[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධම්මපදයෙන් ජීවිතයට: වැඩුවෙන් අප්‍රමාදය හිමි විය ශක්‍ර පදවිය

වැඩුවෙන් අප්‍රමාදය හිමි විය ශක්‍ර පදවිය

අප්පමාදෙන මඝවා
දෙවානං සෙට්ඨතං ගතො
අප්පමාදං පසංසන්ති
පමාදො ගරහිතො සදා

අප්‍රමාදයෙන් මඝ තෙම
ලැබුවා සක් දෙව් පදවිය
අප්‍රමාදය ම පසසත්
පමාව හැමදා ගරහත්

බුදුපියාණන් වහන්සේ විශාලා මහ නුවර කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරන සේක් දෙවියන්ගේ අධිපති වූ ශක්‍ර දේවේන්ද්‍රයා අරමුණු කරගෙන මේ ගාථාව දේශනා කළ සේක.

භාග්‍යවතුන් වහන්සේ සක්ක පඤ්හ සූත්‍රය දේශනා කළ බව ආරංචි වූ මහාලී නම් ලිච්ඡවි කුමාරයෙක් මෙසේ සිතී ය. “ශක්‍රයා ගේ ආශ්චර්යය භාග්‍යවතුන් වහන්සේ විසින් විස්තර කර ඇත. එහෙත් ඇත්තෙන් ම භාග්‍යවතුන් වහන්සේ ශක්‍රයා දැක තිබේ ද? උන්වහන්සේ ශක්‍රයා සමග කතා බහ කර තිබේ ද? නැතහොත් උන්වහන්සේ තමන් නුදුටු ශක්‍රයෙක් ගැන වර්ණනා කරනවා ද? මම උන්වහන්සේ හමු වී මෙහි ඇත්ත නැත්ත පැහැදිලි කර ගනිමි.”

මෙසේ සිතා භාග්‍යවතුන් වහන්සේ හමුවට ගිය හෙතෙම උන්වහන්සේට වැඳ එකත්පස්ව සිට උන්වහන්සේ සමඟ පිළිසඳර කතා නිමවා “භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයා දැක තිබේ ද? “යි විමසූ හ.

‘එසේ ය මහාලී, මම ශක්‍ර දේවේන්ද්‍රයා දැක ඇත්තෙමි”. “භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දකින්නට ඇත්තේ ශක්‍ර දේවේන්ද්‍රයා වැනි වෙන කෙනෙකි. ශක්‍ර දේවේන්ද්‍රයා දැක ගැනීම ඉතා ම දුෂ්කර කරුණකි”. “නෑ මහාලී, මම ශක්‍රයා හොඳින් දනිමි. ඔහු ශක්‍ර පදවිය ලද්දේ කවර ගුණ පිරීමෙන් ද? යන්නත් මම දනිමි”යි පැවසූ භාග්‍යවතුන් වහන්සේ ශක්‍රයා ගේ උප්පත්ති කථාව මහාලිට පැහැදිලි කර දුන්හ.

“මහාලී, එක් පූර්වාත්මභාවයෙක ශක්‍ර දේවේන්ද්‍ර තෙම මනු ලොව ඉපිද සිටියේ ය. එකල ඔහු ගේ නම මඝ නම් විය. ඒ නිසා ඔහුට අද “මඝවා’ යයි ද කියති. හෙතෙම නුවරක්, නුවරක් පාසා දන්සැල් සකස් කරවා දන් දුන්නේ ය. එහෙයින් ඔහුට ‘පුරින්දද’යි කියති. ඔහු දන් දුන්නේ මනා පිළිවෙළට ය. එහෙයින් ඔහුට ‘සක්ක’ යැයි කියති. මිනිස් බව ලැබ සිටිත් දී හේ ආවාසයක් තනා පූජා කළේ ය. එහෙයින් ඔහුට ‘වාසව’ යැයි කියති.

ඔහුට දැන් එක මොහොතක් තුළ දහසක් කරුණු වටහා ගැනීමේ ශක්තිය ඇත. එහෙයින් ඔහුට ‘සහස්සක්ඛ” යැයි කියති. ඔහුට සුජාතා නම් අසුර කන්‍යාවක් ආවාහ කර ගත හැකි වූ හෙයින් ‘සුජම්පති’ යැයි කියති. ඔහු තව්තිසාවෙහි දෙවියන්ට අධිපති හෙයින් ‘දේවින්ද’ යැයි කියති. ඔහුට ‘ශක්‍ර දේවේන්ද්‍ර’ භාවය ලබා ගැනීමට හැකි වූයේ මනුෂ්‍යාත්ම භාවයෙහි දී සප්තව්‍රත පද පූරණය කළ හෙයිනි. ඒ සප්ත ව්‍රත පද නම්,

දිවි තිබෙන තුරු ම මවු පියන් රැක බලා ගැනීම
කුල දෙටුවන් පිදීම
මොළොක් බස් කතා කිරීම
කේලාම් නො කීම
මසුරු කම හැර දන් දීම
සත්‍යවාදීත්වය
කෝප නො ගැනීම යන ප්‍රතිපත්ති හතයි

මේ ප්‍රතිපත්ති සප්තකය නො කඩවා ආරක්ෂා කළ හෙයින් හෙතෙම ශක්‍ර සම්පත්තිය ලැබී ය.

මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ මඝ මානවකව උපන් සමයෙහි තරුණයන් තිස් දෙදෙනකු සමග එක්ව ගමක් සංවර්ධනය කිරීමට ක්‍රියා කළ අයුරුත්, ඊට එරෙහි වූ ගම් මුලාදෑනියා රජතුමාට දන්වා ඔවුන් අත් අඩංගුවට ගත් අයුරුත් වදාළ සේක. රජතුමා පසුව නියම තතු දැනගෙන ඔවුන් නිදහස් කර උදවු උපකාර කළේ ය. මනු ලොව බොහෝ පින්කම් කර යහපත් ජීවිතයක් ගත කළ හේතුවෙන් ඔවුනට තමන් ගේ ම දේව ලෝකයක් ‘තව්තිසා’ නමින් නිර්මාණය විය. එහි අධිපති වූ මඝ , ශක්‍ර දේවේන්ද්‍ර නමින් ප්‍රකට විය. මේ පුවත් මහාලීට පැවසූ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව ද වදාළ සේක.

මඝවා - මඝ මානවක තෙම
අප්පමාදෙන – අප්‍රමාදයෙන්
දෙවානං - දෙවියන්ගේ
සෙට්ඨතං - නායකත්වයට
ගතො - පත්විය.
අප්පමාදං - අප්‍රමාදය
පසංසන්ති (නුවණැත්තෝ) පස්සති
පමාදො – ප්‍රමාදය
සදා – හැමවිට ම
ගරහිතො - පහත් කොට සලකනු ලැබේ.

මඝ නම් තරුණයා දෙවියන්ගේ නායකත්වයට පත් වූයේ අප්‍රමාදය හේතුවෙනි. අප්‍රමාදය හැමදා නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ලක් වූවකි. ප්‍රමාදය කවදත් ගර්හාවට ලක් වූවකි.

දුරුතු පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 02 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.00 ට ලබයි. 03 වන දා සිකුරාදා අපර භාග 11.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වන දා සිකුරාදා 

මීළඟ පෝය ජනවාරි 10 වන දා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසළොස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]