Print this Article


සිව්බඹ විහරණ ගුණ ඇති මව්පියවරුමය උතුම්

සිව්බඹ විහරණ ගුණ ඇති මව්පියවරුමය උතුම්

ලෝකයේ පහළ වූ ශාස්තෘවරු අතර බුදුරජාණන් වහන්සේ තරම් මව්පියන්ට සැලකීම පිළිබඳ ව අපට කියාදුන් වෙනත් ශාස්තෘවරයෙක් නැහැ. උන්වහන්සේ දේශනා ගණනාවක දී ම මව්පිය උපස්ථානය පිළිබඳව කරුණු දේශනා කර තිබෙනවා. විශේෂයෙන් ම අප හැමෝම දන්න මංගල සූත්‍රයේ දී දේශනා කරනවා.

මාතා පිතූ උපට්ඨානං
පුත්තදාරස්ස සංගහෝ
අනාකූලා ච කම්මන්තා
ඒතං මංගල මුත්තමං

මව්පියන්ට උවටැන් කිරීම ද, අඹු දරුවනට සංග්‍රහ කිරීම ද, නිරවුල් කර්මාන්ත කිරීම ද උතුම් මංගල කරුණු ය.

මෙහිදී උන්වහන්සේ අංක එකට දේශනා කරන්නේ මාතා පිතූ උපට්ඨානං, දෙවනුව තමයි පුත්ත දාරස්ස සංගහෝ යනුවෙන් දේශනා කරන්නේ. නමුත් අපේ බොහෝ දෙනෙක් ඉටු කරන්නේ දෙවැනි කාරණය යි. එනම් අඹු දරුවන් පෝෂණය කිරීම යි. තමන්ගේ දරුවන්ට සැලකීම සිදුකළත්, අම්මට තාත්තට සලකන්නේ නැති බොහෝ පිරිසක් අද සමාජයේ දැක ගන්නට ලැබෙනවා. මෙසේ ක්‍රියා කිරීමෙන් තමන්ට විශාල හානියක් සිදුකරගන්න බව ඔවුන් දන්නේ නැහැ. ඒ පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දුතියකථ සූත්‍රයේ දී දේශනා කරනවා. අම්මාට, තාත්තාට හරියට සැලකුවේ නැතිනම් ඒ අයට නිරයට යන්න වෙනවා කියලා එහි සඳහන් වෙනවා.

වර්තමානයේ බොහෝ මව්පියන් තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ආචාර්යවරයෙක්, මහාචාර්යවරයෙක් වෙනත් ව්‍යාපාරිකයෙක් ආදී වශයෙන් සමාජයේ වැදගත්, ධනවත් චරිතයක් බවට පත් කිරීමට උත්සාහ කළ ද, ගුණවත් චරිතයක් බවට පත් කිරීමට, උත්සාහ ගන්නේ නැහැ. එයින් නැවත විපාකය ලැබෙන්නෙත් මව්පියන්ටමයි. ඔහු මහා ධනවතෙක් ,බලවතෙක් එසේත් නැතිනම් සමාජයේ ඉහළ චරිතයක් බවට පත් වුණත්, මව්පියන්ට සලකන්නේ නැති පුද්ගලයෙක් බවට පත්වෙනවා. මේ නිසා ඔහුට මරණින් පසු නිරයට යාමට සිදුවෙනවා.

මෙය පුදුමාකාර අවාසනාවන්ත තත්ත්වයක්. මව්පියන් මේ තත්ත්වය තේරුම් ගන්නේ නැහැ. ඊට හේතුව ඔවුන් ධර්මය ගැන දන්නේ නැහැ. මේ පිළිබඳ අංගුත්තර නිකායේ තික නිපාතයේ දී බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා.

බ්‍රහ්මාති මාතා පිතරෝ
පුබ්බාචරියාති වුච්චරෙ
ආහුණ්‍යෙයාච පුත්තානං
පජාය අනුකම්පකා

මව්පියන් යනු බ්‍රහ්මයන්. ශ්‍රේෂ්ඨ අය. මුල් ගුරුවරයෝ. දරුවන් විසින් ගෞරවයෙන් පිදිය යුතු අය. දරුවන් කෙරෙහි අනුකම්පා කරන අය යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බ්‍රහ්මයා යනු සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණවලින් යුතු උත්තමයා. මව්පියන් මේ සතර ගුණයෙන් යුක්ත නිසා බ්‍රහ්මයෝ නැතිනම් ශ්‍රේෂ්ඨ අය කියල හඳුන්වනවා. තමන්ගේ දරුවෙකුට කරදරයක් සිදු වූ අවස්ථාවක දී මව්පියන්ගේ ළය කම්පා වෙනවා. දුක නිසා කරුණාව උපදිනවා. ඇතැම් මව්පියන් තමන්ගේ දරුවාගේ දියුණුව කැමැති වුවත්, අනෙක් දරුවන්ගේ දියුණුව කැමති නැහැ. ඊර්ෂ්‍යා කරනවා. නමුත් තමන්ගේ දරුවන්ගේ දියුණුවේ දී ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. තව තවත් දියුණුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මව්පියන් දරුවා කෙරෙහි මුදිතා ගුණයක් දක්වනවා. ඒ වගේම මව්පියන් දරුවන් ආවාහ, විවාහ ආදියෙන් පසුව බැහැරට ගියත්, ඔවුන් මුළුමනින් ම අත් හරින්නේ නැහැ. උපේක්ෂාවෙන් යුක්ත ව මධ්‍යස්ථ ව සැප දුක් සොයා බලනවා. තමන්ට නිසි ලෙස සැලකීම් නොකළත්, ඒ අය හොඳින් ජීවත්වෙනවනේ කියල සිතනවා. මෙවැනි ගුණාංග මව්පියන් ළඟ තිබෙන නිසා බුදුරජාණන් වහන්සේ මව්පියන් බ්‍රහ්මයාට සමාන කළා.

ඉතිවුත්තක පාලියේ බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා.

අතිජාතං අනුජාතං
පුත්ත මිච්ඡන්ති පණ්ඩිතා
අවජාතං න ඉච්ඡන්ති
යො හොති කුල ගන්ධකො

මෙහි සඳහන් ආකාරයට මෙලොව පරලොව දියුණුව බලාපොරොත්තුවෙන, යහපත්, ඤාණවන්ත මව්පියන් තමන්ට වඩා ගුණ යහපත් ඇති අතිජාත පුත්‍රයාටත්, ඒ වගේම සමාන වූ ගුණ නුවණ ඇති අනුජාත පුත්‍රයාටත් කැමති වෙනවා. නමුත් කුලය පරපුර වනසන, තමන්ට වඩා අඩු ගුණ තියෙන අවජාත පුත්‍රයාට කැමති වෙන්නේ නැහැ.

ඊළඟට බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දුතියකත සූත්‍රයේ දී මේ ලෝකයේ ප්‍රධාන පුද්ගලයන් හතර දෙනෙක් සිටිනා බව දේශනා කරනවා. ඒ තමයි මව, පියා, බුදුරජාණන් වහන්සේ, මහා සංඝරත්නය. මෙහිදීත් උන්වහන්සේ අම්මාට, තාත්තාට ඉහළින්ම සලකා ඇති බව පෙනෙනවා.

ඉතිරි කොටස දුරුතු අව අටවක පෝදා (ජනවාරි 17) පත්‍රයේ පළවේ.