[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දරුවනේ, යුතුකම් ඉටු කරන්න

දරුවනේ, යුතුකම් ඉටු කරන්න


පින්වත් දරුවනේ, අද පුර අටවක පෝ දිනය. උදා වූ නව වසරේ පළමු පොහොය දිනය. ඉතින් අලුත් විදිහට සිතන්න, අලුත් විදියට කටයුතු කරන්නට පුංචි ඔබත් අධිෂ්ඨානයක් ඇති කර ගත යුතු කාලයක්. දරුවනේ, වසරක් ගෙවී, වසරක් උදාවෙනවා කියන්නේ අප ජීවත් වූ කාලයෙන් අවුරුද්දක් ගෙවී අවසන්. වයසට ගියා කියන්න නම් බොහෝ දෙනෙක් කැමැති වන්නේ නෑ. ඒත් ඇත්ත එයයි.

දැන් අප මොනවද කරන්නේ? සිදු වෙන්නේ, ටිකෙන් ටික වයසට යාම නම් වහ වහා කටයුතු කරන්න ඕනෑ. කුමන කටයුතු ද? දරුවනේ, මේ සමාජයේ ජීවත්වන බාල, තරුණ, මහලු අප හැමෝටම විශාල වගකීමක් තිබෙනවා. ඒ වගේ ම යුතුකම් තිබෙනවා.

ඒත් වැඩි දෙනෙක් වෙතින් ඒ යුතුකම්, වගකීම් නිසියාකාර ව ඉටු වෙන්නේ නෑ. යුතුකම් ඉටු නොකර, තමන්ගේ අයිතීන් දිනා ගැනීමට තමයි වැඩි දෙනෙකුගේ උත්සාහය. එය නිවැරැදි නෑ.

උදා වූ අලුත් අවුරුද්දේ අපි අලුතින් සිතමු. අයිතීන් ඉල්ලා අම්මට, තාත්තට කරදර කරන්නට පෙර අපි අපේ වගකීම් ඉටු කළා ද, නැති ද යන්න ගැන විමසමු. මේ දරුවන්ට තිබෙන ලොකුම වගකීම කුමක් ද? ඒ අධ්‍යාපනය ලබන දරුවන් ලෙස මනාව ඉගෙන ගැනීමයි. ගිය වසරේ වාර පරීක්ෂණවලින් අඩු ලකුණු ගත්තා නම් දරුවනේ, පුංචි ඔබගේ වගකීම වෙන්නේ මේ වසරේ වැඩි ලකුණු ගැනීමට උත්සාහය, වීර්යය ඇති කර ගැනීමයි. එය දරුවන්ගේ වගකීමයි. ගිය වසරේ මව්පියන්ගෙන්, ගුරුවර වැඩිහිටියන්ගෙන් නිතර බැණුම් ඇසුවා නම් අද සිට කළ යුතු වන්නේ එසේ බැණුම් ඇසීමෙන් වැළැකී සිටීමට කටයුතු කිරීමයි.

ඒ වගේම දරුවනේ, පුංචි ඔබට අනාගතය ගැන ඉලක්ක, බලාපොරොත්තු, ප්‍රාර්ථනා තිබෙන්නට පුළුවන්. ඉලක්ක වෙත යන්නට නම් තමන්ගේ වගකීම් අකුරටම ඉටු කරන්නට ඕනෑ. අධිෂ්ඨානය වගේම එය ප්‍රායෝගික ව ක්‍රියාවට නඟන්නටත් ඕනෑ. තමන්ගේ හෙට දිනයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය පවතින්නේ තමන් තුළමයි. සුබවාදී ව කටයුතු කිරීම තුළ, සුබවාදී දේ ඇසීම, දැකීම තුළ සියල්ල සුබවාදී වෙනවා. දරුවනේ, මේ ජීවිත ගමනේ දී අපට පැවරුණු වගකීම් තිබෙනවා. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බොහොම ලස්සන සූත්‍ර දේශනාවක් තිබෙනවා. ඒ, සිඟාලෝවාද සූත්‍රය. ඉස්සර, ‘සිඟාලක’ නමින් ගෘහ පුත්‍රයෙක් සිටියා. අම්මා, තාත්තා මේ ගෘහ පුත්‍රයාට උගන්වා තිබුණේ සෑම දිනක ම හොඳින් නා පිරිසුදු වී ෂඩ් දිශාවන්ට නමස්කාර කරන ලෙසටයි. ඉතින් මව්පිය දෙදෙනා මිය ගිය පසු මේ ගෘහ පුත්‍රයා හොඳින් පිරිසුදු වී තෙත ඇඳුම් සහිතව ම හය දිශාවට ම නමස්කාර කරනවා. උඩට වඳිනවා, බිමට වඳිනවා. මේ වගේ සය දිශාවකට වඳිනවා. මේ වෙලාවේ අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, අද දිනයේ තමන් වහන්සේගෙන් පිහිට ලැබිය යුතු කවුරුදැයි ලොව බලා වදාරනවා. සිඟාලක ගෘහ පුත්‍රයාගේ මේ ක්‍රියා කලාපය දුටු බුදුරජාණන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් පිහිට විය යුතු යැයි සිතනවා.

ෂඩ් දිශාවන්ට නමස්කාර කරන සිඟාලක අමතා, බුදුරජාණන් වහන්සේ මෙසේ විමසනවා. “සිඟාලක, අපේ ධර්මයේත් තිබෙනවා ෂඩ් දිශා නමස්කාරය කරන්නට පුළුවන් ක්‍රමයක්. ඔබ කැමැති ද එය ඉගෙන ගන්න.”

“නෑ මෙය ඉගැන්වූයේ මගේ තාත්තා. මේ ක්‍රමය හොඳයි” සිඟාලක කීවා. ඔහු මුලින් ම බුදුරජාණන් වහන්සේට එකඟ වූයේ නෑ. එහෙත් පසුව බුදුරජාණන් වහන්සේ සදිශා නමස්කාරය පිළිබඳ ව බොහොම ලස්සනට පැහැදිලි කර දුන්නා.සමාජයේ සියලුම ස්ථරයන් තමන්ගේ යුතුකම්, වගකීම් ඉටු කරන ක්‍රමවේදයයි එහි මැනවින් සඳහන් කර තිබෙන්නේ. එය දැන ඉගෙන ගැනීම ඉතාම වැදගත්.

බුදුරජාණන් වහන්සේ සදිශා ලෙස දැක්වූයේ මව්පියන්, ගුරුවරුන්, අඹුදරුවන්, හිත මිත්‍රයන්, දැසි දසුන් හා මහණ බමුණන්. මේ කොටස් හයයි දිශා හය ලෙස වෙන් කර තිබුණේ. මේ අය තමයි සමාජයේ වගකීම් දරන්නේ. දරුවනේ, ජීවිතයේ සෑම සියලු කටයුත්තක් ම සිදු කරන්නට හැකි වුණේ මව්පියන් නිසයි. මව්පියන් විසින් දරුවන්ට ඉටු කළ යුතු යුතුකම් පහක් තිබෙනවා. ඒ වගේම දරුවන් ලෙස පුංචි ඔබටත් ඔවුන් වෙනුවෙන් ඉටු කරන්නට යුතුකම් තිබෙනවා.

සිඟාලෝවාද සූත්‍රයට අනුව මව්පියන්ගෙන් දරුවන්ට යුතුකම් පහක්, දරුවන්ගෙන් මව්පියන්ට යුතුකම් පහක් ඉටුවිය යුතු යි. ගුරුවරුන්ගෙන් ශිෂ්‍යයන්ට, ශිෂ්‍යයන්ගෙන් ගුරුවරුන්ට යුතුකම් පහ බැගින් ද, ස්වාමියාගෙන් බිරිඳට, බිරිඳගෙන් ස්වාමියාට යුතුකම් පහ බැගින් ද ඉටුවිය යුතු යි. හිතමිත්‍රයන්ගෙන් තමන්ටත්, තමන්ගෙන් හිත මිත්‍රයන්ටත් යුතුකම් පහ බැගින් ඉටුවිය යුතු අතර දායකයන්ගෙන් ස්වාමීන් වහන්සේලාට යුතුකම් පහක් ද, ස්වාමීන් වහන්සේලාගෙන් දායකයන් වෙනුවෙන් යුතුකම් හයක් ද ඉටුවිය යුතු යි. ගණනින් බැලුවොත් දරුවනේ මේ සමාජ කණ්ඩායම්වලට ඔවුනොවුන් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් හැට එකක් තිබෙනවා.

දරුවනේ, හොඳින් සිතා බලන්න. විවිධ දේ ලබා ගන්නට, විවිධ වැඩ කටයුතු කරවා ගන්නට අම්මා තාත්තා ඉදිරියේ පුංචි ඔබ මොනතරම් හඬා වැළපී තිබෙනවාද? බිම පෙරළී හඬා වැටුණු අවස්ථා මොන තරම් ද? ඇතැම් විට තරහ වී ඉන්නටත් ඇති. ඒත් ඉල්ලන දේ ලබාගන්නට තමන්ට යුතුකමක්, වගකීමක් තිබෙනවා ද කියලා මුලින් ම සිතා බලන්නට ඕනෑ. තමන්ට පැවරුණු වගකීම් මග හැර වෙන අයගෙන් යුතුකම් බලාපොරොත්තු වීම බොදු දරුවකුට කිසිසේත් ම සුදුසු වන්නේ නෑ.

මව්පියන්ගෙන් දරුවන්ට ඉටු විය යුතු යුතුකම් මොනවාද? පළමුවැන්න දරුවන් පවින් වළක්වා ගැනීමයි. දරුවනේ, අම්මා තාත්තා පුංචි ඔබට නරක වැඩ කරන්න, නරක යාළුවෝ ඇසුරු කරන්න දෙන්නේ නෑ නේද? සමහර අය නම් ඊට කැමැති නෑ. තරහා ගන්නවා. මහා වදයක් ලෙස සිතනවා. ඒත් අම්ම තාත්තගේ යුතුකම දරුවන් පවින් වැළැක්වීමයි. දෙවැන්න දරුවන් යහපතෙහි පිහිටුවීම යහපත් දරුවෙක්, යහපත් පුරවැසියෙක් රටට දායාද කිරීම අම්ම, තාත්තගේ යුතුකමයි. තෙවැන්න ශිල්ප ඉගැන්වීම දරුවන් පාසල් යවනවා. ඇතැම්විට අතිරේක පන්තිවලට යවනවා. දරුවන් පන්ති නිමවනතුරු පන්තිය අසලටවෙලා වෙලාව ගත කරනවා. ඒ සියල්ල කරන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට. තමන්ට වඩා ඉහළ තැනක දුකක්, කරදරයක් නොවී අනාගතයේ දී තම දරුවන් සිටිනවා දැකීමයි. ඒ නිසා ඒ යුතුකමත් මනාව ඉටු කරනවා. ඊළඟට ආවාහ විවාහ කටයුතු පිළිවෙළට සිදු කරනවා. ඊළඟට තමන් සතු දේ තම සියලු දරුවන්ට බෙදා දෙනවා. දායාද දෙනවා. අම්මගෙන්, තාත්තගෙන් නම් මේ යුතුකම් ඉතා ම හොඳින් ඉටු වී තිබෙනවා.

ඉතින් දැන් අපි බලමු දරුවන්ගෙන් මව්පියන්ට විය යුතු යුතුකම් ගැන. පළමුවැන්න මව්පියන් පෝෂණය කිරීම. “ඒත් අපි තවම පුංචියි නේ, අම්මා, තාත්තා පෝෂණය කරන්නේ කොහොමද?” දරුවන්ට එහෙම හිතෙන්න පුළුවන්. දරුවනේ, අම්ම, තාත්තා පෝෂණය කරනවා කියන්නේ අම්මා තාත්තා රැක ගන්නට කටයුතු කරන්නට ඕනෑ. අම්මා තාත්තා ආහාර ගන්න වෙලාවට වතුර ටිකක් ගෙනත් දෙන්න පුංචි ඔබට පුළුවන්. ආහාර බඳුන ගෙනත් දෙන්න පුළුවන්. ආහාර ගත්තාට පසුව පිඟාන සෝදා දෙන්න පුළුවන්. ලෙඩ වුණාම උදව් කරන්න පුළුවන්. මේ අවුරුද්දෙ හැම දරුවෙක් ම මේ විදියට තමන්ට හැකි පමණින් අම්මට, තාත්තට යුතුකම් ඉටු කරන්නට ඕනෑ. මේ වනතුරු අම්මට තාත්තට වතුර බඳුනක්වත් දී නොමැති නම් තමන්ගෙන් අම්මට තාත්තට විය යුතු යුතුකම් ඉටු වී නැති බව දරුවන් හොඳින් මතකයේ තබා ගන්නට ඕනෑ.

ඒ වගේම දරුවනේ, ඔබ හොඳින් ඉගෙනගෙන ලොකු මහත් වුණාට පසුව අම්මා තාත්තා වයසට යනවා. දැන් අම්මට, තාත්තට දරුවන් පෝෂණය කරන්නට නොහැකියි. අප විසින් ඔවුන් පෝෂණය කරනු ලබන්නට ඕනෑ. මව්පියන්ගේ කටයුතු ඉටු කිරීම දෙවැනි යුතුකමයි.

ඇඳුම් සෝදා පිරිසුදු කරදීම, අම්ම තාත්තට කීකරුවීම, උපකාර කිරීම, අසනීපයක දී ඇප උපස්ථාන කිරීම අත්‍යවශ්‍යයි.

තුන්වන යුතුකම තමන්ගේ පරම්පරාව, අපේ පැරැණි ඉතිහාසගත දේ ආරක්ෂා කර ගැනීමයි. බෞද්ධකම රැක ගන්න ඕනෑ. සිංහලකම රැක ගන්න ඕනෑ. ජාතියට ආඩම්බරවන ලෙස ජීවත්වන්නට ඕනෑ. සතුන් මැරීමෙන්, සොරකමෙන්, මත් ද්‍රව්‍ය ගැනීමෙන් වළකින්නට ඕනෑ. තමන්ගේ පරම්පරාව ගැන සිතන්නට ඕනෑ.

සතරවැනි යුතුකම අම්මා තාත්තා ලබාදුන් දායාද ආරක්ෂා කිරීමයි. පුංචි වයසේ නම් අම්මා තාත්තා ගෙන දුන් පොත්, පෑන්, පැන්සල් ආරක්ෂා කර ගත යුතු යි. ගෙදර තිබෙන උපකරණ ආදී සියල්ල ආරක්ෂා කිරීම පුංචි ඔබේ යුතුකමයි.

අවසාන යුතුකම අම්මා, තාත්තා මියගිය පසු පින්කම් සිදුකොට පින් දීම, සමහර දූ දරුවන්ගේ මව්පියන් ජීවත්ව නොසිටින්නට පුළුවන්. ඒ අය වෙනුවෙන් බොහෝ පින් කිරීමත් යුතුකම් දන්නා දරුවන්ගේ වගකීමක්.

දරුවනේ, මේ නව වසරේ අපවෙතින් විය යුතු යුතුකම් ගැන සිතන්න ඕනෑ. ගිය වසර ඇතැම් දරුවන් විවිධ අනතුරුවලට ලක් වුණා. එයට හේතුව සිහිකල්පනාව නැතිවීම. පසුගිය කාලයේ සිදුවූ අනතුරුවලින් ඉතා විශාල ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ පාර හරහා මාරුවීමට යන අවස්ථාවේ දී සිදු වූ අනතුරු ලෙසයි. පාර මාරුවීමේ දී තිබෙන වැදගත්ම දේ මොකක්ද?

ජීවිතය. අප ජීවිතය ගැන සිතන්නේ නෑ. වාහන ආවත්, නැතත් පාර මාරුවෙනවා. ගංගා ඇළ, දොළවල දිය නාන විට මුලින්ම හිතන්නට ඕනෑ ජීවිතය ගැන. ජීවිතයට වටිනාකමක් දෙන්නට නම් සිහිකල්පනාව තිබෙන්නට ඕනෑ. ඒ නිසා සති සම්පජඤ්ඤය තිබෙන්නට ඕනෑ. බොහෝ වැඩිහිටියන්ට සිහි කල්පනාව නෑ. දරුවන්ටත් දැන් ඒ තත්ත්වයම උදාවී තිබෙන බව පෙනෙනවා. ඒනිසා සිහි කල්පනාවෙන් වැඩ කිරීමත් තමන්ගේ යුතුකමක් ලෙස සිතා කටයුතු කරන්නට ඕනෑ.

දුරුතු පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 02 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.00 ට ලබයි. 03 වන දා සිකුරාදා අපර භාග 11.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වන දා සිකුරාදා 

මීළඟ පෝය ජනවාරි 10 වන දා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]