එය බරපතල පිරිහීමකට ලැක් වී ඇති සැටියෙකි. හැම අංශයකින් ම විශේෂයෙන් සදාචාරමය වශයෙන් මහත් ගරා වැටීමකට මුහුණ පා ඇත. එම තත්වයෙන් මේ සමාජය මුදා ගැනීම වෙනුවෙන් දැනුවත් වැඩිහිටියන් ලෙස අපට පැවරෙන වගකීම සුළුපටු නොවේ. එදා ආදි කර්තෘ අඹගහවත්තේ මාහිමියන් වහන්සේ ශාසන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට නායකත්වය සැපයූ පරිද්දෙන් අද ද ඒ යුග මෙහෙවර අපේ ගරුතර මහා සංඝරත්නය වෙත පැවරී ඇත.

අධ්‍යාත්ම සංවර්ධනයෙහිලා විශේෂ කැප කිරීමක් කිරීමට සමාජය නිසි මග ගැන්වීමෙහිලා අවශ්‍ය වැඩසටහන් සම්පාදනය කිරීමට වර්තමාන ශාසන භාරධාරී ස්වාමීන් වහන්සේලාට විශාල වගකීමක්, පැහැර හැරිය නොහැකි වගකීමක් පැවරී ඇත. උන්වහන්සේලා ඒ වගකීම හරිහැටි වටහාගෙන ක්‍රියා කරන විට ගිහි පාර්ශ්වය වශයෙන් එයට දිය හැකි උපරිම සහයෝගය ලබා දීමට කළ හැකි උපකාරය කිරීමට මම ඇප කැප වී සිටිමි. මෙවර උතුරු මැද පළාත තුළ සංවිධානය වන එම ශාසන උද්දීපන වැඩ පිළිවෙල තුළින් සම්බුද්ධ ශාසනයේ උන්නතියට අවශ්‍ය දොරටු විවෘත වේවා යනු මගේ පැතුම යි


ශාසන අභිවෘද්ධියට හේතුවන කාරණයකි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදි කර්තෘ අඹගහවත්තේ සරණංකර ඉන්දාසභවර ඤාණසාමි මහා ස්වාමීන් වහන්සේගේ අපවත් වීමෙන් මෙම ජනවාරි 29 වැනි දිනට වසර 134 ක් සම්පූර්ණ වෙයි. ඒ නිමිති කොට ගෙන උන්වහන්සේ ශාසන චිරස්ථිතිය වෙනුවෙන් කළ උදාර සේවාව අනුස්මරණය කෙරෙන ආදි කර්තෘ අනුස්මරණ නිකාය දින මහෝත්සවය මෙවර පැවැත්වෙන්නේ උතුරු මැද පළාත කේන්ද්‍ර කරගෙන යි. ශ්‍රී ලංකාවේ සම්බුදු සසුනේ ආරම්භය අනුරාධපුරය කේන්ද්‍ර කොට ගත් උතුරු මැද පළාත වන හෙයින් මේ සඳහා මෙවර උතුරු මැද පළාත තෝරා ගැනීම අතිශයින් ම කාලෝචිත ය. ගිහි පැවිදි කවුරුන් විසිනුත් ශාසන පුනරුදයක් ශාසනෝද්දීප්තියක් අපේක්‍ෂා කරන මෙවන් සමයක ශාසන චිරස්ථිතිය වෙනුවෙන් කැප වූ අපේ අතීත ස්වාමීන් වහන්සේලාගේ ගුණය අනුස්මරණය කිරීම ඉතාම සුදුසු ශාසන අභිවෘද්ධියට හේතු වන කාරණයකි.

මෙවර එම උත්සවය සංවිධානය කෙරෙන්නේ උතුරු මැද පළාත් සංඝ සභා එකමුතුව මඟිනි. එහි දී සුවිශේෂී අනුග්‍රහයක් ගරු උතුරු මැද පළාත් ආණ්ඩුකාර තුමන්ගෙන් හා උතුරු මැද පළාත් සභාව මඟින් ද ලැබී ඇති බව කෘතවේදීව සිහිපත් කරමි. රජයේ අනුග්‍රහය ද අප

නිකායාරක්‍ෂක සභාවේ අධීක්‍ෂණය ද යටතේ අතිපූජ්‍ය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ගරු අග්‍රාමාත්‍යවර මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්, අප නිකායාරක්‍ෂක සභාවේ සභාපති ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමන් ප්‍රධාන රාජ්‍ය නිළධාරීන්, මැති ඇමති වරුන් සහ විශාල සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් අනුරාධපුර ශ්‍රී සාරානන්‍ද පිරිවෙන් මහා විහාරය කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට නියමිතය. සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් පියවර ගැනීමට සැම දෙනාගේ සිත් පහන් වේවා යනු අපේ පැතුම යි.

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 24 වනදා සිකුරාදා පූර්ව භාග 02.17 ට ලබයි. 25 වනදා සෙනසුරාදා පූර්වභාග 03.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 24 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 02 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]