Print this Article


උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර මංගල්‍යය ජනවාරි 25 වන දා

උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර මංගල්‍යය ජනවාරි 25 වන දා

ගාල්ල උඩුගම ශ්‍රී ශාසනාලංකාරාම පුරාණ විහාරය වසර 120 ට අධික ඉතිහාසයකට නෑකම් කියන ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයට අයත් ඉපැරැණි විහාරස්ථානයකි. එහි ආදී කර්තෘවරයාණන් වහන්සේ පනන්ගල දේවරක්ඛිත මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ය. ඉන්පසු විහාරාධිපති පදවියට පත් වූයේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් විශ්ව කීර්තිධර ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක ව වැඩවිසූ ලෝක බෞද්ධ සාම මහා සංඝ සම්මේලනයේ ප්‍රධාන සභාපතිධූරය හෙබවූ නෙළුවේ ශ්‍රී ගුණානන්ද නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ය.

නෙළුවේ ශ්‍රී ගුණානන්ද නාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීමකට අනුව, එවකට ඉන්දීය මහා බෝධි සමාගමේ ප්‍රධාන සභාපති, භාරත දේශයේ ප්‍රධාන සංඝ නායක නෙළුවේ ශ්‍රී ජිනරතන නාහිමියන්ගේ මැදිහත්වීම මත එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරිය වූ ඉන්ධිරා ගාන්ධි මැතිණියගේ සහයෝගයෙන් දෙරටේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිත ව ඉන්දියාවේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශ්‍රී මහා බෝධි ශාඛාවක් 1976 ජනවාරි 10 වන දින කටුනායක ගුවන් තොටුපලට වැඩම කරවන ලදී. රතු පලස් මතින් එම බෝධිය තම හිසින් පිළිගත්තේ එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමා විසිනි.

එම ශ්‍රී මහා බෝධි ශාඛාව 1976 ජුලි මස 11 වන ඇසළ පුන් පොහෝ දා එවකට ගාල්ල මහ දිසාපතිවරයා වූ බ්‍රැඩ්මන් වීරකෝන් මැතිතුමාගේ සුපින්බර සුරතින් උඩුගම ශ්‍රී ශාසනාලංකාරාම විහාරස්ථානයේ උඩ මළුවේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සාධු නාද මැද රෝපණය කරන ලදී. එයට උපහාර පූජා පිණිස සෑම වර්ෂයකම ජනවාරි මස ඓතිහාසික ශ්‍රී මහා බෝධිරාජ පෙරහර අලි ඇතුන් පිරිවරා උඩරට, පහතරට, සබරගමු නර්තනාංග රැසකින් සමන්විතව මහත් හරසරින් පවත්වනු ලබයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මඟින් උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර ජාතික උත්සවයක් ලෙස 2016 මාර්තු 01 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශනයට පත්කර ඇත. ශ්‍රී මහා බෝධි ශාඛාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන එකම පෙරහර වන්නේ ද මෙයයි. මෙවර පෙරහරද රාජ්‍ය ගෞරව සහිතව 34 වන වරටත් ජනවාරි 25 වන දින රාත්‍රී 07.00 ට අති උත්කර්ෂවත් අන්දමින් වීථි සංචාරය කිරීමට කටයුතු යොදා ඇත. මෙවර පෙරහර මංගල්‍යය නිමිත්තෙන් ජනවාරි 01 දින සිට 28 දින දක්වා වැඩසටහන් විස්තර මෙසේ ය.

දිනපතා උදේ 05.00 ට තේවාව හා කිරිපිඬු පූජාව රාත්‍රී 07.00 ට තේවාව සහිත ශ්‍රී මහා බෝධි පූජාව හා මුරුතැන් පූජාව.

ජනවාරි 25 දින රාත්‍රී 7.00 ට දර්ශනීය, උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර ශ්‍රී ශාසනාලංකාරාම පුරාණ විහාරස්ථනයෙන් ගමන් අරඹා උඩුගම නගරයේ වීථි සංචාරය කොට නැවතත් විහාරස්ථානයට ගෙවැදේ. ජනවාරි 27 දින රාත්‍රී ආශිර්වාද පූජාව හා දේව පූජාව, දේව දානය 28 දින රාත්‍රී මහා සංස්කෘතික සංදර්ශනය පැවැත්වේ.