Print this Article


මනාප දෙය දෙනුයේ මනාප දෙය ලබයි

මනාප දෙය දෙනුයේ මනාප දෙය ලබයි

යම් පුද්ගලයෙකු කිසියම් කටයුත්තක නිරත වන විට ධර්ම ම ය මහෝපදේශ කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන්නේ නම්, එම පුද්ගලයා විසින් කරනු ලබන ඕනෑම ක්‍රියාවක් සමාජයෙහි අයහපත පිණිස හේතු නොවෙයි.

බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර පිහිටි කූටාගාර ශාලාවෙහි වැඩ වසන සමයෙහි උග්‍ර නමැති තරුණයෙකු හමුවීමට ඔහුගේ නිවස කරා වැඩම කළහ. එම අවස්ථාවේ ‘මගේ නිවසට බුදුරජාණන් වහන්සේ වැඩම කළා නොවේදැයි’ සිතමින් උග්‍ර තරුණයා අතිශයින් සතුටට පත්විය.

පී‍්‍රති ප්‍රමෝදයට පත් වූ තරුණයා බුදුරජාණන් වහන්සේ සමඟ සතුටු සාමිචී කතා කරමින් යම් අදහසක් මතු කරමින් ගෙනහැර දැක්වී ය.

බුදුහාමුදුරුවනේ, තමා පි‍්‍රයමනාප දෙය සමාජයට, දෙන විට නැවත නැවත ද ඒවාම තමාට පෙරළා ලැබෙන බව ඔබ වහන්සේ දේශනා කරනු ම විසින් අසා තිබේ. ඒ බව මා ද පිළිගන්නා කරුණක් නිසා මා කෑමට රුචියක් දක්වන ඉතාම පි‍්‍රය ආහාරයක් තිබේ. එය මා කෙරෙහි අනුකම්පා කොට පිළිගන්නා ලෙසට ප්‍රකාශ කරමින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව සල්මලක් ආකාරයෙන් පිසින ලද කැවුම් විශේෂයක් වූ සල්පුර පූජා කරනු ලැබී ය. මම ද කසී සළු පළඳින්නට ඉතාමත් පි‍්‍රය කරමි. එනිසා ස්වාමීනි, මෙයද පිළිගනු මැනවි යනාදී වශයෙන් ඔහු පි‍්‍රය කරන ලද දේ බුදුරජාණන් වහන්සේට පූජා කරන ලදී.

උග්‍ර තරුණයා මෙලොව කරන ලද පින් මහිමය හේතුකොට ගෙන පසුකාලීන ව මිය පරලොව ගොස් සුද්ධාවාස දෙවි ලොවක උපත ලැබී ය.බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි උග්‍ර දිව්‍යපුත්‍රයා මහා මැදියම් රැයෙහි දෙව්රම් වෙහෙර ආලෝකයෙන් බබුළුවමින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයට පැමිණියේ ය. උග්‍ර දිව්‍ය පුත්‍රයා හඳුනාගත් බුදුරජාණන් වහන්සේ මෙසේ විචාළහ.

බුදුරජාණන් වහන්සේ-කොහොමද? උග්‍ර පෙර ඔබ පින්කම් කරන කාලයේ තිබූ අදහස් එලෙසින්ම ඉටු වුණාද?

උග්‍ර දිව්‍ය පුත්‍රයා - එහෙමයි බුදුහාමුදුරුවනේ. මගේ අදහස පරිදි සියල්ල එලෙසින් ම ඉෂ්ට සිද්ධ වුණා.

ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ එම දෙවි පුතුන්ට මෙසේ වදාළහ.

* මනාප දෙය දෙනුයේ මනාප දෙය ලබයි.

* අග්‍ර වූ දෙය දෙනුයේ පෙරළා එයම ලබයි.

* උතුම් දෙය දෙනුයේ උතුම් දෙය ලබයි.

* ශ්‍රේෂ්ඨ දෙය දෙනුයේ ශ්‍රේෂ්ඨ වූ සවර්ගයට පැමිණෙයි.

යනුවෙන් කළ දේශනාවෙන් පුද්ගලයා සමාජයක ජීවත්වීමේ දී ජීවත් විය යුතු ආකාරය පිළිබඳ ව මනාපදායි සූත්‍රය මගින් පැහැදිලි කර දෙයි. යම් සමාජයක් විෂමාචාර ගති සිරිත්වලින් පිරීයන්නේ මිනිස් සිත් සතන්වල ධර්මය පිළිබඳ පවතින විශ්වාසය පළුදු වී ගිය අවස්ථාවලදී ය.

යම් පුද්ගලයෙකු කිසියම් කටයුත්තක නිරත වන විට ධර්මමය මහෝපදේශ කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන්නේ නම්, එම පුද්ගලයා විසින් කරනු ලබන ඕනෑම ක්‍රියාවක් සමාජයෙහි අයහපත පිණිස හේතු නොවෙයි. පුද්ගලයා දැඩි ලෙස ආත්මාර්ථකාමී ව කටයුතු කිරීම තුළ කිසියම් ආකාරයක වෛරය ද, ක්‍රෝධය ද වැපිරීමක් වෙයි. සමාජය දෙස වෛරයෙන් කටයුතු කරන්නා තමා ද එබඳුම පුද්ගලයෙකු වෙයි. සෑම මිනිසෙකුම නිදහසේ ජීවත්වීමට කැමැත්තක් දැක්වීම සාමාන්‍ය ස්වභාවයයි. බුදුදහම උගන්වනු ලබන්නේ ද, තමා බලාපොරොත්තුවන ආකාරයට සමාජයට අදහස් ලබාදිය යුතු බවයි. උග්‍ර තරුණයා බුදුරජාණන් වහන්සේට පූජා කරනු ලැබුවේ ඔහු අතිශයින්ම පි‍්‍රය කළ ආහාර හා පළඳින්නට පි‍්‍රය වූ සළු ය. එය දනට දීමක් ලෙස පෙනුණ ද, එය දීමක් නොව සත්‍ය වශයෙන් ම ලැබීමක් ය.

තමා ලබන්නට රැව් වූ දෙයක් දීමත්, ස්වභාව ධර්ම නියතියක් වෙයි. බුදුදහමෙහි උගන්වනු ලබන්නේ තමා ලබන්නට රුචි කරන දෙය දිය යුතු බවයි. ආහාරපාන, ඇඳුම් පැළඳුම් හා වෙනත් දේවල් සඳහා ද එය එකම ආකාරයෙන් බලපානු ලබන පොදු ධර්මතාවයකි. එය බුදුදහමයි. නිවැරැදි දෙය කතා කිරීම, බොරු නොකීම, කේලාම් නොකීම, පරුෂ වචන නොකීම, හිස් වචන නොකීම අනුන්ගේ අගුණ මතුකර නොදැක්වීම අන්‍යයාගේ ගුණධර්ම මතුකර දැක්වීම, පි‍්‍රයශීලී ගති පැවැතුම් යන සියලු මිනිස්චර්යා ධර්මවලට එකසේ පොදු ධර්මතාවයකි.

සාමාන්‍යයෙන් නිතර කේන්තියාම පුද්ගලයකු තුළ පවතින දුර්වලතාවයකි. එය අඛණ්ඩ ව සිදුවීමෙන් එය ද එක්තරා පුරුද්දක් බවට පත්වීමට ඉඩ ඇති බැවිනි. මානසික පුරුදු ඇතැම් විට කායික පුුරුද්දක් බවට ද පත්විය හැකි ය. සෑම කායික පුරුද්දක්ම මානසිකව ද, එයම කායිකව ද, හුරු පුරුදු වීම සාමාන්‍ය ස්වභාවයයි.

තමා විසින් එබඳු ආකාරයෙන් හුරු පුරුදු ඇතිකර ගැනීම යනු, එබඳු අයහපත සමාජයට දුන්නා වෙයි. සමාජයට යමක් දෙනවා නම්, යහපත හෝ අයහපත හෝ එය දෙදෙනාම නැවත ලබයි. පුද්ගලයා ද, සමාජය ද එකම කාසියක දෙපැත්ත මෙනි. උග්‍ර තරුණයා දෙස බැලුව ද, පුද්ගලයා වෙනස් වී තිබෙන ආකාරය පැහැදිලි වේ. ධාර්මික ලෙස සමාජය තුළ හැසිරීමෙන් ඔහු ප්‍රතිලාබ ලබා තිබේ. එසේ වුව ද, ධර්මය මහෝපදේශ වෙනස් වී ඇති බවක් නොපෙනේ. පුද්ගල හා ක්‍රියා සියල්ල වෙනස්වන බව ධර්මමය මතයයි එයට යටත් නොවෙනස් ස්ථිරසාර ඵල ලබන න්‍යාය කර්මයයි. පුද්ගලයා බාහිර ලෝකයට පෙන්නුම් කරනු ලබන සුසිරිත බැහැර කොට අභ්‍යන්තරයෙන් ඔහු ජීවත්වන දුසිරිත හඳුනාගෙන ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළහ. එම දුසිරිත් හෙවත් අකුසල ධර්ම හා වංචනික ධර්ම තමා තුළ පවතින තුරු ධර්මයේ පහන් එළිය දැකිය නොහැකි බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එසේ වුව ද, එය පුරුදු පුහුණු කිරීමට අපහසු ධර්මයක් වූ නිසා, මිථ්‍යාවේ වෙළී සිටින පුද්ගලයාට එය කිරීම අපහසු ය. ඔහු ඝන අන්ධකාරයේ ගිලී එය ආලෝකය ලෙසින් සිතා සිටී. එය රැවටිල්ලක් ලෙස නොදකින මිනිසා එය සත්‍ය ලෙස හඳුනා ගනී. එනිසාම ඉන් මිදීමත් කවර කලෙකවත් නැත.