Print this Article


සිල් ඉල්ලන වාක්‍යය

සිල් ඉල්ලන වාක්‍යය

ඕකාස අහං භන්තෙ තිසරණෙන සද්ධිං...ධම්මං යාචාමි,අනුග්ගහං කත්වා සීලං දෙථ මේ භන්තෙ, අනුකම්පං උපාදාය. දුතියම්පි අහං භන්තෙ, තිසරණෙන සද්ධිං ...ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දෙථ මේ භන්තෙ, අනුකම්පං උපාදාය. තතියම්පි අහං භන්තෙ, තිසරණෙන සද්ධිං...ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දෙථ මෙ භන්තෙ, අනුකම්පං උපාදාය.

මේ වාක්‍යය කියා සිල් ඉල්ලීම කළ යුතු ය. මෙහි ඉඩ තබා තිබෙන තැන්වලට පන්සිල් ඉල්ලීමෙහි දී ‘පංච සීලං’ ඉතිරි සිල් ඉල්ලීමේ දී අට්ඨාංග උපොසථ සීලං, නවාංග උපෝසථ සීලං, දස සීලං” යන වචන සුදුසු පරිදි යොදා වාක්‍යය කිය යුතු ය.

සිල් රැකිය යුතු ආකාරය

සීලය සමාදන් වී නො රැකිය හොත් එහි ඇති වටිනාකමක් නැත. සමාදන් වූ සීලය එක් ඇසක් ඇති තැනැත්තා ඇස ආරක්ෂා කරන්නාක් මෙන් ද, එක් දරුවකු ඇති මව දරුවා රක්නාක් මෙන් ද ඉතා ආදරයෙන් රක්ෂා කළ යුතු ය. ලාභයක් නිසා හෝ අලාභයක් නිසා හෝ කෙනකු සතුටු කිරීමට හෝ, අඹු දරුවන් නිසා හෝ සීලය නො බිඳිය යුතු ය. නුවණැත්තෝ ජීවිතය නිසා ද සිල් නො බිඳිති.

පෙර මේ ලක්දිව උතුරු වඩුන්නාව නමැති ගම විසූ එක්තරා ගොවියෙක් අඹරැළි වෙහෙර වෙසෙන පිංගල බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේගෙන් පන්සිල් සමාදන් වී හැසිරෙනුයේ වනයෙහි දි පිඹුරකු විසින් වෙළා ගත් කල්හි වේදනා බලවත් වන විට පිඹුරා මරන්නට සිත් වන බැවින් එයින් වළකිනු සඳහා අත තුබූ කැත්ත දුරට වීසි කළේ ය. එකෙණෙහි පිඹුරා ද ඔහු හැර ගියේ ය.

පෙර මේ ලක්දිව විසූ ධම්මිකතිස්ස නොහොත් සද්ධාතිස්ස නම් වූ රජතුමා වටුමස් කෑමට ආශාව ඇති වී ඒ බව අනෙකකුට කිව හොත් තමා නිසා වටුවන් මරතියි යන බියෙන් තුන් අවුරුද්දක් ඉවසා සිටියේ ය.

ඒ රජතුමාගේ කාලයේ විසූ තිස්ස නම් අමාත්‍ය පුත්‍රයා රාජාඥාවෙන් වධක ස්ථානයට ගෙන ගොස්, දංගෙඩිය මත නිදි කරවා, මේ කුකුළා මරා පිසූ මසින් රජ්ජුරුවන්ට උපස්ථාන නො කරත හොත් තාගේ හිස සිඳිමි’යි කියා රාජ පුරුෂයන් විසින් කුකුළකු ඔහු අතට දුන් කල්හි ඒ කුකුළා අතට ගෙන ‘මාගේ දිවි තට පුදමි. තාගේ දිවි මම ගනිමි’යි කියා කුකුළා මුදා හැර ප්‍රාණඝාතයෙන් වැළකි ඒ වෙනුවට මරණීය දණ්ඩනය ද පිළිගත්තේ ය. මෙ බඳු උතුමන්ගේ චරිත ආදර්ශයට ගෙන නොකඩ කොට සිල් රැකීමට උත්සාහ කරත්වා.