[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

දවුල්දෙණ ශ්‍රී ඤාණිස්සර මහා නා හිමි


දෙවසරකට පෙර අපවත් වී වදාළ සුජීවත් ව වැඩ සිටියා නම් ඉකුත් දෙසැම්බර් 31 දිනට තම 104 වෙනි ජන්ම දිනය සිහිකරන අපගේ කථානායක වූ සුදුසුකම් සහිත ව ම සම්මාන නාම අටළොසකට වැඩි ප්‍රමාණයකින් ගෞරව ලැබූ සංස්කෘත චක්‍රවර්තී ෂඩ්භාෂා පරමේශ්වර දවුල්දෙණ ඤාණිස්සර ශ්‍රී ලංකා අමරපුර සමස්ත නිකායයන්හි උත්තරීතර මහානායකස්වාමින්ද්‍රයාණෝ සදා වන්දනීය ගුණවත් සත්පුරුෂයෙකි. කලණ මිතුරෙකි. සමීප ඇසුරට සුදුසු ත්‍රිපිටකධාරී මාහිමිනමකි. නේතෘන් වහන්සේ නමෙකි. කළගුණ දත්තෙකි. කළගුණ ඇත්තෙකි. මෙත් කරුණා ගුණැත්තෙකි. එඩිතරයහ. සෘජුහ. අවංකය හ. නායකත්ව ලක්ෂණ පූර්ණයහ. පුරා සොළොස් වසරක් බුද්ධශාසන අමාත්‍යාංශයේ ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තන මණ්ඩලයෙහි සමීප ඇසුර ලැබීමෙන් ඉහත ගුණයෝ අප ප්‍රත්‍යක්ෂයෙන් ම දැන ගතිමු.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ සංයුක්ත නිකාය, පෙළ පොත් 06 කින් සංග්‍රහ වූවකි. එයින් සංයුක්ත නිකාය 4 සළායතන වග්ගය මේ සය ග්‍රන්ථයන්ගෙන් ම විශාල ම වූවකි. පිටු 709 කි. මෙම මණ්ඩලයට පැවැරුම් ලද සරල පරිවර්තන කාර්යාලයේ දී ස්වේච්ඡාවෙන් ම එම ග්‍රන්ථය තෝරා ගත් කථානායකයන් වහන්සේ තෙමසක්තුළ දී තම අත් අකුරින් ම එම සුවිශාල ග්‍රන්ථයේ සරල පරිවර්තන නිමවා භාරදීම ගැන එවකට මණ්ඩලයේ සභාපති ව වැඩ විසූ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක රත්මලාන මල්ලිකාරාමාධිපති අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ ම ප්‍රශංසාවට භාජනය වී ය. මෙහිලා තවත් විශේෂයක් වූයේ එවකට ද මහානාහිමිපාණන් වහන්සේ තම ජීවිතයේ නවවෙනි දසකයට පා තැබීමය.

උත්තරීතර මහානාහිමිගේ කෘතවේදී ශිෂ්‍ය රත්නයන් දෙපළක් වූ පාගොඩ දවුල්දෙණ ඤාණිස්සර භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති බණ්ඩාරවෙල නන්ද හිමි හා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පාගොඩ විද්‍යා විජයරාමාධිපති දර්ශනපති කරගහඋල්පත සුගතානන්ද හිමිපාණන් වහන්සේ මුල් ව දෙස් විදෙස් ආධාර ඇතිව කෝටි 4 1/2 පමණ වියදම් කොට තෙමහල් ගොඩනැගිල්ලක් සේ නිමකර ඇති දවුල්දෙණ ඤාණිස්සර කෞතුකාගාරයේ අත්පිටපත තැන්පත් කර ඇත.

උත්තරීතර මහානාහිමියන් ඇසුරු කළ කාලය තුළ දක්නට ලැබූ මෙවැනි සාසනික කැපකිරීම් ග්‍රන්ථයක් සැකසීමට තරම් වේ. අප මණ්ඩලයේ සභාපති ව වැඩ සිටි කාලය තුළ අපට දුන් ආදර්ශයෝ සසරට ද ගෙන යාමට තරම් වටී. පෙළ පොතක් අතට ගත් සැණින් වඳී. අවසන් ව වසා තබන්නේ ද වැඳීමෙන් ම ගෞරව කොට ය. ලේඛනයට හා භාෂනයට ව්‍යවහාර දෙකක් නැත. බොහෝ විට ඇත්තේ එකක් ම ය. සංස්කෘත මහා පඬිවරයකු වුවත්, සිංහල ව්‍යවහාරයෙහි ඇත්තේ යහපත් මිහිරි සරල වදන් ම වෙති. මහ පඬුවන් හමුවේ නායකත්වයට සුදුසු වන මුත් කුඩා දරුවන් ඉදිරියේ දී සම වූවෙකි. අවු. 102 ආසන්න ව අපවත් වුවත් මුහුණේ වෙනසක් නො දැක්කෙමි. තනියෙන් ම එහා මෙහා වැඩියේ ය. පැවිද්දේ 89 වසක් රැඳී සිටීම තුළ ලැබූ ධර්ම ලාභ ලෙස මේවා අපි දකිමු. මෙසේ සතර ඉරියව්වන්ගෙන් ම අනුගාමිකයාට ඇසුරු කරන්නාට ලබාදුන් ආදර්ශයන් මෙනෙහි කරත් කරත් ම මෙවැනි කෙටි සටහනකින් කෘතඥ වීම, සිහිගන්වා ගැනීම කිසිසේත් ප්‍රමාණ නොවන්නේ ම ය. පෙර පින් නිසා මෙලොව සාර්ථක වූවා සේ මෙලොව රැස් කළ පින් හා කුසල් හේතුවෙන් ඉක්මන් භවයක දී ම සංසාර දුකින් ද මිදේවා යි වර්තමාන ත්‍රිපිටක මණ්ඩලයේ සියලු ගෞරවණීය මහා සංඝරත්නය ප්‍රමුඛ අපගේ ද එකම අධිෂ්ඨානය වේ.


උරුලෑවත්තේ ධම්මරක්ඛිත නා හිමි


සම්බුද්ධ පාදස්පර්ශයෙන් සුපූජිත ඓතිහාසික මහියංගන රාජමහා විහාරය, අලව්ව හුම්බුළුව රාජමහා විහාරය, මාතලේ යටවත්තේ උරුලෑවත්තේ පුරාණ විහාරය, ගිරාඳුරුකෝට්ටේ ගින්නොරුව විජයසුන්දරාරාමය, මහනුවර අස්ගිරි මහා විහාරයේ උරුලෑවත්තේ පන්සල යන පංච විහාරාධිපති, අස්ගිරි මහා විහාරයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍යාය උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සි ධම්මරක්ඛිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ජනවාරි මස පළමුවන දින සැට නව වන වියට පා තැබූහ.

1951 ජනවාරි මස පළමුවන දින මාතලේ යටවත්තේ උරුලෑවත්ත ග්‍රාමවරයේ පනාගමුව වලව්වේ සේනානායක මුදියන්සේලාගේ සෙනෙවිරත්න මැතිතුමන්ගේ සහ හේරත් මුදියන්සේලාගේ ඩිංගිරි අම්මා මැතිණියගේ කනිටු පුත් රුවන ලෙස මෙලොව එළිය දුටු නාහිමිපාණෝ උඩුරාවන ධම්මානන්ද මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සහ තත්ශිෂ්‍ය අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ විසි එක්වන මහානායක පදවිය හොබවා වදාළ ගලගම ශ්‍රී අත්ථදස්සි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආචාර්යයත්වයෙන් ප්‍රව්‍රජ්‍යා සම්පත් ලැබූහ. පිරුණු විසි වයස් ඇතිව 1972 දී ගොඩමුන්නේ නාගසේන ධම්මානන්ද මහා නාහිමියන් උපාධ්‍යාය කොට කැප්පෙටිවලානේ සුමංගල සහ රඹුක්වැල්ලේ සද්ධානන්ද හිමිවරුන්ගේ කර්මවාගාචාර්යයත්වයෙන් අස්ගිරි මහාවිහාරයීය මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාවට පත් වූ හ.

මාතලේ ධර්මරාජ පිරුවන සහ දෙල්ගොඩ කල්‍යාණිප්‍රදීප විද්‍යායතන පිරුවන වෙතින් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කොට ඉනික්බිතිව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් සහ නිට්ටඹු ව සාරිපුත්ත ගුරුඅභ්‍යාස විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා 1978 වර්ෂයේ සිට පුරා විසි නව වසක් මාතලේ පමුණුව විද්‍යාලය, ගිරිහාගම විද්‍යාලය, මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය යන විද්‍යාලයන්හි බුද්ධ ධර්මය පමණක් නොව විද්‍යා ගණිත විෂයයන්හි ද පුහුණු ගුරු හිමිනමක ලෙස සේවය කළහ.

පලිපාන චන්දානන්ද මහනාහිමියන් වෙතින් 1980 දී අස්ගිරි මහාවිහාරයීය කර්මවාගාචාර්ය පදවියකින් සහ 1994 වර්ෂයේ දී අස්ගිරි මහා විහාරයීය විංශත්වර්ගික කාරක සංඝ සභික පදවියකින් ද උඩුගම බුද්ධරක්ඛිත මහ නාහිමිපාණන් වහන්සේ වෙතින් 2000 වර්ෂයේදී අස්ගිරි මහාවිහාරයීය විංශත් වර්ගික කාරක මහාසංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පදවියෙන් ද 2007 දී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පදවියකින් ද සම්මානිත වූ හ.

2000 දී ස්වකීය ආචාර්යෝත්තම ගලගම ශ්‍රී අත්ථදස්සි මාහිමියන් වහන්සේ අස්ගිරි මහාවිහාරයේ අනුනායක පදවියට සහ මහියංගන රාජමහා විහාරාධිපති පදවියට පත් වූ පසු මහියංගන රාජමහා විහාරයේ භාරකාර ඨානාන්තරයට පත් වූහ. මහියංගන රජමහා විහාරයේ නූතන නවෝදය ඇති කරන ලද්දේ ගලගම ශ්‍රී අත්ථදස්සි මහ නාහිමියන්ගේ අනුශාසනා පරිදි උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන් බැව් පැවසීම අතිශයෝක්තියක් නොවේ. 2016 දී ස්වකීය ආචාර්යයෝත්තම ශ්‍රීමත් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහියංගන රාජමහා විහාරය ඇතුළු විහාර ගණයෙහි ආධිපත්‍යයට පත් වූහ. සම්බුද්ධ ශාසනෝද්දීපනිය පිණිස ගිරාඳුරුකෝට්ටේ ගින්නෝරුව ශ්‍රී විජයසුන්දරාරාමය නාහිමියන් විසින් ආරම්භ කළ විහාරස්ථානයකි. 2016 දී අස්ගිරි මහාවිහාරයේ උපාධ්‍යාය පදවියකින් ද සම්මානිත වූ හ.

ධර්ම දේශක හිමිනමක, සරභඤ්ඤ දේශක හිමිනමක ලෙස සම්භාවනීයත්වයට පත් වන්නේ මතු නොව අවස්ථා ගණනාවක දී ශ්‍රී දළදා වහන්සේ උදෙසා තේවා පැවැත්වීමටද භාග්‍යවත් වූ අතර, විදේශීය ධර්ම ප්‍රචාරක කටයුතු සඳහාද දායකත්වය ලබා දුන්හ. පැවිදි සහෝදර විල්ගමුවේ සද්ධාතිස්ස මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශාසනික කටයුතු සඳහා ද අනුග්‍රහය සලසන නාහිමිපාණෝ උරුලෑවත්තේ ධම්මකිත්ති හිමි, මන්දාරම්නුවර යසස්සි හිමි, තෙලිකඩ ධම්මිස්සර හිමි, ගලගම පියදස්සි හිමි, වල්පොල ධම්මානන්ද හිමි, සඳමඩුල්ලේ ධම්මදස්සි හිමි, මාපාකඩ අනෝමදස්සි හිමි ඇතුළු ශිෂ්‍යවරයන් වහන්සේලා රැසක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දායාද කොට ඇත.

මහියංගනය ශ්‍රී ධම්මරක්ඛිත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, ගලගම ශ්‍රී අත්ථදස්සි මහනාහිමි ශිෂ්‍යත්ව පදනම ඇතුළු සමාජසේවා කටයුතු සඳහාද නොමඳ දායකත්වය සලසන උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන්ට ලෝක ශාසනාභිවෘද්ධිය පිණිස ආයුරාරෝග්‍යාදී සම්පත් සාධනය වේවායි ප්‍රාර්ථනා කොට සිටිමු.

දුරුතු පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 02 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.00 ට ලබයි. 03 වන දා සිකුරාදා අපර භාග 11.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වන දා සිකුරාදා 

මීළඟ පෝය ජනවාරි 10 වන දා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසළොස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]