Print this Article


ඤාතීන් සඳහා කළ යුතු ඤාති ධර්ම

ඤාතීන් සඳහා කළ යුතු ඤාති ධර්ම

බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමෙන් පසු උරුවෙල දනව්ව බලා වැඩම කළහ. තුන්බෑජටිල පිරිස දමනය කොට පැවිදිකිරීම සිදු වූයේ එහි දී ය. අනතුරුව බුදුරදුන් වැඩම කළේ රජගහනුවරට ය. කිංසච්චගවේසී ව සිටි සමයේ බිම්බිසාර මහරජු කළ ඉල්ලීම ඉටු කිරීම එහි වැඩමවීමට හේතුවයි. ඉක්බිති ව බුදුරදුන් රජු ප්‍රමුඛ පිරිසට ධර්මය දේශනා කළ සේක.

බිම්බිසාර මහරජු පසුව වේළුවනාරාමය බුදුරදුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාට පූජා කළේ ය. ඒ දුරුතු පොහොය දිනෙක ය. මෙම ප්‍රථම ආරාම පූජාවෙන් පසු වාසය සඳහා ආරාම පිළිගැනීම යෝග්‍ය බව බුදුරදුන් භික්ෂූන් වහන්සේලා සඳහා නියම කළේ ද දුරුතු මාසයේ දී ය.

වේළුවනාරාමය පූජා කළ දින රාත්‍රී බිම්බිසාර මහ රජු මහ හඬින් වැළපෙන පේ‍්‍රතයන් රාශියක් දුටුවේ ය. පසුදා මහරජු මේ බව බුදුරදුන්ට දැන්වී ය. එසේ වැළපෙන්නේ පින් බලාපොරොත්තුව සිටින මහරජු ගේ ඤාති පේ‍්‍රතයන් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. ඉක්බිති ව උන්වහන්සේගේ අවවාද පරිදි බුදු පාමොක් මහ සඟනට දානය පූජා කළ රජු ඤාති පේ‍්‍රතයන්ට පින් අනුමෝදන් කළේ ය. පේ‍්‍රතයන්ට පින් අනුමෝදන් කිරීමේ දී බුදුරදුන් දේශනා කළේ ‘තිරොකුඩ්ඩ” සූත්‍රය” යි. ඛුද්දක නිකායට අයත් එකී තිරෝකුඩ්ඪ සූත්‍රය හා එහි සිංහලාර්ථ මෙතැන් සිට

තිරෝකුඩ්ඪෙසු තිට්ඨන්ති
සන්ධි සිංඝාටකෙසු ච
ද්වාරබාහාසු තිට්ඨන්ති
ආගන්ත්වාන සකං සරං

(පේ‍්‍රත ලෝකයෙහි උපන් ඤාති පේ‍්‍රතයෝ) තමන් පෙර විසූ ගෙය කරා අවුත්, බිත්තියෙන් පිටත ද ගෘහ සන්ධි, බිත්ති සන්ධි, සතරමං සන්ධි , තුන්මං හන්දි, දොර උළුවහු යවන තැන් හි බලා සිටිති.

පහූතෙ අන්නපානම්හි
ඛජ්ජභොජ්ජේ උපට්ඨිතෙ
න තෙසං කොඩි සරාති සත්තානං
කම්මපච්චයා

බොහෝ වූ ආහාරපාන ද, කෑ යුතු , විඳිය යුතු දේ ද, පිළියෙළ වී ඇති කල්හි (භෝජන සංග්‍රහ ) පවා එම පේ‍්‍රත ලෝකයෙහි උපන් සත්ත්වයන් ගේ අකුසල කර්ම හේතුවෙන් කිසිම නැදෑයෙක් ඔවුන් සිහි නොකරත්.

එවං ද දන්ති ඤාතීනං –
යෙ හොන්ති අනුකම්පකා
සුචිං පණීතං කාලෙන කප්පියා
පානභෝජනං

නෑදෑයන් අතුරෙන් ඔවුනට අනුකම්පා කරන යම් කෙනෙක් වෙත් ද, ඔවුහු “මෙම පින පරලොව ගිය අප නෑයනට වේවා! එම නෑයෝ සුවපත් වෙත්වා යි කියා ඔවුහු එම නෑදෑයන් උදෙසා පවිත්‍ර වූ , ප්‍රණීත වූ , කැප වූ ආහාරපාන දන් දෙති.

ඉදං වො ඤාතීනං හොතු සුඛිතා
හොන්තු ඤාතයො
තෙච තත්ථ සමාගන්ත්වා
ඤාතිපේතා සමාගතා
පහූතෙ අන්නපානම්හි සක්කච්චං
අනුමෝදරෙ
චිරං ජීවන්තු නො ඤාතී
යෙසං හෙතු ලභාමසෙ
අම්හාකංච කතා පූජා දායකා ච අනිප්ඵලා

ඒ ඤාති පේ‍්‍රතයෝ ද ඒ දන් දෙන තැනට නොයෙක් දෙසින් රැස්ව, තමන් උදෙසා බොහෝ ආහාරපාන දෙන්නා වූ කල්හි කර්මඵල අදහමින් පින් අනුමෝදන් වෙති. “යම් නෑ හිතවෙතකු නිසා අපට මේ පින ලැබුණේ ද ඒ අපේ නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා ! ඔවුන් විසින් දන් දී පින් පැමිණවීම් වශයෙන් අපට ද පූජා කරන ලදී. යනුවෙන් ස්තුති කරති. ඒ දන් දුන් දායකයෝ ද ඵල රහිතයෝ නොවෙති.

න හි තත්ථ කසී අත්ථි
ගොරක්ඛෙත්ථ න විජ්ජති.
වණිජ්ජා තාදීසි නත්ථි
හිරඤ්ඤෙන කයාක්කයං
ඉතො දින්නෙත යාපෙන්ති
පෙතා කාලකතා කහිං

එම පේ‍්‍රත ලෝකයෙහි සී සෑමක් නැත්තේ ය. ගව පාලනයකුත් එහි නැත්තේ ය. වෙළෙඳාමකුත් නැත්තේ ය. රන් රිදියෙන් කරන ගණුදෙනුවකුත් නැත්තේ ය. හුදෙක් මියගොස් එම පේ‍්‍රත ලෝකයට පැමිණියෝ මේ මිනිස් ලොව වසන නෑ මිතුරන් විසින් දෙන ලද පිනකින් යැපෙති.

උන්නමෙ උදකං වට්ඨං
යථා නින්නං පවත්තති.
එවමෙව ඉතො දින්නං
පෙතානං උපකප්පති.

යම් සේ උස් බිමෙක වට ජලය පහත් බිම් කරා ගලා බසින්නේ යම් සේ ද, එපරිද්දෙන් ම මෙලොව නෑ හිත මිතුරන් විසින් දෙන ලද දානයෙහි පින ඒ පේ‍්‍රතයන්ට ලැබෙයි.

යථා වාරිවහා පූරා
පරිපූරෙන්ති සාගරං
එවමෙව ඉතො දින්නං
පෙතානං උපකප්පති

පිරී ඉතිරී ගලා ගෙන යන ගංගා හෝ දිය සාගරය පුරවාලන්නේ යම් සේ ද එපරිද්දෙන් ම නෑ හිත මිතුරන් විසින් මිනිස් ලොව දී දෙන ලද එම පින ඒ පේ‍්‍රතයන්ට ලැබෙයි.

අදාසි මේ අකාසි මෙ
ඤාතිමිත්තා සඛා ච මේ
පෙතානං දක්ඛිනං දජ්ජා
පුබ්බේ කතමනුස්සරං

මට මෙබඳු ධනයක් හෝ ධාන්‍යයක් දුන්නේ ය. මාගේ මේ කාර්යය කළේ ය. මොහු මගේ ඤාතිවරයා ය. කුඩා කල පටන් ම මිතුරා ය. යනුවෙන් පෙර කළ උපකාර සිහිපත් කරමින් මිය පරලොව ගිය නෑ හිතමිතුරන් උදෙසා දන් දිය යුත්තේ ය.

න හි රුන්නංව සොකො වා
යා වඤ්ඤ පරිදෙවතා
න තං පෙතානමත්තය
එවං තිට්ඨන්ති ඤාතයො

හැඬීමක් හෝ ශෝක කිරීමක් හෝ යම් අනෙක් වැළපීමක් හෝ වේ ද එය පරලොව ගියවුන්ගේ ප්‍රයෝජනය පිණිස නොවේ. ඒ පේ‍්‍රතයෝ එහී උපන් පරිද්දෙන්ම සිටිති. ( දුක් විඳිති)

අයං ඛො දක්ඛිණා දින්නා
සංඝම්හි සුප්ඵතිට්ඨිතා
දීඝ රත්තං හිතායස්ස ඨානසො උපකප්පති

මහරජ, ඔබ විසින් අද ස්වකීය ඤාති සමූහයා උදෙසා) යම් දානයක් දෙන ලද්දේ ද ඒ දක්ෂිණාව උතුම් පින් කෙත වු සංඝයා කෙරෙහි මනාව පිහිටියා වන්නේ ය. එහෙයින් එය එම පේ‍්‍රත සමූහයාට දීර්ඝ කාලයක් හිත සුව පිණිස වන්නේ ය. එකෙණෙහි ම විපාක දෙන්නේ ය.

සො ඤාතිධම්මො ච අයං නිදස්සිතො
පෙතාන පූජා ච කතා උළාරා
බලඤ්ච භික්ඛුනමනුප්පදින්නං
තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකං

මේ දක්ෂිණාව දෙන්නා වූ ඔබ විසින් නෑයන් විසින් නෑයන් සඳහා කළ යුතු වූ ඤාති ධර්මය සිදුකරන ලදී. පේ‍්‍රතයන් හෙවත් මිය පරලොව ගිය අය වෙනුවෙන් කළ හැකි උසස් ම පූජාව ද කරන ලදදේ ය. භික්ෂූන් වහන්සේලාහට ආහාරපානාදිය පූජා කිරීමෙන් මහත් බලයක් ද දෙන ලද්දේ ය. ඔබ විසිනුදු මහත් වූ පිනක් රැස්කර ගන්නා ලදී.