[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලතා ප්‍රතිපත්තියට හුරුවෙමු

කුසලතාවය පෙරට ගෙන ප්‍රතිපත්තියට හුරුවෙමු

භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රමුඛ ඉලක්කය වූයේ සසර දුකින් පීඩා විඳීන සත්වයාට ඉන් නිදහස් වීම පිණිස නිවීමේ පණිවුඩය මතුකිරීම යි. කාමය, රාගය කෙරෙහි බැඳුණු සත්ත්වයාට නිෂ්කාමය, විරාගය මතුකරන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පමණි.

ඒ සඳහා වඩාත් කිට්ටු වැඩපිළිවෙළ බුදුසමය පෙන්වා දෙන්නේ ආමිසය අභිබවා ප්‍රතිපත්තියට සමීප වීමයි. අද වන විට ප්‍රතිපත්තියට වඩා ආමිසය මතුවී ඇත. එය සම්පූර්ණ වැරැදි ලෙස බැහැර නොකළ යුතු ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ මතුකළ සුන්දර නිවීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළ ක්‍රමයෙන් අහිමි වීමට ආමිසයට පමණක් දායාද වීම හේතු විය හැකි ය. බුදුන් වහන්සේ ධම්මදායාද සූත්‍රයේ දී දේශනා කළේ පින්වත් මහණෙනි, ආමිසයට දායාද නොවී ධර්මයට දායාද වන ලෙසයි. (ධම්මදායාදා මෙ භික්ඛවෙ, භවථ, මා ආමිසදායාදා. අත්ථි මෙ තුම්හෙසු අනුකම්පා -කින්ති මෙ සාවකා ධම්මදායාදා භවෙය්‍යුං, නො ආමිසදායාදාති.)

පියෙකු සෙනෙහසින් තම දරුවෙකුගෙන් කරන ඉල්ලීමක් තරමට ම එය සංවේගජනක ඉල්ලීමකි. පින්වත් මහණෙනි, ආමිසයට දායාද වීමෙන් පමණක් ඔබට බොහෝ චෝදනා ලබන්නට සිදුවේ. එසේම තථාගතයන් වහන්සේට ද චෝදනා කරනු ඇත. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන් ධර්මයට දායාද නොවී, ආමිසයටම දායාද වී කල්ගත කරයි යනුවෙනි. ආමිසයට ම දායාද වීම ශාස්තෘන් වහන්සේට ද නින්දාවක් බව ධම්මදායාද සූත්‍රයේ දැක්වේ.

මොහොතක් විමසන්න.. ඔබ කොතරම් ධර්මයට දායාද වී ඇත්ද? භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් පෙර නොඇසූ විරූ ප්‍රතිපදාවට ඔබේ ජීවිතයේ වෙන් කර ඇති ස්ථානය කුමක්ද ? පිළිතුරු බොහෝමයක් ඔබගේ මනසට නැගෙනු ඇත. ඇතැම්විට විහාරාංග දියුණු කිරීමට ඔබ ධනය, ශ්‍රමය, කාලය විශාල වශයෙන් කැප කළ ශ්‍රාවකයෙක් විය හැකි ය. දානමාන, බෝධිපූජා, බුද්ධපූජා ආදී ආචාර ධර්ම කෙරෙහි ඔබගේ ජීවිතය බැඳී ඇත. එය සැබෑ ප්‍රතිපදාව යැයි විශ්වාස නොකරන්න. එය සම්පූර්ණ සාවද්‍ය වැඩපිළිවෙලක් යැයි අර්ථ කථන නොකරමි. පරිපූර්ණ නිවීමට කැමැත්තක් ඇති ආර්ය ශ්‍රාවකයෙකුට ආමිසයෙහි ද උපයෝගීතාවක් ඇත. ආමිසය තුළින් ප්‍රතිපත්තිය මතුකර ගැනීමට අප දක්ෂ විය යුතු ය.

ආසියාවේ විශාලතම පිළිමය ඉදිකිරීමේ අභිමානය, අසූහාරදාහේ මල්පූජා, පහන් පූජා, පිදීමේ ප්‍රීතිය ඔබගේ මාන්නයට විශාල අනුග්‍රහයකි. ඔබ ඒ පූජාවන් තුළ ප්‍රතිපත්තිය දකින ශ්‍රාවකයෙක් වීමට වෙහෙස විය යුතු ය. මල් පහන් ආදී පූජාවන් තුළින් ප්‍රතිපත්තියට කිට්ටු වන්නේ කෙසේද ? යන්න පිළිබඳ ඔබට විශාල ගැටලුවක් ඇත.

අතීතයේ ධර්ම විනයධර ස්වාමීන් වහන්සේලා බුද්ධ පූජාවතුළින් නිවන කමටහනක් මතු කරගැනීමටත්, යථාර්ථයට විවෘත වීමේ අදහසින් වන්දනා ගාථා පවා සකස් කොට ඇත. මල් පිදීමේ දී “පුප්ඵං මිලායාති යථා ඉදම්මේ - කායො තථායාති විනාස භාවං” යනුවෙන් මේ මල් මැළවෙන්නේ යම් සේ ද තම ශරීරය ද මිලින වන බව සිහි කිරීම ජීවිතාවබෝධයට ද උදව් වන අවස්ථාවකි.

ඔබට පුළුවන් ද සෑම බුද්ධ පූජාවක් තුළින් ම ජීවිතාවබෝධයට මගක් සොයා ගන්න. එවිට ඔබ ආමිසය තුළින් ප්‍රතිපත්තිය දකින සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් වනු ඇත. භාග්‍යවතුන් වහන්සේ ප්‍රශංසා කළේ එවැනි ශ්‍රාවකයෙකුට මිස බෝධීන් වහන්සේ අසලට ගොස් තමන් මළුවට යන එන බවත්, එවිට බෝ මුල් පෑගෙන බවත්, එවිට සමාව අයදින බවත්, එවිට තමන්ට සමාව ලැබෙනු ඇත යන්න කවි ගායනා කරන ශ්‍රාවකයෙකුට නොවේ. සැබෑ බුද්ධ පූජාව තුළින් විමුක්තියට උපකාර වන යථාර්ථයට පණිවුඩයක් ඇත.

උදාහරණයක් ලෙස වර්තමානයේ ජනප්‍රිය පූජාවක් වන හඳුන්කූර ගැන ඔබට සිහිකරමි. හඳුන්කූරෙහි ස්වභාවය හොඳීන් මතකයට නගා ගන්න. එහි අවපැහැ වූ සුවඳවත් ඝන වූ කොටසක් ඇත. එහි අගින් හිස් කූරක් ද ඇත. හඳුන්කූර දැල්වූ පසු සුවඳවත් දූපයක් විහිදුවමින්

අවපැහැ ඝණ කොටස් දැවී යාම අවසානයේ කුඩා කූරු කැබැල්ලක් පමණක් ඉතිරි වේ. මෙවැනි පූජාවන්තුළින් ජීවිතාවබෝධයට පණිවුඩයක් මතු කරගන්නේ කෙසේද? ඔබ මෙසේ විමසන්න. ප්‍රඥාව තුළින් දල්වාගත් ජීවිතය සසර පුරාවටත්, මේ ජීවිතය පුරාවටත් රැගෙන ආ අවිද්‍යාවේ අවර්ණ කොටස් ගෙවා දමන ආකාරය මනසින් දැකීමට කමටහනක් කරගන්න. තවදුරටත් ඔබ මෙසේ විමසීමට පුරුදු වන්න. දැවෙන හඳුන් කූර තුළින් සීලයේ ගුණ සුවඳ විහිදුවමින් කුඩා කූරු කැබැල්ලක් නම් දැවීමට කිසිවක් නැතිව නිකැළැල් අවසාන ශරීරය දරමින් සම්පූර්ණ නිවී ගිය නිකෙලෙස් මුනිවරයෙකුගේ ජීවිතය මනසින් දකින්න. ඔබගේ ජීවිතයට ද එය ගළපමින් බලන්න. මොහොතක් විමසන්න. මේ පණිවුඩය ජීවිතාවබෝධයට කෙතරම් උදව්වන කමටහනක් ද? මේ අයුරින් සෑම ආමිස පූජාවක් තුළින් ම යථාර්ථයට විවෘත වීම පිණිස පණිවුඩයක් සොයා ගැනීමට ඔබ දක්ෂ විය යුතු ය. බුද්ධ ප්‍රතිමාවක් දකින විට සහ බෝධීන් වහන්සේ නමක් දකින විට අසුනින් නැගිට ආචාර කිරීමෙන් පමණක් සැබෑ ශ්‍රාවකයෙක් නොවන බව අප මතක තබාගත යුතු ය.

දීඝ නිකායේ, පරිනිබ්බාන සූත්‍ර විග්‍රහයට අනුව පිරිනිවීමට සැරසෙන භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් කරන විශේෂ පූජාවක් දකින ආනන්ද හිමියන් විමසන්නේ, ස්වාමීනි, කවුරුන් හෝ සුවඳ දල්වා ඇත. වීණා වයමින් මදාරා මල් හිසිනු ඇත. හිස් අවකාශයෙන් මදාරා මල් වැටෙන්නේ කොහොම ද? කිසිවකු නොපෙනී කවුරුන් විසින් මෙවැනි පූජාවක් කරන්නේ ද ? යන්න දැන ගනු කැමතියි. ස්වාමීනි කවුරුන්ද මේ..? එවිට භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර ප්‍රතිපත්ති පූජාව පිළිබඳ විග්‍රහ වන සොඳුරු දහම් විග්‍රහයකි. පින්වත් ආනන්ද, දෙවියන් තථාගතයන් වහන්සේ අවසාන වතාවට මදාරා මල් ඉසිමින්, වීණා වයමින්, සුවඳ දල්වමින් පුදනු ඇත. එහෙත් එය සැබෑ බුද්ධ පූජාව නොවේ. යමෙක් මා විසින් දේශනා කරන ලද ආර්ය මාර්ගය සසර දුකින් එතෙර වෙන්නේ කවදා ද යන අප්‍රමාදී වීර්යයෙන්, ප්‍රායෝගික ව හුරුකිරිම සැබෑ බුද්ධ පූජාවයි. ආමිසය අවශ්‍ය නොවේ යන්න මෙහි අර්ථය වරදවා වටහා නොගත යුතු ය. නිවන පිණිස වීරිය වඩන ශ්‍රාවකයෙකුට ආමිසයේ උපකාරයක් ඇත. ඒ තුළින් පවා ප්‍රතිපත්තිය මතුකර ගැනීමට උනන්දු විය යුතු ය. ආමිසය පිණිස මූල්‍යමය ශක්තියක් අවශ්‍ය වුව ද ප්‍රතිපත්තියට මුදල් අවශ්‍ය නොවේ. වේලාම සූත්‍රයේ දී ශාස්තෘන් වහන්සේ බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට ජීවමාන ව දන්පැන් පිදීමට වඩා අසුරු සැණක් ගහන වේලාවක් අනිත්‍ය සංඥාව වැඩීම ශ්‍රේෂ්ඨ බව දේශනා කළේ ඒ නිසා ය.

බුදු සසුනේ සැබෑ රැකවරණය පිණිස ඔබ කළ යුත්තේ කුමක්ද? මහපාරේ හන්දියක් ගානේ පිළිම ඉදිකිරීම යැයි විටෙක ඔබට සිතෙනු ඇත. එසේත් නැතහොත් දන්සල් දීම, පෙරහර ආදිය සිදුකිරීම ද? ඇතැම්විට ඒවා බලය පෙන්වීම පිණිස සිදුකරන කටයුතු වේ. වාහනයේ බුදුසසුන බැබළේවා යන ලේබලයක් අලවා ගැනීම බුදුසසුන බැබළවිය හැකි ක්‍රමය යැයි ඔබට සිතිය හැක. එම චින්තනය අඩුපාඩු සහගත ය. ඔබත්, මමත් ප්‍රතිපත්තිය තුළ ජීවමාන වීමෙන් නිරායාසයෙන් බුදු සසුනේ ආරක්ෂාව තහවුරු වේ.

ඔබට ඉතා සෙනෙහසින් සිහිගන්වන්නේ මෙයයි. ඔබ වෙනදාටත් වඩා දැන් පුදපූජා වත්පිළිවෙත් භාග්‍යවතුන් වහන්සේට කළ යුතු ය. නිදුකාණන් වහන්සේගේ සැබෑ දාසයා වීමට වීර්යය කළ යුතු ය. එවිට ධර්මතාවය විසින් ඔබ නිහතමානී සුන්දර මිනිසෙකු කරනු ඇත. එවැනි ආමිසය තුළින් ප්‍රතිපත්තිය මතු කරගැනීමට කුසලතාවයක් ප්‍රමුඛ කොට ගත යුතු ය. බුද්ධ කාලයේ වැඩ සිටි වීරියවන්ත භික්ෂුණියක් තමන් වැඩසිටි හුදෙකලා කුටියට ගොස් සඳ පායා ඇති යාමයේ දැල්වෙන පහන් තිරය පිටුපසට අදින්නේ පහන නිවීම පිණිසයි. සිහිය පිහිටුවා ගත් ඇයට නිවීම පිණිස එයම කමටහන විය. ඇය සදාකාලික ව නිවී ගියා ය. අද අසූහාරදාහේ පහන් පිදූව ද, පහන් නිවී ගිය ද ඔබට නිවීමක් මුණගැසී ඇත් ද..? ඔබත් පිදූ පහන නිවී යන විට එය ජීවිතයට ආරෝපණය කොට බලන ශ්‍රාවකයෙක් විම පිණිස වීර්යය වඩන්න.

දුරුතු පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 02 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.00 ට ලබයි. 03 වන දා සිකුරාදා අපර භාග 11.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වන දා සිකුරාදා 

මීළඟ පෝය ජනවාරි 10 වන දා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]