Print this Article


භව කතරයි දුක් සයුරයි : දුගතියේ කතාව

දුගතියේ කතාව

මේ දීර්ඝ සසර ගමන බලවත් වූ ආශාව නිසා ලෞකික ව නමුත් දෙව් ලොවක්, මනුෂ්‍ය ලෝකයක් නොව සතර අපායේ තැනක් ම වනු ඇත. දුගතියේ කතාව සඳහන් කරන්නේ නම් ධර්මාවබෝධයට නොහැකි ස්ථානයි.

එ වැනි ස්ථානයක සිත පහදවා ගැනීමේ හැකියාවක් ලබනු ඇත. විශේෂයෙන් ම තිරිසන් ජීවිතයක් ලැබූ යම් යම් වූ ද සත්ත්වයන්ට හිත පහදවා ගැනීම කළ හැකි බව දහම් කතාවල පැහැදිලියි. එය භාග්‍යවතුන් වහන්සේ පාරිල්‍යෙය වනයේ වැඩ සිටි තුන්මාසයක කාලය උපස්ථාන කළ වානරයා සහ හස්තියාගේ කතාවෙන් පැහැදිලියි.

සසරෙහි ඉපිද ලැබූ දුක පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ දේශනාවට අනුව තේරුම්ගත හැකියි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නුඹලා හැම කෙනෙක් ම සසර ගමන පුරාම තියුණු ලෙස දුක්වින්දෝ ය. මහත් ව්‍යසනයන්ට මුහුණ පෑවෝ ය. නුඹලාගේ මළ සිරුරුවලින් විශේෂයෙන් ම මනුෂ්‍යයන් බවට පත්වී නුඹලාගේ මළ සිරුරුවලින් පෝෂණය වූ මේ මහපොළොවේ හැම බිම් අඟලක් ම සුසානයක් බවට පත්වී ඇත. වැඩිපුර ම උපතලබා ඇත්තේ සතර අපායේ වූවත්, මනුෂ්‍ය ලෝකයේ ත් ඉපිද මිය ගිය සිරුරුවලින් හැම බිම් අඟලක් ම සුසානයක් වී ඇති බව සඳහන් වෙන්නේ නම් සතර අපායට ගැලපීමේ දී ස්වල්ප ලෙස ඉපදුණාය කියන මනුෂ්‍ය ජීවිතත් කොයිතරම් ලබා ඇත්තේ ද? ස්වල්ප වූ කියන තැන මේ තරම් නම්, විශාලය කියන සතර අපායේ ඉපදීම මොනතරම් ප්‍රමාණයක් දැයි සිතා ගනු හැකිවනු ඇත. සතර අපායේ තැනක ඉපදුණොත් එයින් ගැලවීම ඉතාම දුෂ්කර බව පැහැදිලියි.

නරකයේ කොටස් එකසිය තිස් හයේ දී විඳින දුක වගේ ම ප්‍රේත විෂයෙහි ඉපිද ලබන දුක, තිරිසන් අපායේ විඳින දුක, අසුර අපායේ ඉපිද විඳින දුක, මේවා නැවත නැවතත්, නැවත නැවතත් මෙනෙහි කරගත යුතුමයි. විදර්ශනාවේ දී එනම් සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛන ධර්මයට යටත් කොට නුවණින් දැකීමේ දී “බයිතුපට්ඨාන ඥානය” යනුවෙන් දක්වන්නේ මේ ස්කන්ධ පංචකය යි.

මේ භවයතුළ විසිරෙමින් හට ගනිමින් පවත්නා ස්වභාවය විදර්ශනා නුවණින් නොදැකීම නිසා අවිද්‍යාවට හසුව තෘෂ්ණාවෙන් බැඳී කර්ම රැස්කරගෙන උපත් සිදුවී ලබා ඇති හෝ ලබන්නා වූ භයානක වූ ඝෝර වූ දුක පිළිබඳව යි. එය අවබෝධ වන විට සසර හා භවය පිළිබඳ ව ඇතිවෙන්නේ සංවේගයක්. “අජ්ජත්ත, නම් වූ තමා තමා කෙරේ සංවේගයක් ඇති වෙනවා. සාමාන්‍ය ලෝකයා මෙය හඳුන්වන්නේ කළකිරීමක් හැටියටයි. හැබෑවට ම “නිබ්බිදා” යන වචනයෙන් දක්වන්නේ කළකිරීමයි. නමුත් එය සාමාන්‍ය ලෝකයා පටිඝයක් හෙවත් බලාපොරොත්තු කඩ වූ විට සිදුවන පටිඝය වරදවා තේරුම් ගන්නා නිසා මෙහි අපි ධර්ම සංවේගය කියන වචනය පාවිච්චි කරනවා. බාහිර වශයෙන් පවා අපිට සංවේගයන් ඇතිවෙනවා.

මේ භවය තුළ මුලාවට පත්වීම නිසා තෘෂ්ණාවෙන් කර්ම සකස්කරගෙන සතර අපායේ තැනක ඉපිද, කාලාන්තරයකින් කල්ප ගණනාවකින් සතර අපායෙන් නිදහස් වෙන්නට බැරිව විඳින දුක විමසන විට, තමා කෙරෙහිත් අන් අය කෙරෙහිත් ඇති වන්නේ ආශාවකට, බැඳීමකට වඩා ධර්ම සංවේගයකට මුල පිරීමකි. තමා තමා පිළිබඳ ව නුවණින් මෙනෙහි කරන්න යැයි ආරාධනා කරනවා. හිසේ වේදනාවක්, දතේ වේදනාවක්, කනේ වේදනාවක්, පමණක් නොව යම්තම් නිය කොනක ඇතිවෙන වේදනාවකටවත් අකැමැති ඔබ හෝ අප සසරේ කල්පාන්තරයක් විඳිය හැකි දුක් ඇති තැනක උපත ලැබුවොත් එහි ඇති ස්වභාවය කුමන ආකාරයකින් දැයි සතර අපායන් පිළිබඳව දහම් කරුණු විමසා බලන විට තේරුම්ගත හැකියි. යම් වූ ද අවබෝධයක් ප්‍රේත වත්ථු නම් ග්‍රන්ථය කියවා බැලීමෙන් තේරුම්ගත හැකියි.

භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති කර ගත්තා වූ ශ්‍රද්ධාව හා ප්‍රඥාව පිළිබඳ ව විශ්වාසය නිසා එය තමන්ට දැනෙන්නට පටන් ගන්නවා. යමක් හිතන්න පුළුවන් මනුෂ්‍ය ජීවිතයක ඇවතුම් පැවතුම් සිහිපත් කොට බලන්න. කුණපයන්ගෙන් පිරිපුන් ශරීරයක් රූපස්කන්ධයක් දරාගෙන සිටියත්, එය පවිත්‍ර ව පිරිසුදු ව තබාගන්නට දරන්නා වූ උත්සාහය පැහැදිලියි. ඇඳුමින්, පැළඳුමින් සරසාගෙන ප්‍රසන්න ව සිටින්නට දරන්නා වූ උත්සාහය පැහැදිලියි. ආහාර ගන්නා විට දෑත් සෝදා ගැනේ. ආහාරයෙන් පසුව මුඛය සෝදා ගැනීම අඩුම තරමේ හිමිදිරියේ හෝ දවස අවසානයේවත් ශරීරය පිරිසුදුකොට ප්‍රසන්න ව පවත්වාගැනීම හිස පීරීම, දත් මැදීම ආදී වශයෙන් ඔවුනොවුන් කෙරෙහි දක්වන පිළිවෙල කතාව, පිරිසුදුව සිටීමේ කතාව සරලව විමසා බැලිය හැකියි.

ගැඹුරු අවස්ථාවකට සිත සහ සිහිය යොමු කළොත්, ප්‍රේත විෂයයෙහි ඉපදීමක් සිදු වූවොත් ප්‍රේත විමානයක ලබන දුක කුමන ආකාරයෙන් පවතී දැයි ඔබට සිතා ගත හැකි ද? සාමාන්‍ය මනුෂ්‍යයන් පවා ප්‍රේතයෙක් හෝ ප්‍රේතියක් වැනි අයෙක් යැයි පවසන්නේ කුමන ආකාරයේ කෙනෙකුට දැයි ඔබම සිතින් චිත්‍රයක් මවාගෙන සිතන්න. එනම් අපවිත්‍ර දෑ පිරුනු, දුගඳ හමන, මැස්සන් වහන, ශරීරයේ අපවිත්‍ර දෑ පිටතට නිරන්තරයෙන් ගලා එන ස්වභාවයක් ඔබට සිතෙහි මවා ගත හැකියි.

එහෙත් සැබෑම ප්‍රේත ලෝකයක, ප්‍රේත ආත්මයක කතාව කෙසේ නම් විස්තර කරන්න ද? මේ ඉපදීම දුකක් ය, කියන තැනක සංසාරික වශයෙන් විමසා බලා අපම දැන් මේ ලබා ඇති මනුෂ්‍ය ජීවිතයේ දුක සංකේතයක් හැටියට දැකගෙන අවබෝධ කර ගැනීම සුදුසු නොවේදැයි අප විසින් සිතා බැලිය යුතුමයි.