[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් 54 : ශික්‍ෂණය කිරීමේ පිළිවෙත් සතරක්

තෙවළා බුදු වදන් අතරින් 54 :

ශික්‍ෂණය කිරීමේ පිළිවෙත් සතරක්

සාදාචාරාත්මක ශික්‍ෂණය ගොඩනැගීම සඳහා බුදුරදුන් අනුගමනය කළ ක්‍රම වේදයේ එක් විශේෂතාවක් වන්නේ දේව, මනුෂ්‍ය, නිරය, තිරච්ඡාන, ප්‍රේත යන පංචවිධ ගති පිළිබඳ ගෙනහැර දැක්වීම යි. බුදුරදුන්ගේ අතීන්ද්‍රීය ඤාණය ට අයත් මෙම අවබෝධය අභිඥා මගින් අර්ථවත් වේ.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙන සමයෙහි එක් දිනෙක අසුන් පුහුණු කිරීමේ ව්‍යාපාරයක නිරත වූ කේසී නම් අශ්ව වෙළෙන්දා උන්වහන්සේ බැහැදැකීම පිණිස පැමිණියේ ය.

එම අවස්ථාවෙහි කේසී ඇමතූ බුදුරජාණන් වහන්සේ ඔහු අශ්වයන් පුහුණු කරන්නේ කෙසේදැයි වීමසූ සේක. බුදුරදුන්ට පිළිවදන් දුන් කේසී අශ්වයන් පුහුණු කිරීම සඳහා ඔහු විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදය පිළිබඳ සැකෙවින් පැහැදිලි කළේ ය. ඒ අනුව අසුන් දමනය කිරීමේ දි පළමුව මෘදු ක්‍රමය අනුගමනය කරන බවත්, එයින් ප්‍රයෝජනයක් නොමැති නම් දෙවනුව රළු ක්‍රමය අනුගමනය කරන බවත් පැවසී ය. මෘදු හා රළු ක්‍රම දෙකින් ම අසුන් දමනය කළ නොහැකි නම්, එම ක්‍රම දෙක ම ඒකාබද්ධ කරමින් තුන්වන ක්‍රමය යොදා ගන්නා බව පැවසී ය. එයිනුත් සෑහීමක ට පත්විය හැකි මට්ටමේ මනා පුහුණුවක් ලබාදී ශික්‍ෂණය කළ නොහැකි දඩබ්බර අසුන් තම ආචාර්ය සම්ප්‍රදායට නොගැලපෙන හෙයින් මරා දමන බව පැවසී ය. තමන් අසුන් ශික්‍ෂණය කිරීම සඳහා භාවිත කරන ක්‍රම තුන පිළිවෙලින් පැහැදිලි කළ කේසී පුරිසදම්ම සාරථි යනුවෙන් සම්භාවනාවට පත් බුදුරදුන් තම ශ්‍රාවකයන් හික්මවන්නේ කෙසේදැයි විමසීය. කේසි ඇසූ පැනයට පිළිතුරු වශයෙන් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ අනුගමනය කරන පිළිවෙත සැකෙවින් පැහැදිලි කළ සේක.

භාග්‍යවතුන් වහන්සේ කිසියම් නොහික්මුණු අයෙකු දමනය කිරීමේ දී, පළමුව එම තැනැත්තා අමතා “කාය සුචරිතය මෙබඳු ය. කාය සුචරිතයේ විපාක මෙබඳු ය. වචී සුචරිතය මෙබඳු ය. වචී සුචරිතයේ විපාක මෙබඳු ය. මනෝ සුචරිතය මෙබඳු ය. මනෝ සුචරිතයේ විපාක මෙබඳු ය. දෙවියෝ මෙබඳු ය. මනුෂ්‍යයෝ මෙබඳු ය” යනුවෙන් මෘදු ක්‍රමයට අනුශාසනා කරති. එය උන්වහන්සේ කෙනෙකු ශික්‍ෂණය කෙරෙන පළමු ක්‍රමය යි. දෙවන ක්‍රමය රළු එකකි. එහි දී භාග්‍යවතුන් වහන්සේ පුද්ගලයා අමතා “කාය දුශ්චරිතය මෙබඳු ය. එහි විපාක මෙබඳු ය. වචී දුශ්චරිතය මෙබඳු ය. එහි විපාක මෙබඳු ය. මනෝ දුශ්චරිතය මෙබඳු ය. එහි විපාක මෙබඳු ය. නිරය මෙබඳු ය. තිරිසන් යෝනිය මෙබඳු ය. ප්‍රේත යෝනිය මෙබඳු ය” යනුවෙන් රළු ක්‍රමයකින් ශික්‍ෂණය කරති. එසේ රළු ක්‍රමයෙනුත් ශික්‍ෂණය කළ නොහැකි වූ විටෙක භාග්‍යවතුන් වහන්සේ මෘදු සහ රළු යන ක්‍රම දෙක ම භාවිත කරති. ඒ අනුව නොහික්මුණු තැනැත්තා අමතා “කාය සුචරිතය මෙබඳු ය. එහි විපාක මෙබඳු ය. කාය දුශ්චරිතය මෙබඳු ය. එහි විපාක මෙබඳු ය. වචී සුචරිතය මෙබඳු ය. වචී සුචරිතයේ විපාක මෙබඳු ය. වචී දුශ්චරිතය මෙබඳු ය. එහි විපාක මෙබඳු ය. මනෝ සුචරිතය මෙබඳු ය. මනෝ සුචරිතයේ විපාක මෙබඳු ය. මනෝ දුශ්චරිතය මෙබඳු ය. එහි විපාක මෙබඳු ය, දෙව්ලොව මෙබඳු ය. මිනිස් ලොව මෙබඳු ය. නිරය මෙබඳු ය. තිරිසන් ලොව මෙබඳු ය. ප්‍රේතලෝකය මෙබඳු ය” යනාදි වශයෙන් මෘදු හා රළු යන ක්‍රම දෙකටම අනුව ශික්‍ෂණය කරනු ලැබේ. මෙසේ පිළිවෙලින් ක්‍රම තුනට ම අනුව යම් පුද්ගලයෙකු දමනය කළ නොහැකි වන්නේ නම් බුදුරජාණන් වහන්සේ එහදී කුමක් කරන්නේදැයි කේසි විමසී ය. එසේ ක්‍රම තුනට ම අනුව හික්මවිය නොහැකි යම් පුද්ගලයෙක් වෙතොත් ඒ තැනැත්තා මරා දමන බව උන්වහන්සේ පැවසූ සේක. මෙය ඇසීමෙන් මහත් විමතියට පත් කේසී ප්‍රාණඝාතයෙන් වැළකීම පිළිබඳ ධර්මය දෙසන බුදුරජාණන් වහන්සේ එවැනි ක්‍රියාවක් කෙසේ සිදුකරන්නේදැයි විමසී ය. අනතුරුව බුදුරජාණන් වහන්සේ ආර්ය විනයෙහි කෙනෙකු ඝාතනය කිරීම යනුවෙන් අදහස් කෙරෙන්නේ කුමක්දැයි පැහැදිලි කළ සේක. ඒ අනුව “කේසි! ප්‍රාණඝාතය අනුමත නොකිරීම තථාගතයන් වහන්සේගේ සැබෑ අනුශාසනය යි.

එහෙත් මෘදු හෝ රළු ක්‍රමයෙන් ද, එසේ නැතහොත් එම ක්‍රම දෙකින් ම ශික්‍ෂණය කළ නොහැකි යැයි සිතන පුද්ගලයා තථාගතයන් වහන්සේ විසින් නැවත නැවතත් අනුශාසනා නොකළ යුතු අයෙකැයි සලකා බැහැර කරනු ලැබේ. සබ්‍රහ්මචාරීන් වහන්සේලා ද ඔහු අනුශාසනා නොකළ යුත්තෙකැයි සලකා බැහැර කරති. ආර්ය විනය ට අනුව කෙනෙකු මෙසේ අවවාද, අනුශාසනා කිරීමෙන් බැහැර කළ යුතු අයෙකැයි සිතීම එක්තරා ආකාරයකට ඝාතනය කිරීමක් බඳුය යැයි” තථාගතයන් වහන්සේ දේශනා කළ හ. සියල්ල අසා සිටි කේසි, එසේ අවවාද අනුශාසනා කිරීමෙන් කෙනෙකු බැහැර කිරීමේ සිව්වන ශික්‍ෂණ ක්‍රමවේදය ඝාතනය කිරීමක් හා බඳුයැයි පිළිගත්තේ ය.

අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ එන කේසී සූත්‍රයෙන් ශ්‍රාවකයන් ශික්‍ෂණය කිරීමෙහිලා බුදුරදුන් අනුගමනය කළ පිළිවෙත් සතරක් අනාවරණය වේ. අශ්වයන් පුහුණු කිරීමෙහිලා දක්‍ෂ කේසි තම අශ්වයන් පුහුණු කරන්නේ කෙසේදැයි විමසූ බුදුරදුන් තමන් වහන්සේ ද එම ක්‍රමයට හා සමාන ක්‍රමයක් අනුගමනය කරන බව දේශනා කළ හ. එහෙත් එම ක්‍රමය බුදුරදුන් අනුගමනය කළේ නොදැමුණු මිනිසුන් පුහුණු කිරීම සඳහා මිස සතුන් පුහුණු කිරීම පිණිස නොවේ. බුදුරදුන් අනුගමනය කළ ක්‍රමය සාදාචාරාත්මක ශික්‍ෂණ ක්‍රමයකි. පළමු වැන්නට අනුව උන්වහන්සේ කායික, වාචසික හා මානසික වශයෙන් යහපත් චර්යාවත්, එහි ආනිසංසත් එම චර්යාවන් අනුගමනය කිරීමෙන් පුද්ගලයෙකුට ළඟාවිය හැකි නිෂ්ඨාවත් පැහැදිලි කරති. මෘදු ක්‍රමය යනු එය යි. යහපත් ක්‍රියාව හා එහි ආනිසංස අසන්නාගේ සිත තුළ භීතියක් හෝ කම්පනයක් ඇති නොවේ. එයට හේතුව යහපත් චර්යාවත් එහි ආනිසංසත්, විස්තර කරන හෙයිනි. එසේම දෙව්ලොව හා මිනිස් ලොව ඉපදීම පරලොව විශ්වාස කරන සැම පුද්ගලයෙකුගේ ම ඒකායන අභිලාසය වේ. එබැවින් ඒ ගැන කියනු ඇසීමට නියත වශයෙන් ම කැමැත්තක් තිබේ.

දෙවන ක්‍රමය කඨෝර එකක් වන්නේ එය ත්‍රිවිධ චර්යාවේ අකුසල සහගත අංශය නැතහොත් දුක්ඛදායක අංශය විවරණය කරන හෙයිනි. දුශ්චරිත ක්‍රියාවත්, එය අනුගමනය කරන්නෙකුට ඒ හේතුවෙන් විඳීමට සිදුවන ආදීනවත් එම අයහපත් චර්යාවේ අවසාන නිශ්ඨාව වන නිරය, තිරච්ඡාන හා ප්‍රේත යන තෙවදෑරුම් දුගතිය ක උපත ලැබීම ට සිදුවේයැයි අසන්නට ලැබීම දුක්ඛදායක ය. සිත අසහනයට පත්කිරීමට හේතු වේ. මෙසේ යම් ක්‍රියාවක දුක්ඛදායක ආදීනව ගෙනහැර දක්වමින් කරනු ලබන ශික්‍ෂණය රළු එකකි.

තුන්වන ක්‍රමය, පළමු හා දෙවන ක්‍රම දෙකෙහිම සංකලනයකි. ඇතැම් කෙනෙකු ශික්‍ෂණය කිරීමේ දී එම ක්‍රම දෙක ම භාවිතය ට ගැනේ. මුල් ක්‍රම තුනට ම අනුව ශික්‍ෂණය කළ නොහැකි තැනැත්තා බුදුරදුන් මෙන්ම සබ්‍රහ්මාරී සමාජයෙන් ද පිටමන් කරනු ලැබේ. නැවත නැවතත් අනුශාසනා නොකළයුත්තකු සේ සලකනු ලැබේ. එසේ නොසලකා හැරීම ඝාතනය වීමක් හා සමාන වේ.

සාදාචාරාත්මක ශික්‍ෂණය ගොඩනැගීම සඳහා බුදුරදුන් අනුගමනය කළ ක්‍රම වේදයේ එක් විශේෂතාවක් වන්නේ දේව, මනුෂ්‍ය, නිරය, තිරච්ඡාන, ප්‍රේත යන පංචවිධ ගති පිළිබඳ ගෙනහැර දැක්වීම යි. බුදුරදුන්ගේ අතීන්ද්‍රීය ඤාණය ට අයත් මෙම අවබෝධය අභිඥා මගින් අර්ථවත් වේ.

තථාගතයන් වහන්සේගේ එම අවබෝධය අනුව දිව්‍ය, මනුෂ්‍ය, නිරය, තිරච්ඡාන, ප්‍රේත යන සිව්වැදෑරුම් ගතිස්වභාවය පැහැදිලි කිරීමෙන් පුද්ගලයා තුළ සදාචාර සම්පන්න වීම සඳහා පෙළඹවීමක් ඇතිකරනු ලැබේ. දෙව්ලොව හා අපාය පිළිබඳ සැප දුක් ගෙනහැර දක්වමින් කළ බුද්ධ දේශනාවල මුඛ්‍ය පරමාර්ථය වී ඇත්තේ එම අවබෝධය පුද්ගලයාට ලබාදී ම ය. ඒ අනුව සුගතිය හෙවත් දෙව්ලොව හෝ මනුෂ්‍ය ලෝකය පිළිබඳ කැමැත්ත වර්ධනය වන සේ සදාචාරාත්මක ජීවිතයේ ආනිසංස ගෙන දැක්වීම මෘදු ක්‍රමයෙන් අපේක්‍ෂිත ය. නිරය, තිරච්ඡාන හා ප්‍රේත ලෝකයේ පවතින දුක්ඛදායක ස්වභාවය පැහැදිලි කිරීමෙන් පවින් වැළකීම ට කෙරෙන අනුශාසනය රළු ක්‍රමයේ අරමුණ වේ. එක්වර මෙම ක්‍රම දෙකම අනුගමනය කෙරෙන තුන්වැන්නෙන් නොදැමුණු පුද්ගලයාට එහි පවතින සැප දායක හා දුක්ඛ දායක ස්වභාවය පිළිබඳ තුළනාත්මක අවබෝධයක් ලබා දේ. සිව්වන ක්‍රමය භාවිතකොට තිබෙන්නේ දේවදත්ත වැනි ඉතාමත් නොහික්මුණු පුද්ගලයන් සම්බන්ධයෙන් පමණි. ඡන්න හිමියන් සම්බන්ධයෙන් ද මෙය අනුගමනය කළේ ආයති සංවරය අරමුණු කරගෙන ය.

බ්‍රහ්මදණ්ඩය පැනවීමෙන් අපේක්‍ෂා කළේ අදාන්ත පුද්ගලයා තුළ ශික්‍ෂණය සඳහා පෙළඹවීමක් ඇතිකිරීම පිණිස මිස මුළුමණින් ම ඔහු නොසලකා හැරීම සඳහා නොවන බව පැහැදිලි ය. ගුරුවරයෙකුගේ කාර්ය භාරය විය යුත්තේ ද එය වේ. එබැවින් ශිෂ්‍යයන් හික්මවීමේ දී කේසී සූත්‍රයේ බුදුරදුන් අනුදත් සිව්වැදෑරුම් ශික්‍ෂණ ක්‍රමවේදය බෙහෙවින් වැදගත් වේ.

දුරුතු පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 02 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.00 ට ලබයි. 03 වන දා සිකුරාදා අපර භාග 11.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වන දා සිකුරාදා 

මීළඟ පෝය ජනවාරි 10 වන දා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]