Print this Article


අනිසි බලය තාවකාලික යි

අනිසි බලය තාවකාලික යි

අප ජීවත්වන මේ රටේ යහ පැවැත්මට අකුල් හෙළන සාධක අතර ප්‍රධානත්වයක් ගන්නා කරුණු කිපයකි. ඒ අතර එම කරුණු අතරට එක් වී තිබෙනවා මත්ද්‍රව්‍ය භාවිතය වගේ ම වෙනත් විවිධාකාර දුරාචාරයන්. ඉතින් මේ විවිධ දුරාචාරයන් ගැන සොයා බලනවිට පැහැදිලි වන කරුණ තමා පාපමිත්‍ර සේවනය.

එහි අනික් පැත්ත තමා කල්‍යාණමිත්‍ර සේවනයෙන් ජනතාව විශේෂයෙන් අපේ තරුණ පරපුර දුරස්ථ විම. මේ තත්වය නිසා අපේ සමාජය මුහුණ දී ඇති භයානක තත්වයෙන් අපේ තරුණ පිරිස, හැදෙන වැඩෙන අපේ දූ පුතුන් මුදවා ගැනීම වහ වහා කළ යුතු වෙනවා.

මේ තත්වය නැති කරන්නට රටේ බලයට පත්වෙන රජයයන් විසින් විවිධ අණපනත් රෙගුලාසි පනවා ගෙන ක්‍රියා කළත් එහි පැහැදිලි සාර්ථකත්වයක් තවමත් දක්නට ලැබෙන්නේ නැහැ. මොකද? නීති අණපනත් මගින් පමණක් ඒවා මර්දනය කරන්නට බැහැ. ඒ වෙනුවෙන් අපේ වැඩිහිටියන් විසින් ආදර්ශය මෙන් ම, දරුවාට අවශ්‍ය වන සත්පුරුෂ සේවනයට අවස්ථාව සලසා දීම කළයුතු වෙනවා. ඉතින් මුදල් මත හඹා යන නො මිනිසුන් බහුල වැඩිහිටි සමාජයක් අප ඉදිරියේ ක්‍රියාත්මක වන බව පැහැදිලි කරුණක්. මෙවැනි තත්වයන් ඇති වීම හැම කල්හි ම දක්නට ලැබුණා. ඒක අරුමයක් නො වේ කියලා අප අත පොරොවා ගෙන නිහඬ ව සිටිය යුතු වන්නේ නැහැ.. නිතියෙන්, තර්ජනයෙන්, ගර්ජනයෙන් මේවා දුරලිය හැකි යයි විශ්වාස කරනවා නම් එය මිථ්‍යාවක්. එදත් අපේ බුදුරජාණන් වහන්සේ දවස ත් මිනිස් සමාජය උඩුයටිකුරු කළ දූෂකයන් එම සමාජයේ ජිවත් වුණා.

විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ විසින් මහත් දුෂ්කරත්වයෙන් ගොඩ නැගූ මෙම සංඝ සමාජය පවා දූෂිතබවට පත් කරන්නට වෙර දැරූ භික්ෂු ප්‍රතිරූපකයන් එදත් සිටියා. ඒ හැම අවස්ථාවක දී ම උන්වහන්සේ දඬුවම් යොදා ගත්තේ නැහැ. උන්වහන්සේ අනුගමනය කළේ සමාජය එවැනි තත්ත්වයන්ට පත් කරන පරිසය දූෂකයන් සොයා ගොස්, ඔවුන්ට එහි ආදීනව ධර්මානුකූල ව පැහැදිලි කර ඔවුන්ගෙන් වෙන හානිය අවම කර ගැනීම යි. වැඩිමනත් අවස්ථාවල දී උන්වහන්සේගේ ව්‍යායාමය සඵල වුව ත්, ඇතැම් අවස්ථාවල දී උන්වහන්සේට පවා එම අරමුණ ඉටු කර ගැනීමට නො හැකි තත්ත්ව ඇති වුණා. දේවදත්ත හිමියන් එවැනි චරිතයක්.

එදා සිදුහත් රජතුමා හැටියට මහබිනික්මන් කරන අවස්ථාවේ ඒ ගමනට එක් වූ ඡන්න ඇමතිවරයා පසුව පැවිදිබව ලද භික්ෂුව ද එවැනි දරුණු නො හික්මුණු අයෙකු බව පෙනී යනවා. එවැනි චරිත ඇති අය බුදුරජාණන් වහන්සේ වෙතින් දමනය වූ අවස්ථා එමට යි. ඉතින් එහි දී බුදුරජාණන් වහන්සේ යොදාගත් මාධ්‍යය වූයේ උන්වහන්සේගේ දර්ශනය ජනතාව අතරට ගෙන යාම යි. එනම් කල්‍යාණ මිත්‍ර සේවනයට යොමු කර නැවත සමාජගත කිරීම යි.

මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම කල්‍යාණ මිත්‍රයා ලෙස අපි උන්වහන්සේ සදාකල්හි ම අගය කරනවා. උන්වහන්සේ හැම විට ම කල්පනා කළේ, ගමන්බිමන්වල යෙදුණ් මිනිසා දැහැමි බවට පත් කිරීම පිණිස යි. එහි දී උන්වහන්සේ ට වර්ග, පාට, කුලමල භේදයක් තිබුණේ ම නැහැ. අපේ බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවදිය ගැන සිතන විට ඔබ අප හැම දෙනා ම දන්නා විදිහට තමා එදා උන්වහන්සේ ගිහි ගෙයි තිබුණු සියලු රජසැප හැරදමා, එපමණක් නො ව එදා ම උපන් රාහුල කුමරු වගේ ම, සිය දේවිය යශෝධරාවත් හැර දමා මහාභිනිෂ්ක්‍රමණය කරපු අවස්ථාව ගැන අපි දන්නවා. කන්ථක අශ්වයා පිට නැගී උන්වහන්සේ සමග රාජ මාළිගාවෙන් බැහැර ව ගයා හිසට යන මේ ගමනට සම්බන්ධ වූයේ ඡන්න නම් උන්වහන්සේ හා සමවයස් ඇමතිවරයා පමණ යි. බෝසතුන් වහන්සේ තවුස් වෙස් ගෙන තමන් සතු ව පැවති රාජකීය ඇඳුම් කට්ටලය පියරජු සුද්ධෝදන වෙත භාරදීම පිණිස යොදා ගත්තේ මේ ඡන්න ඇමතිවරයා යි.

ඉතින් එදා ඒ රාජකීය ඇඳුම් කට්ටලය රැගෙන ආ ඡන්න ඇමතිවරයා පසු කාලයක බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩි දිනයේ ම බුදුරදුන් වෙත ගොස් පැවිදි බව ලැබුණේ පෙර සසර ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් වශයෙනු යි. මේ ඡන්න පැවිදි වූ පසු හිතට දැඩි ආඩම්බරයක් ගත්තා. එයට හේතුව වුණේ සිදුහත් බෝසතුන් අවදියේ සිට පැවැති සබැඳීයාව යි. මෙය වැරැදි විදියට ප්‍රයෝජනයට ගත්ත ඡන්න හැම විට ම අනෙකුත් දැනඋගත්, වයසින් වැඩි, පැවිද්දෙන් ජ්‍යෙෂ්ඨ මහරහතන් වහන්සේලා පවා සුළු කොට කල්පනා කළා. නිතර ම සැරියුත් හා මුගලන් මහරහතන් වහන්සේලා දෙනමට නුගුණ මවා පාමින් ඒ නිසා අනෙකුත් භික්ෂූන් වහන්සේලා තම මතයට ඇවිත් අගසව් දෙනම සුළුකොට සලකාවි යන අදහසින් දොස් පරොස් කියා අවලාද නගන්නට පමණක් නොව ප්‍රසිද්ධියේ ආක්‍රෝශ පරිභව කරමින් නින්දා අපහාස කරන්නට ත් පටන් ගත්තා. මේ නිසා බුදුරජාණන් වහන්සේට පවා මේ සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා දැනුම් දුන්නා. මේ නිසා බුදුරජාණන් වහන්සේ ඡන්න තෙරුන්ට පණිවුඩ යවා ගෙන්වා ගෙන අවවාද කළා. ඒ අවවාද කරන වේලාවේ කිසිත් නො කියා නිශ්ශබ්ද ව සිට නැවතත් පෙර විදිහට ම සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට දොස් පවරමින් නින්දා අපහාස කිරීම නැවැත් වූයේ නැහැ. මේ ආකාරයෙන් වාර තුනක් ම බුදුරජාණන් වහන්සේගේ අවවාදයට ඡන්න තෙරුන් හික්මවා ගන්නට බැරි තැන බුදුරජාණන් වහන්සේට වැටහුණා තමන් වහන්සේ ජීවමාන ව වැඩ වසන තාක් කල් ඡන්නගේ මේ අහංකාර ගති පැවැතුම් නවතින්නේ නැති බව. ඒ නිසා උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ වැනි වඩාත් සමීපතම භික්ෂූන් වහන්සේ අමතා ප්‍රකාශ කළා තමන් වහන්සේ ජීවමාන වනතුරු මේ කාර්යය ඉටු කරගන්නට නොහැකි නිසා තම පරිනිර්වාණයෙන් පසුව මෙම ඡන්න හික්මවා ගත හැකි වන බව. එතෙක් ඡන්නට කිසියම් විනයානුකූල දණ්ඩනයක් පැනවීමට බුදුරජාණන් වහන්සේ එම භික්ෂූන්ට උපදෙස් දුන්නා. කෙසේ වුවත් මෙයින් බරපතළ අවාසියක් ඡන්න තෙරුන්ට අත් විඳින්නට සිදු වුණා. ඒ කුමක් ද? බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයෙහි ම නිර්වාණාවබෝධය ලැබිමට ඡන්න භික්ෂුවට අවස්ථාව නො ලැබීම යි.

කොහොම වුණත් හරියට ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන දවසෙහි ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ ප්‍රශ්නයක් මතු කළා. එනම් ”ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පිරිනිවන් පෑවායින් පසුව මේ ඡන්න තෙරුන් පිළිබඳ ව අවශේෂ භික්ෂූන් වහන්සේ විසින් අනුගමනය කළ යුත්තේ කුමන පිළිවෙතක් ද?” යන්න යි. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නේ ඡන්න තෙරුන්ට බ්‍රහ්ම දණ්ඩනය පනවන ලෙසට යි. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසුව ආනන්ද හාමුදුරුවෝ ඡන්න තෙරුන් වහන්සේ සොයා ගොස් උන්වහන්සේට සෙසු භික්ෂූන් වහන්සේ විසින් බ්‍රහ්ම දණ්ඩනය පනවන බව ප්‍රකාශ කළා. මේ අවස්ථාවේ මේ තත්ත්වය දරා ගන්නට නො හැකි ව ඡන්න තෙරුන් වහන්සේ තෙවරක් ම සිහිසුන් ව ඇදවැටුණා. නැවත නැගී සිටි ඡන්න තෙරුන් ආනන්ද හාමුදුරුවන් වහන්සේ වෙත බැගෑපත් වෙමින් ඉල්ලා සිටියේ ” මා නො නැසුව මැනව, මා නො නැසුව මැනව ස්වාමිනි, ” මේ සිදුවීමෙන් පසු ඡන්න තෙරුන් වහන්සේ සියල්ල තේරුම් ගෙන එතැන් සිට පැවති නො හික්මුණු සාඩම්බර ගති පැවතුම් ඉවත දමා, විදසුන් වඩා, සිව්පිළිසිඹියා පත් මහරහතන් වහන්සේ නමක් බවට ද පත් වී අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් තවත් එක නමක් වීමේ අවස්ථාව උදා කර ගත්තා.

මෙම ඡන්න තෙරුන් වහන්සේ පිළිබඳ කථා ප්‍රවෘත්තිය අද ජිවත් වන අප සැම දෙනාට ම කරුණු දෙකක් නිසා වැදගත් වෙනවා.

අද අප සමාජයේ බොහෝ දෙනෙක් මෙවැනි සාඩම්බර ගති පැවැතුම් තුළින් උන්මාද බවට පත් වී ක්‍රියා කරන බොහෝ අවස්ථා පිළිබඳ බහුල වශයෙන් සාක්ෂි පවතිනවා. මෙහි දී විවිධ බලපුළුවන්කාරකම් වලින් උද්දාමයට පත් වී සුදුස්සන් නුසුදුස්සන් ලෙසට පත් කර, අයුතු අසාධාරණ ක්‍රියාවන්හි යෙදෙමින් අප ජිවත්වන මේ සමාජයට විවිධ මට්ටමේ හානි සිදු කරනවා. මෙහි දී අද බොහෝ විට මෙම උම්මත්ථක තත්වයන් කෙරෙහි බලපෑම් ඇති කර ගන්නේ ඔවුන් සතු විවිධ බලපුළුවන්කාරකම්. එහි දී ඔවුන් ඒ කරුණු බොහොම තාවකාලික බවක් සිතන්නේ නැහැ.

මේ නිසා සමාජයට විවිධ විපත් ඇති කරනවා. එවැනි බලයන්හි තාවකාලික බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි ව ප්‍රකාශ කරලා තිබෙනවා. බලය වැඩි වූ විට ඡන්න තෙරුන් මෙන් තමන්ට නැති බලයක් ආරෝපණය කර ගෙන සමාජ විරෝධි ක්‍රියාවන්ට පෙළඹෙමින් අහිංසක ජන කොටස් විවිධ අකරතැබ්බයන්ට පත් කරනවා. ඡන්න තෙරුන්ට සිදු වූයේ ත්, ඡන්න තෙරුන් අනුගමනය කළේ ත් මේ තත්වය ම යි.

දෙවැනි කාරණය තමා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු වැටහුණා තමන් මෙතෙක් කල් ආරෝපණය කරගත් බලය තමන් වෙත සැබවින් ම නො මැති බව. ඒ නිසා තමන් නිකම් ම හිස් ජීවිතයක් නේ ද ගත කරලා තියෙන්නේ කියා තේරුම් ගැනීමට ඡන්න තෙරුන්ට වැඩි කල් ගත වූණේ නැහැ.

බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය ගැන හරි වැටහීමක් ඒ අවස්ථාවේ දී නො තේරුණ ඡන්න බුදුරජාණන් වහන්සේ සතු බුද්ධ බලය තමන්ට ද ආරෝපණය කර ගැනීමටම යි සිතුවේ. එය බුදුරජාණන් වහන්සේ අනුමත නො කළත්, ඒ බව තේරුම් ගැනිමට තරම් ඡන්නගේ බල උන්මාදය අවකාශ ලබා දුන්නේ නැහැ. මෙය ඔහුට මැනවින් වැටහුණේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවයින් පසුව තමන් වහන්සේට බ්‍රහ්ම දණ්ඩනය පැනවීම තුළිනු යි. ඉතින් දැන් ඡන්න තෙරුන් අසරණ වුණු නිසා ම යථාර්ථය තේරුම් ගැනිමට ඡන්න තෙරුන්ට අවස්ථාව සැලසුණා. දැන් ඉතින් ඡන්න කල්පනා කළේ යථාර්ථයට මුහුණ දිලා අහිමි කරගත් විනයානුලෝමික පැවැත්ම නැවත සවිමත් කර ගෙන ක්‍රියා කිරිම නිසා ම උත්තරීතර නිර්වාණාවබෝධය පමණක් නොව පෙරුම්පුරා ගෙන ආ ඥාන ශක්තිය ඇති වී සිව්පිළිසිඹියාපත් රහත් භාවයට පත් වීමට තරම් පුණ්‍යවන්ත වුණා. මෙවැනි තත්ත්වයන්ට අප ජිවත් වන සමාජයෙන් කොතෙකුත් නිදසුන් සැපයෙනවා. එනම් පුහු ආටෝප සාටෝප ගති පෙන්විම පිණිස යොදා ගන්නා බලයේ තාවකාලික බව තේරුම් යන්නේ යම් අවස්ථාවක ඒ සාඩම්බර භාවයට බලපෑ තමන් සිතට ගත් නිසරු බලයන් තවත් ආසන්න අවස්ථාවක අහිමිවන විට තමන් නැවතත් වහ වහා බිමට ම වැටෙන අවස්ථා ස්ථිර වශයෙන් ම ඇති වන බවට මේ සමාජයෙන් නිදසුන් ඕනතරම් ඉදිරිපත් වෙනවා.