[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භව ගමනේ දුක් විපාක ඇයි? - 02 කොටස

භව ගමනේ දුක් විපාක ඇයි?

" පරමාර්ථ වශයෙන් බලන විට එය තාවකාලික සැපයක් පමණක් බවත්, මේ සැපයෙහි ඇලීමක් ඇති කරගතහොත්, එනම් අභිජ්ඣා නම් වූ විෂම වූ ලෝභයක්, දැඩි ආශාවක් ඇති කරගතහොත් එය ම භවය තවත් දිගු කරමින්, දීර්ඝ ගමනකට මුලපිරීමක් වනු ඇත. "

අපි සරල ලෙස මෙසේ විමසා බලමු. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් “අනමතග්ගෝයං භික්ඛවේ සංසාරො පුබ්බාකෝටි න පඤ්ඤායති” කෙළවරක් දකින්න ට නැති මේ සසරෙහි, ආරම්භයක් නොපෙනේ.

ඒ වගේ ම සම්බුද්ධ දේශනාව අනුව සියලු සත්ත්වයෝ ම ඔවුන් ගත කළ භවයේ එනම්, සසරේ වැඩිපුර ම ගතකොට ඇත්තේ, උප්පත්ති ලබා ඇත්තේ සතර අපායේ ය. නරක, තිරිසන්, ප්‍රේත, අසුර නම් වූ සතර අපායේය. බ්‍රහ්ම ලෝකයක හෝ දිව්‍ය ලෝකයක හෝ මනුෂ්‍ය ලෝකයේ හෝ ඉපිද, යම් වූ සැපක් විඳ ඇත්තේ නම්, ඒ සැප, සතර අපායේ ඉපිද විඳි දුකට අලගු තැබීමටවත් නොහැකි බව පැහැදිලි වේ.

ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් යම් දවසක මහා සාගරය වියැකී සිඳී යා හැකි ය. මහ පොළොව වියැකී සිඳී යා හැකි ය. ආකාසය වියැකී සිඳී යා හැකි ය. මහාමේරු පර්වතය පවා වියැකී සිඳී යා හැකි ය. එහෙත් සත්ත්වයන්ගේ දුක කෙළවර කිරීමක් පිළිබඳ ව පැනවිය නොහැක්කේ ය. දැකිය නොහැක්කේ ය. බුදු උතුමෙකුට එය දැකිය හැකි වනු ඇත. එහෙත් බුදු උතුමෙක් යම් සත්ත්වයකුගේ දුක කෙළවරවීම බලන්නට යෑමෙන් තව අප්‍රමාණ පිරිසකට දුකින් නිදහස් වීමට මඟ පෙන්වන අවස්ථාව ගිලිහී යනු ඇත. ඒ නිසා වර්තමානයේ පවත්නා වූ දුකෙන් නිදහස් වෙන්නට මඟ දේශනා කරනවා විනා සත්වයන්ගේ අතීතයවත්, අනාගතයවත් සොයන්නට නොයෑම භාග්‍යවතුන් වහන්සේලාගේ සිරිතයි. අනාගතයේ දුක් හටගන්නා වූ ස්වභාවයෙන් මිදෙන්නට වර්තමානයේ සිත, සිහිය පිහිටුවා ගතයුතු ආකාරය භාග්‍යවතුන් වහන්සේලා දේශනා කරනවා.

මේ අනුව ඉපදීම දුකක් හැටියට අප සිහිපත් කර ගත යුත්තේ සංසාර චක්‍රය ම යි. සමස්ත භවය ම යි. ජාති කියන වචනයෙන් ඉපදීම, හටගැනීම, මව්කුසට බැස ගැනීම, ස්කන්ධ පංචකය පහළවීම ආදී වශයෙන් සියල්ල විභංග සූත්‍ර දේශනාවත් ඇසුරුකොටගෙන අපට පැහැදිලි කර ගත හැකියි. එවිට ඉපදීමක් ලෙස සලකන්නේ මේ ජීවිතයේ අප ලැබූ උපත පමණක් නොවේ. අතීත සංසාර ගමනේ පටන් ම ලද උපත් ද, එනම් සතර අපායේ ලැබූ උපත් ද මේ ඉපදීම ම දුකක් ය කියන වචනය තුළින් අර්ථ නිරූපණය කර ගැනීම දුකෙන් නිදහස් වෙන්න සිතන සියලු දෙනාට ම යහපත් වනු ඇත. එසේ නොමැති වූවොත් ලෞකික ජීවිතයේ යම් කෙනෙකුට උපතින් ම ලබන ලෞකික සැප සම්පත් හෝ වේවා, ඉන් අනතුරු ව තමා විසින් ඇති කර ගන්නා වූ සැප සම්පත් හෝ වේවා දුක අමතක කොට ජීවත් වෙන්නට උපකාර වනු ඇත.

වර්තමාන පරිසරයේ පවා සැප සම්පත් තිබෙනවා ය කියන තැනක සිටින අයත්, කීර්ති, ප්‍රශංසා, ලාභ, ලෞකික වශයෙන් බහුල ව ලබන අයත් දුක කියන තැන සිත, සිහිය පිහිටුවන්නේ නැත. එයට හේතුව වර්තමානයේ පවත්නා සැප කියන ඇස, කන ආදී ආයතනයන් රූප, ශබ්ද ආදී අරමුණු ඔස්සේ පිනවීම බලවත් ලෙස ලෞකික වශයෙන් සිදු කරන නිසා ය. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙනෙක් සිංහල සාමාන්‍ය සරල කතා පෙළෙහි දැක්වෙන වදන් පෙළක් මතකයට නගා ගත හැකියි. එනම් හෙට මැරුණත් , අද ඉන්ද්‍රියන් සතුටු කරලා යන අදහසයි. මීට වඩා වෙනත් වචන ද පාවිච්චි කරනු ඇත. ඉන් අදහස් කරන්නේ ඔවුන් සියලු දුක අමතක කොට මේ මොහොතේ, තිලක්ඛන ධර්මයට සිත, සිහිය යොමු කරන්න පුරුදු කිරීමට වඩා ඇස්, කන් පිනවන ආරම්මණයන් කෙරෙහි මේ මොහොතේ හෝ හැම මොහොතක් ම සිහිය යොමු කරගෙන කටයුතු කිරීම බව පැහැදිලියි.

මේ නිසා දුක පිළිබඳ ව සැබෑ අවබෝධයක් ඇති කර ගත්තෙකු වර්තමානයේ මහමෙරක් උසට ධනයක් ලැබුවත්, සක්විති රාජ සම්පත්තිය සේ මහපොළොව අතුරා වසන්න තරම් සේද වස්ත්‍ර ලැබූවත්, ධන සම්පත් ලැබූවත්, ඒ කෙරෙහි සිතින් මම ය, මගේ ය දෘෂ්ඨියෙන් නොගන්නවා ඇත. එනම් උපාදානය කර නොගනී. ඒවා ධර්මානුකූල ව ලැබූ දෙයක් නම් තමන්ටත්, අන් අයටත් යහපතක් වන ආකාරයෙන් පරිහරණය කළත් ගැඹුරු දහම ආරම්භ වන තැන පෙන්වා දෙන ආකාරයෙන් හේතූන් ප්‍රත්‍යය කරගෙන සකස්වන හැම ඵලයක් ම, විපාකයක් ම හේතූන්ගේ විසිර යෑමෙන් නැති ව යන්නේ ය යන අදහස මත පිහිටා කටයුතු කරයි. මේ දෙස තර්කයෙන් බලනවාට වඩා දහම් ඇසින් බලා තමා කෙරෙහි ලෝභ, ද්වේෂ, මෝහ ආදී කෙලෙසුන් සංසිඳවා ගැනීම වඩා උචිතයි.

එසේ නොවුණොත් අප සියලු දෙනාට ම සිදුවන්නේ රූපස්කන්ධය විසිරී යන තෙක්, ඒවගේ ම වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, ස්කන්ධත් කෙලෙස්වලට බැඳී යන තෙක් ඇලීම් සහ ගැටීම් සමඟ ජීවත්වන්නට සිදුවීමයි. මේ නිසා ඉපදීම සසර භව ගමන පුරාවට ම සම්බන්ධ කර ගැනීමෙන් අපට මේ දුක පිළිබඳ ව ගැඹුරු අදහසක් ඇති කරගත හැකිවනු ඇත.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් සියලු සත්වයෝ වැඩිපුරම උපත ලබා තිබෙන්නේ සතර අපායේ ය. එක්තරා අවස්ථාවක දී බුදුරජාණන් වහන්සේ රජගහනුවර පිඬු සිඟා වඩිමින් සිටින විට සූකර දේනුවක් පෙන්වා, ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළේ බ්‍රහ්ම ලෝකයේ ඉපිද සිට ධ්‍යාන පිරිහීමෙන් ඉන් චුත ව හේ සූකර දෙනක් ලෙස උපත ලබා ආහාර පිණිස අපවිත්‍ර දෑ සොයමින් සිටින ආකාරය යි. ලෞකික ව ලබන්නා වූ උපරිමයක් ලෙස බ්‍රහ්ම ලෝකයක රූපාවචර හෝ අරූපාවචර බ්‍රහ්ම ලෝකයක ඉපදීම දැකිය හැකියි. ඒවා ලෞකික ධ්‍යාන නම් ඒ ධ්‍යාන පිරිහීමෙන් නැවතත් පහළට, එනම් මනුෂ්‍ය ලෝකයකට හෝ දුගතියේ තැනක ඉපදීමත් සිදුවිය හැකියි. මේ නිසා සැප කියන අදහසින් අපි ලෞකික ව බැලුවොත් එය සැපක් හැටියට අපේ සිත පිහිටනවා ඇත.

එහෙත් පරමාර්ථ වශයෙන් බලන විට එය තාවකාලික සැපයක් පමණක් බවත්, මේ සැපයෙහි ඇලීමක් ඇති කරගතහොත්, එනම් අභිජ්ඣා නම් වූ විෂම වූ ලෝභයක්, දැඩි ආශාවක් ඇති කරගතහොත් එය ම බවය තවත් දිගු කරමින්, දීර්ඝ ගමනකට මුලපිරීමක් වනු ඇත.

දුරුතු පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 02 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.00 ට ලබයි. 03 වන දා සිකුරාදා අපර භාග 11.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වන දා සිකුරාදා 

මීළඟ පෝය ජනවාරි 10 වන දා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]