[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අඳුරට එළියක්- 07: කොඩි පූජාවේ අනුසස්

කොඩි පූජාවේ අනුසස්


බෞද්ධ කොඩිය බුදු දහමට ම ආවේණික වූ දෙයකි. වෙන කිසි ම ආගමක දහමක මෙවැනි ශඩ් වර්ණයක් බැබළෙන්නේ නැහැ. බෝසතාණන් වහන්සේ බුද්ධ ගයාවේ දී, බුද්ධත්වයට පත්ව රතනාගාර චේතියේ දී අභිධර්මය මෙනෙහි කරද්දී, සවණක් ගණ බුදු රැස් ධාරාවන් අනන්ත ලෝකවලට විහිදී ගියා. ඒ ධර්මයේ ඇති ගාම්භීරත්වය නිස යි.

නීල, පීත, ලෝහිත, ඕදාත, මාංජ්‍යෙෂ්ඨ, ප්‍රභාෂ්වර යනුවෙන් වර්ණ හයකින් බුදු රැස් සමන්වාගත යි. එලෙස බුදුරැස් සිහි ගන්වමින් බෞද්ධ කොඩිය සකස් කර තිබෙනවා. බෞද්ධ කොඩිය හෝ ඕනෑම කොඩියක් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කළොත් ලැබෙන පින සීමාවක් නැහැ. පියුමතුරා බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වුණ විට, උන්වහන්සේගේ ශ්‍රී දේහයේ සර්වඥ ධාතූන් වහන්සේ කුඩා, අනු කුඩා කොටස්වලට බිඳී නොගොස් එක ගුලියක් සේ ඒකඝනව පිහිටියා. මේ ධාතූන් වහන්සේ තැන්පත් කර, අති දැවැන්ත සෑයක් තැනුවා. මෙම සෑය මනුස්සයෝ, දෙවියෝ, බ්‍රහ්මයෝ, නාගයෝ ආදී සැමගේම සහායෙන් රනින් නිමවූ ගඩොලින් ඉදි වූවා. ගජමුතු, රන්, මැණික්, රත්තරං, ආදී වටිනා වස්තූන් මෙහි තැන්පත් කළා. සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කළ ඒ පින්බර උත්සවයට රාජ රාජ මහා අමාත්‍යවරු , දෙව් රජ දරුවන්, ගම් රටවැසි ජනතාව , මල්, පහන් , සුවඳ , ගිලන් පස, දැහැත්, බෙහෙත් ,ඖෂධ, කොඩි ධජ පතාක පරිස්කාර ආදියෙන් දැවැන්ත බුද්ධ පූජාවක් සිදු කළ අසිරිමත් දවසක් උදා වුණා. දෙවියෝ ද පරසතු මදාරා මලින් සෑය පිදුවා. වටිනා වස්ත්‍ර පූජා කළා.

මේ අසිරිය පසෙක සිටි දුගී තැනැත්තෙකු දුටුවා. සැවොම වටිනා පූජාවන් සිදු කළත්, මට කිසිවක් නැහැ’නේ යනුවෙන් මොහු පසු තැවුණා. නමුත් මේ තැනැත්තා ද තම උර මත වූ උතුරු සළුව සෝදා පිවිතුරු කර, කෝටුවක පළඳා ගෙන , බුදු ගුණ සජ්ඣායනාවෙන් ම අගනා කොඩි පූජාවක් සිදු කරමින් පෙරහරට එකතුවුණා. ඉතාම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, ඕනෑකමෙන්, චිත්ත ප්‍රසාදයෙන් සිදු කළ කොඩි පූජාව මොහුට පසුව මරණ මංචකයේ දී සිහියට නැඟුණා. ඒ නිසාම මොහු මරණින් මතු දෙව්ලොව මහා දෙව් රජ කෙනෙක් බවට පත් වුණා. තමාට මනු ලොව සිදු කළ පින සිහිපත් වූවා.

මේ පූජාව මා සිදු කළේ, ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමකට යි. තමා මනු ලොවේ දී දුගීව සිටියදී තිබූ එකම උතුරු සළුව නිශ්චල සිතකින් පූජා කළ පින සංසාරෙවත් ගෙවා නිම කළ නොහැකි වූවා. මනු ලොව, දෙව් ලොව, බඹ ලොව පමණක් ම උපත ලැබුවා. කිසිම දවසක සතර අපා දුකකට පත් වුණේ නැහැ. අන්ධයෙක්, බිහිරෙක්, ගොළුවෙක් වුණේ නැහැ. අවාසනාවන්ත දුගී මගී කෙනෙක් වුණේ ම නැහැ. මනු ලොව රජ කෙනෙක්, සිටුවරයෙක් ලෙසින් උපත ලැබුවා. දෙව් ලොව දිව්‍ය මාළිගා සීමාවක් නැතිව ලැබුණා. මෙය යි , සැදැහි සිතින් කළ කොඩි පූජාවේ අනුහස. කල්ප විනාශයේ දී බඹ ලොව උපත ලබා නැවත නැවතත් පින් දහම් කරමින් පින ශක්තිමත් කළා. දස පාරමිතාවෝ මෙලෙස සසරේ හොඳින් පුරා ගෙන පියුමතුරා බුද්ධ කාලයේ සිදු කළ මෙම බලගතු පිනෙන් අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, සුජාත, පියදස්සී, අත්ථදස්සී, දම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, පුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ , කෝණාගමන, කාශ්‍යප, ගෞතම ආදී බුද්ධ ශාසනවලදී පුරා කල්ප ලක්ෂයක් සියලුම සම්පත් ලැබුවා. පසුව ගෞතම බුද්ධ ශාසනයේ තරුණ වියේ දී ම පැවිදිව මහ රහත් භාවයෙන් නිවනට පත් වුණා. ත්‍රිවිද්‍යා, අෂ්ට විද්‍යා, අෂ්ට සමාපත්තිලාභී ව රහත් වූ මෙම රහතන් වහන්සේ තම පිනට හේතු වුණ කතා වස්තුව මෙලෙස වදාළා. එසේනම්, ඕනෑම කෙනෙකුට සිතෙන්න පුළුවන්, කොඩි පූජාවෙන් මෙපමණ කලක් කෙනෙකුට අනුසස් ලැබෙනවා ද යනුවෙන්. මේ උතුමන් වහන්සේ කොඩිය සැකසීම, සේදීම ආදිය සිද්ධ කළේ පිවිතුරු සිතින්. චිත්ත වීති සංඛ්‍යාව අසංඛ්‍යෙය වූවා. එහෙමනම්, එක් සිතකට මනු ලොව හෝ දෙව් ලොව එක සැපවත් ප්‍රතිසන්ධියක් ලැබෙනවා. මෙහි ප්‍රවෘත්ති විපාක සීමාවක් නැහැ. පින්කමක යම් තාක් සිත් පහළ වුණේ නම්, ඒ සෑම සිතකටම මනුලොව, දෙව් ලොව, බඹ ලොව සිටින්නට තරම් වරම් ලැබුවා. තවත් අනුසස් ලැබීමට භාග්‍ය තිබුණ ද පැවිදිව රහත් වූ නිසා පින අහෝසි කර්ම බවට පත් වුණා.

මෙම කතා පුවත හොඳින් කවුරුත් මතක තබාගෙන, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, ඕනෑකමෙක් යුක්තව කොඩි පූජාව කළ යුතු යි. රුවන් මැලි මහා සෑය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ගමේ පන්සල, චෛත්‍ය ආදියෙහි සෑම කෙනෙකුම කොඩි පූජාවක් සිදු කර ගන්න. රුවන්මැලි මහා සෑය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට යමෙක් කොඩි පූජාව සිදු කළොත් කල්ප ලක්ෂයකට වඩා විපාක ලැබෙනවා. කප් රුක් පූජාවක් සිදු කළොත් ඊටත් වඩා අනුසස් ලැබෙනවා. එනිසා රුවන්මැලි මහා සෑය සමීපයට ගියොත්, දවසකට කප් රුක් කිහිපයකට හෝ අත ගැසිය හැකි යි. සැවොම එකතුව කප් රුකක් පූජා කරන්න. එයම සසර වසන තුරු සැප විපාක ලබන්න ප්‍රමාණවත් වෙයි. මව් පියන්ට සලකනවා සේ ම බුදුන් වහන්සේටත් සැලකිය යුතු යි. ඒ නිසයි, මේ සියලු සම්පත් ලැබෙන්නේ. මිථ්‍යා මත අතහැර නිවැරැදි බෞද්ධයෙක් වශයෙන් තුනුරුවන් පූජාව, වන්දනාව සිදු කළ යුතු යි.

දීපංකර බුදුන් වහන්සේගේ කාලයේ දී, සුමේධ තාපසයා ගෞතම බුද්ධත්වය උදෙසා දීපංකර බුදුන් වහන්සේ ඇතුළු හාරලක්ෂයක් මහ රහතන් වහන්සේලාට මල් පූජාවක් සිදු කළා. එසේනම්, බුද්ධාදී උතුමෝද ගෞරවය පුද කළා වූ මල්, පහන්, කොඩි, දැහැත්, ගිලන්පස , දාන මාන ආදී පූජාවන් කිසිවෙක් ප්‍රතික්ෂේප නොකර, පරලොව සැප , නිවන් පිණිස ගෞරවයෙන් සිදු කළොත්, තමන්ට කිසිම දෙයකින් අඩු පාඩුවක් කරදරයක්, වෙන්නේ නැහැ. මේවාට විරුද්ධ ව සතුරුකම් කළොත්, බුද්ධ පූජාවන් සිදු නොකළොත්, ගිහි හෝ පැවිදි හෝ වේවා සසර ගමන දුර්ගතිගාමී වෙයි. ඒ නිසා මෙවැනි පින්කම් ඉගෙන කියාගෙන දැනුම වැඩි දියුණුවෙන්, තුනුරුවන් සරණින්, පන්සිල් සමාදන් ව, තුනුරුවන් උදෙසා ම පූජා සත්කාර සිදු කර ගන්න. කොඩි පූජාවෙන් මෙතරම් අනුසස් ලැබෙනවා නම්, තුනුරුවන් උදෙසා කරන අනෙකුත් පූජාවන්ගෙන් කෙතරම් අනුසස් ලැබෙයි ද? මේ ගැන සිතා, කල්පනාවෙන් ලොවුතුරු බුදු දහමට සමීප ව කටයුතු කරන්න. පින වැඩි නම්, අසනීප , අපල උපද්‍රව කරදර බාධා මතුවන්නේ නැහැ. මේවා යටපත් ව පින ඉස්මතු ව වාසනාවන්ත දිවි ගෙවනවා. බලවත් පින උතුම් වෙයි. එනම්, සිත හොඳින් කරන පින්කමයි. මේ ගැන සිතා කල්පනාවෙන් තුනුරුවන්ගේ ගුණම සිහිපත් කරමින් කොඩි පූජා සිදු කර සංසාර ගමන සුවපත් ව සුගතියක වාසයෙන් නිවන් පසක් කර ගන්න.

දුරුතු පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 02 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.00 ට ලබයි. 03 වන දා සිකුරාදා අපර භාග 11.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වන දා සිකුරාදා 

මීළඟ පෝය ජනවාරි 10 වන දා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]