[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශාසන උන්නතිය සඳහා භික්‍ෂුවගේ කාර්‍ය භාරය

"“වච්ඡය, යම් අවස්ථාවක පටන් තණ්හාව ප්‍රහීණ වී ද, උගුලන ලද තල්ගසක් මෙන් තණ්හාවේ මුල් සිඳුණේ ද, මතු තණ්හාව නො උපදී ද, ඒ භික්‍ෂුව ආස්‍රවයන් ක්‍ෂය කළ, බඹසර වැස නිම කළ, කළයුත්ත කළ, ස්කන්‍ධ බර බහා තැබූ, අර්හත්‍වයට පැමිණි, භව බැඳුම් සිඳ, මැනැවින් අවබෝධයට පැමිණි, අර්හත්ඵල විමුක්තියෙන් විමුක්ත වූවෙක් වෙයි"

‘සාසන’ යන වචනයෙහි අර්ථය ‘පණිවිඩය’ යන්නයි. ‘බුද්ධසාසනය’ යනු බුදුවරයන් වහන්සේලාගේ පණිවිඩය යි. (බුද්ධානසාසනං) සියලු පාපයන් නො කිරීමත්, කුසලයන්ගේ සම්පාදනයත්, සිය සිත කෙලෙසුන් කෙරෙන් පවිත්‍ර කිරීමත් යන මෙය බුදුවරයන් වහන්සේලාගේ පණිවිඩය යි.

මේ කාර්යයෙහි උත්සුක වැ නියැළීම සාසනයේ උන්නතියයි. එහි ලා උත්සුක භාවයක් නැති නම් ඒ සසුනේ අවනතියයි. තථාගත ප්‍රවිදිත ධර්මධාතුව සම්බන්‍ධයෙන් සලකන විට විවෘතවීම හෝ, අතුරුදන්වීම හෝ හැරෙන්නට නො පිරිහීම හෝ පිරිහීම හෝ, කියා දෙයක් නැත. “තථාගතවරුන්ගේ උත්පාදයෙහි ද, අනුත්පාදයෙහි ද පටිච්චසමුප්පාදය යන ප්‍රත්‍ය ස්වභාවය, ධර්මස්ථිතිය, ධර්මනියාමය, ඉදප්පච්චයතාව පවත්නේ ම ය. එය තථාගතයන් වහන්සේ අවබෝධ කරයි. අභිසමය කරයි. අවබෝධ කොට අභිසමය කොට දක්වයි. දේශනා කරයි. පනවයි. පිහිටුවයි. විවෘත කරයි. බෙදයි. ප්‍රකට කරයි. බලවු යයි පවසයි.” තථාගතප්‍රවිදිත සද්ධර්මය තථතා, අවිතථතා, අනඤ්ඤථතා යනුවෙන් බුදුවරයන් වහන්සේලා විසින් වෙසෙසා දක්වා ඇත්තේ එ බැවිනි. ධර්මයෙන් නො පිරිහීම හෝ ධර්මයෙන් පිරිහීම පුද්ගලයා පිළිබඳ වූවකි. ලෝක ව්‍යවහාරයට අනුව සාසනයේ උන්නතිය හෝ අවනතිය හෝ, අර්ථ සම්පන්න වන්නේ පුද්ගලයා දර්ශනයෙන් හා චරණයෙන් සාසනය සක්‍රීය කරන්නේ ද, නැත් ද යන්න මත ය. ඒ අනුව ශාසනයේ උන්නතිය බුදුවරයන් වහන්සේලාගේ පණිඩිඩය ප්‍රායෝගිකත්‍වයට නැංවීම වශයෙන් සලකන්නේ නම්, ඒ උදෙසා භික්‍ෂුවගේ කාර්යභාරය හඳුනා ගැනීමේ දී ප්‍රාථමික වශයෙන් ඒ පිළිබඳ ශාස්තෘ අනුශාසනයන් ප්‍රමාණවත් පරිදි තේරුම් ගත යුතු ව තිබේ.

සිව් පිරිසේ කාර්‍ය භාරය:

බුදුරජාණන් වහන්සේ සසුන අර්ථවත් කරනු පිණිස කටයුතු කිරීම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්පිරිසේ ම කාර්‍ය්‍යයක් හැටියට දක්වා තිබේ. ආයුෂ්මත් කිම්බිල තෙරුන් වහන්සේ වරක් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසති. “ස්වාමීනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි යම් හේතුවකින් සද්ධර්මය චිරස්ථිතික නො වේ නම් ඒ හේතු කවරේ ද ?”

(කො නුඛො භන්තෙ හෙතු කො පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොති) යනුයි. මෙහි දී තථාගතයන් වහන්සේ හේතු සතක් දක්වති.

තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා සිව් පිරිස ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගුරු කොට නො ගෙන, යටහත් නො වූ පැවතුම් ඇතිව වෙසෙත් නම්, (තථගතෙ පරිනිබ්බුතෙ භික්ඛු භික්ඛුණියො උපාසකා උපාසිකායො සත්‍ථරි අගාරවා විහරන්ති අප්පතිස්සා)

ධර්මය ගුරු කොට නො ගෙන, යටහත් පැවතුම් නැතිව වෙසෙත් නම්, (ධම්මෙ අගාරවා විහරන්ති අප්පතිස්සා)

සංඝයා ගුරු කොට නො ගෙන, යටහත් පැවතුම් නැතිව වෙසෙත් නම්, (සඩ්ඝෙ අගාරවා විහරන්ති අප්පතිස්සා)

ශික්‍ෂාවෙහි ගෞරව නැතිව, යටහත් පැවතුම් නැතිව වෙසෙත් නම්, (සික්ඛාය අගාරවා විහරන්ති අප්පතිස්සා)

සමාධියෙහි ගෞරව නැතිව, යටහත් පැවතුම් නැතිව වෙසෙත් නම්, (සමාධිස්මිං අගාරවා විහරන්ති අප්පතිස්සා)

අප්‍රමාදයෙහි ගෞරව නැතිව, යටහත් පැවතුම් නැතිව වෙසෙත් නම්, (අප්පමාදෙ අගාරවා විහරන්ති අප්පතිස්සා)

දහම් පිළිසඳරෙහි ගෞරව නැතිව, යටහත් පැවතුම් නැතිව වෙසෙත් නම්, (පටිසන්‍ථාරෙ අගාරවා විහරන්ති අප්පතිස්සා) එය සද්ධර්මය චිරස්ථායී නො වීමට හේතුප්‍රත්‍යය වේ.

යට කී ප්‍රතිශේධනාත්මක බවින් මිදී, එහි ප්‍රතිජානනාත්මක අංශයේ සක්‍රීය බව මූලික අවශ්‍යතාවක් ලෙස සම්පූර්ණ වන්නේ නම්, සසුනේ නාමයෙන් කුමක් හෝ තම තමන්ගේ සිතැඟියාවන් අනුව පවත්වාගෙන යාම වෙනුවට, සැබෑ ශාසනිකාර්ථයන් ඔප් නැංවෙනු ඇත. ශාසනයේ උන්නතිය පිණිස පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන අංශ තුන ම, සමෝධානික වශයෙන් ක්‍රියාත්මක වීම අවශ්‍ය ය. සිව්පිරිසේ කාර්‍යයක් වශයෙන් මෙය දැක්වුවත් එහි නියාමකත්‍වය දැරියයුතු වන්නේ භික්‍ෂු සඩ්ඝයා ය. භික්‍ෂු සඩ්ඝයා බුද්ධ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන්, ශික්‍ෂා ගෞරවයෙන්, චිත්ත සමාධියෙන්, පිළිවෙතෙහි අප්‍රමාදයෙන්, දහම් පිළිසඳරින් සමන්විත නම්, සෙසු පිරිස් වෙත ද එහි බලපෑම නො මඳ ව ලැබෙනු ඇත. එහෙත් අද යුගය වන විට වැඩි ප්‍රතිශතයකින් තමා උදෙසා ධර්මය විමසීමක යෙදීමේ අවශ්‍යතාව තේරුම් ගෙන නැත. ධර්මය පිළිබඳ උනන්දුවක් ඇති අඩු ප්‍රතිශතය තුළ ද ධර්මාර්ථයන් වටහා ගැනීම පිළිබඳවත්, ප්‍රායෝගික පුහුණුව පිළිබඳවත් සංදිග්ධතා බහුලත්‍වයක් විද්‍යමාන වේ. එහෙත් අන්‍යොන්‍ය අනුග්‍රහ පූර්වක මනසින් තථාගත දේශනාවන් විමසන්නේ නම් සසුනෙහි යම් උන්නතියක් අපේක්‍ෂා කිරීමට බැරිකමක් නැත.

සිව් පිරිසේ සැකැස්ම:

ලක්දිව අද පවත්නා සමාජයෙහි බෞද්ධ නියෝජනය තුළ සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා පිළිබඳ උද්යෝගය ප්‍රමාණවත් නැතත් පෙරට වඩා අවබෝධයට නැඹුරු වූ යම් පිබිදීමක් දක්නට ඇත. ඒ නැඹුරුව නො සලකා හැරිය හොත් සසුනේ උන්නතියක් ගැන අපේක්‍ෂා තැබිය නො හැකි වනු ඇත. සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් සලකන විට අද සසුන බොහෝ දෙනාට ආධ්‍යාත්මික ප්‍රගතිය පිණිස නොව අපල උපද්‍රව දුරු කරන්නට සෙත් ශාන්ති කර්ම කරන ආයතනයකි. මනුෂ්‍යයා ප්‍රඥාවෙන් සන්නද්ධ කිරීම භික්‍ෂූන් වහන්සේගේ ප්‍රධාන කාර්යයක් විය යුතු ය. සරල ව, නිවැරැදි ව, නිරවුල් ව භික්‍ෂූසංඝයා අතින් ඒ කාර්යය නො ඉටු වුවහොත් මනුෂ්‍යයා ශාන්ති කර්ම කරා ම ඇදී යනු ඇත. වැඩි වශයෙන් මිනිස් සිත්වල දක්නට ලැබෙන්නේ උපතත්, මරණයත් අතර වූ මේ ජීවිත කාලය පිළිබඳ ලෞකික සාර්ථකත්‍වයෙහි නියුක්ත වීමට පමණක් (ඉධලොක චින්තාය පසුතො) සීමා වූ ස්වභාවයකි. බුද්ධ කාලයෙහි අන්‍ය තීර්ථකයින් අද අප සසුන දැනසිටින ප්‍රමාණයට වඩා සසුන දැන සිටි බව පෙනෙන්නට තිබේ. වච්ඡගොත්ත පිරිවැජියා බුදුරජාණන් වහන්සේගෙන් සසුන පිළිබඳ ව ප්‍රශ්න කළේ කල් ඇතිව ම තථාගත සසුනේ සිව්පිරිසේ සැකැස්ම ගැන හොඳ හැඳීනීමක් ඇතිව ය. වරක් බුදුරජාණන් වහන්සේ හමු වූ වච්ඡගොත්ත ‘භවත් ගෞතමයන් වහන්සේ සමඟ කථාබස් කොට දැන් බොහෝ කලෙකි. භවත් ගෞතමයෙනි, මට කුසලාකුසල කෙටියෙන් දේශනා කරන්නැ’යි ඉල්ලා සිටියේ ය. එහි දී බුදුරජාණන් වහන්සේ ලෝභ, දෝස, මෝහ අකුසල්මුල් තුනත්, අලෝභ, අදෝස, අමෝහ කුසල්මුල් තුනත් කයින්, වචනයෙන් සිතෙන් කෙරෙන දසකුසලයත් , දසඅකුසලයත් ප්‍රකාශ කර, අවසන “වච්ඡය, යම් අවස්ථාවක පටන් තණ්හාව ප්‍රහීණ වී ද, උගුලන ලද තල්ගසක් මෙන් තණ්හාවේ මුල් සිඳුණේ ද, මතු තණ්හාව නො උපදී ද, ඒ භික්‍ෂුව ආස්‍රවයන් ක්‍ෂය කළ, බඹසර වැස නිම කළ, කළයුත්ත කළ, ස්කන්‍ධ බර බහා තැබූ, අර්හත්‍වයට පැමිණි, භව බැඳුම් සිඳ, මැනැවින් අවබෝධයට පැමිණි, අර්හත්ඵල විමුක්තියෙන් විමුක්ත වූවෙක් වෙයි. යනුවෙන් පරම කුසලය ද වදාළහ.

මෙම ලිපියෙහි තවත් කොටසක් දුරුතු පසළොස්වක පෝදා (10) පත්‍රයේ පළවේ

දුරුතු පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 02 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.00 ට ලබයි. 03 වන දා සිකුරාදා අපර භාග 11.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වන දා සිකුරාදා 

මීළඟ පෝය ජනවාරි 10 වන දා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]