[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෑත කාලීන ශාසන විලෝපිකයන් සිදු කරන ධර්ම කරුණු විකෘතිය

මෑත කාලීන ශාසන විලෝපිකයන් සිදු කරන ධර්ම කරුණු විකෘතිය

“චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ සඳහන් ‘සංදස්සෙති, සමාදපෙති, සමුත්තේජෙති, සංපහංසේති’ යන ඥාන පද සතර ඇතෙකුගේ පාද හතරට උපමා කර ඇතාගේ කඳ ධර්මස්කන්ධයට සමාන කර උපමාවක් ගෙන පෙන්වා වදාරා ඇත. ඇතාගේ විශාල කඳක බර ශරීර පාද හතරකින් දරන්නා සේ මෙම ‘සං’ පද හතරින්, ඥාන පද හතරෙන් මුළු ධර්මස්කන්ධය ම දරා සිටින ආකාරය විග්‍රහ කර පෙන්වා දිය හැකි බව උපමාවකින් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය තුළින් පෙන්වා දී ඇත”

නිර්මල බුද්ධ දේශනාව වෙනස් කිරීමට නොදී ආරක්‍ෂා කර ගැනීම සඳහා ථෙරවාද භික්‍ෂූන් වහන්සේලා හා සැදැහැති රාජරාජමහාමාත්‍යාදීන් විසින් අපරිමාණ කැප කිරීමක් කරන ලද බව ඉතිහාස පොතපතෙහි සඳහන් වේ. කෙසේ වුව ද මීට වසර කිහිපයකට පෙර පටන් යම් පිරිසක් විසින් නිර්මල බුද්ධ දේශනා විකෘති කරමින් සමාජ ගත කරනු දක්නට ලැබේ. මෙම ශාසන විලෝපිකයන් විසින් විකෘති කොට ඇති ධර්ම විනය කරුණු පිළිබඳ ව හා ඒවායෙහි ධර්මානුකූල විග්‍රහය පිළිබඳ මෙහි දී විමසුමට භාජනය වේ. මොවුන් විසින් බුදුරජාණන් වහන්සේ ලෝකසත්වයා කෙරෙහි මහාකරුණාවෙන් වදාළ ධර්ම විනය දේශනාවන් විශාල ප්‍රමාණයක් මේ වන විට විකෘති කොට ප්‍රකාශයට පත්කර ඇති අතර එයින් ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳ මෙහි දී අවධානය යොමු කෙරේ.

සංදේශනා

නිවන් දැකීමට නම් ‘සං’ දේශනාවක් අසා ‘සං’ තේරුම් ගත යුතු යැයි පවසමින් ‘සං’ දේශනා යනුවෙන් විශේෂ දේශනාවක් බුදුරජාණන් වහන්සේ විසින් සිදුකොට ඇතැයි ඔවුහු පවසති. මොවුන් ත්‍රිපිටක ධර්මයෙහි විවිධ පද සමග දක්නට ලැබෙන “සං, සම්, සන්, ස, සමා, සමු” යන යෙදීම් ඇති තැන් ඉලක්ක කොට මේවා ‘සං’ දේශනා යනුවෙන් හඳුන්වා ඇත. ‘සං’ යන පදයෙහි එකතු කිරීම, රැස් කිරීම, උපාදාන කිරීම, අල්ලා ගැනීම වැනි අර්ථ ඇති බව මොවුන් පවසනු ලැබේ. මේ පිළිබඳ ව මුලින් ම කිව යුතු වන්නේ පාලි භාෂාවෙහි එන ‘සං’ උපසර්ගයේ භාවිතය පිළිබඳ වැරැදි අදහසක් මෙයින් මතු කොට ඇති බවත්, එබඳු ‘සං’ දේශනාවක් බුද්ධදේශනාවෙහි ඇතැයි කීම සහමුලින් ම අසත්‍යයක් බවත් ය. ධර්මග්‍රන්ථවල ඇතැම් පද සමග සං, සම් ආදී පද යෙදී තිබුණ ද ඒවා කොයි ආකාරයකින් වත් ‘සං’ දේශනා වශයෙන් මොවුන් ප්‍රකාශ කරන අදහසකින් නො දැක්වේ. ‘සං’ දේශනා නමැති මෙම ධර්ම විකෘතිය පිළිබඳ යමක් කීමට පෙර පාලි භාෂාවේ උපසර්ග ගැන ඉතා කෙටියෙන් හෝ යමක් කිව යුතු ය.

පාලි භාෂාවේ උපසර්ග පද විවිධ ශබ්ද සමග යෙදීමේ දී ලක්ෂණ තුනක් දක්නට ලැබේ. ඒවා නම් ධාතු අර්ථය වෙනස් නොවීම, ධාතු අර්ථ වෙනස් වීම, ධාතු අර්ථය තීව්‍ර කිරීම වශයෙනි. ‘සං’ උපසර්ගය ද අනෙක් උපසර්ග මෙන් ම ත්‍රිපිටකය පුරා විහිදී ඇති විවිධ පද සමඟ විවිධ අර්ථවලින් යෙදී තිබේ. නිදසුන් වශයෙන් සමෝධාන අර්ථයෙහි සං + ධා සන්ධි (එක්වීම) යනුවෙන් යෙදේ. මෙම සං උපසර්ගය සං+අග්ඝ සමග්ඝ (මිළ අඩු) යනුවෙන් අල්පාර්ථයෙහි ද යෙදේ. මෙය පිධාන අර්ථයෙහි (වැසීම් අර්ථයෙහි) සං+වුත සංවුත (වැසුණු) වශයෙන් ද යෙදී ඇත. පුනප්පුනකරණාර්ථයෙහි හෙවත් නැවත නැවත කිරීම් අර්ථයෙහි සං+ධාවු සංධාවති (නැවත නැවත දිවේ) යනුවෙන් දක්නට ලැබේ. එක ම සං උපසර්ගය මේ ආදි වශයෙන් විවිධ පද සමග නොයෙක් අර්ථ යෙදෙන බව භාෂාඥයෝ දනිති. ත්‍රිපිටකය සිසාරා සං උපසර්ගය යෙදී ඇති පද විශාල ප්‍රමාණයක් දක්නට ඇති අතර, ඒ තැන්වලට ධර්ම විකෘතිකයන් දක්වන ආකාරයේ උමතු අදහසක් යෙදුවහොත් එම සූත්‍රවලට නිසි අර්ථයක් දිය නොහැකි ය. එයින් සිදු වන්නේ එකිනෙකට නොගැළපෙන අදහස් සමුදායකින් සූත්‍රාර්ථ ව්‍යාකුල වීමයි.

‘සං’ දේශනා නමැති මෙම විකෘති අදහස භාෂාවක උපසර්ග පදයන්ගේ භාවිත අර්ථ පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකොට ඉදිරිපත් කොට ඇති බව කිව යුතු ය. මෙය සැබවින් ම උපසර්ග පිළිබඳ අවබෝධයක් නැතිකමට වඩා සිතාමතා ම කරන ලද විකෘති කිරීමක් බව පැහැදිලි වන්නේ ත්‍රිපිටකයේ දැක්වෙන සූත්‍ර ධර්ම ‘සං’ දේශනා යනුවෙන් තහවුරු කිරීමට දරන අතිශයින් ම ව්‍යාජ උත්සාහය අනුව ය. ඔවුන් විසින් චූළහත්ථිපදෝපම සූත්‍රය මුළුමනින් ම ‘සං’ දේශනාවක් වශයෙන් දක්වා ඇත. රථවිනීත සූත්‍රය, රට්ඨපාල සූත්‍රය, ධම්මචේතිය සූත්‍රය, සේල සූත්‍රය, විශාක සූත්‍රය මෙම ‘සං’ දේශනා පැහැදිලිව ම සඳහන් වී ඇති සූත්‍ර වශයෙන් දක්වනු ලැබේ. එසේ වුව ද මෙම කිසිදු සූත්‍රයක එබඳු සංදේශනාවක් නොමැති බව එම සූත්‍ර අධ්‍යයනයෙන් කාට වුව ද දක්නට හැකි ය. එම සූත්‍රවල ‘සං, සම්’ ආදි පද යෙදී ඇති වචන කිහිපයක් දක්නට හැකි වුව ද ‘සං’ දේශනා යන මෙම විකාරරූපී අදහස එම සූත්‍රවලින් ප්‍රකාශ නො වන බව ඉතා පැහැදිලි ය. සැබවින් ම මෙය කරුණු විකෘති කොට මිනිසුන් මුළා කිරීමකි. මොවුන්ගේ මෙම ප්‍රකාශනවල සාවද්‍යතාව දැක්වීම සඳහා චූළහත්ථිපදෝපම සූත්‍රය අරබයා සිදු කරන වැරැදි ප්‍රකාශන සහ සූත්‍රයේ අන්තර්ගතය සැකෙවින් හෝ දැක්විය යුතු ය. මෙම සූත්‍රය පිළිබඳ මොවුන්ගේ සාවද්‍ය විවරණයක් පහත දැක්වේ.

“චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ සඳහන් ‘සංදස්සෙති, සමාදපෙති, සමුත්තේජෙති, සංපහංසේති’ යන ඥාන පද සතර ඇතෙකුගේ පාද හතරට උපමා කර ඇතාගේ කඳ ධර්මස්කන්ධයට සමාන කර උපමාවක් ගෙන පෙන්වා වදාරා ඇත. ඇතාගේ විශාල කඳක බර ශරීර පාද හතරකින් දරන්නා සේ මෙම ‘සං’ පද හතරින්, ඥාන පද හතරෙන් මුළු ධර්මස්කන්ධය ම දරා සිටින ආකාරය විග්‍රහ කර පෙන්වා දිය හැකි බව උපමාවකින් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය තුළින් පෙන්වා දී ඇත”

මෙය සම්පූර්ණයෙන් ම සාවද්‍ය ප්‍රකාශයක් බව මුල දී ම කිව යුතු ය. යථෝක්ත සූත්‍රයෙහි මේ කියන ආකාරයේ උපමාවක් ද නොමැත. ‘සං’ පද සතර ඇතාගේ පාද සතරට උපමා කොට සමස්ත ධර්මස්කන්ධය එම ‘සං’ පද සතරින් දරාසිටින ආකාරයේ සඳහනක් එම සූත්‍රයේ හෝ ත්‍රිපිටකයේ වෙනත් තැනක සඳහන් වීමක් තබා එබඳු ඉඟියක්වත් දක්නට නොමැත. ‘සං’ දේශනා නමැති මෙම විකෘති අදහස බුද්ධභාෂිතයක් බවත්, එය බුදුදහමේ ප්‍රධානතම ධර්ම සිද්ධාන්තයක් බවත්, දැක්වීම සඳහා යථෝක්ත බොරු උපමාව මොවුන් විසින් ගොතා ඇති බව චූළහත්ථිපදෝපම සූත්‍රය යන්තමින්වත් කියවීමෙන් දැනගත හැකි වේ. යථෝක්ත සන්දස්සෙති ආදි පද සතර සඳහා ධර්මය විකෘති කරන්නන්ගේ අර්ථ දැක්වීම පහත පරිදි වේ.

සංදස්සෙති - ‘සං’ යන එකතු කිරීම, රැස් කිරීම හා උපාදානය කිරීම පිළිබඳ පැහැදිලි කිරීම

සමාදපෙති - එකතු කරගත් ‘සං’ වලින් මිදී නිදහස් වී සම්මා තත්වයට පත්වන ක්‍රියාමාර්ගය පැහැදිලි කිරීම

සමුත්තෙජෙති - එකතු කිරීමේ ක්‍රියාවට මුල් වූ පටිච්ච වීම සහමුළින් උදුරා දමා ‘සං’ මුල ගළවා දැමුවා යන ක්‍රියාවලිය විස්තර කිරීම

සම්පහංසෙති - ‘සං’ ප්‍රහාණය කර ‘සං’ වලින් සදහට ම මිදී නිදහස් වන්නට මග පෙන්වා දී නිවන් සුවයට නිවැරැදි මග පෙන්වා දුන්නා යන තේරුම

මේවා සාවද්‍ය අර්ථ දැක්වීම් බව පාලිභාෂාව හා ධර්මය දන්නෝ දනිති. සූත්‍රයෙහි දැක්වෙන සන්දස්සෙති, සමාදපෙති, සමුත්තෙජෙති, සම්පහංසෙති යන පද සතරෙහි නියම අර්ථය වනුයේ “කරුණු දක්වයි, සමාදන් කරවයි, තියුණු කරවයි, සතුටු කරවයි” යනුවෙනි. නිවැරදි අර්ථ ඉවත් කොට ඒ සඳහා දී ඇති අර්ථවලින් ද පෙනෙන්නේ ධර්මය කියන මුවාවෙන් අමු අමුවේ ම ශාසනය විකෘති කිරීමකි. ඔවුන්ගේ විකෘති අර්ථ පාලි භාෂාවටත්, බුද්ධ ධර්මයටත් කොයි සැටියෙන් වත් ගැලපිය නොහැකි බව කිව යුතු ය. චූළහත්ථිපදොපම සූත්‍රයෙහි ‘සං’ දේශනා යන විකාරරූපී අදහසක් නොමැති බව තව දුරටත් දැනගනු කැමැත්තෝ එම සූත්‍රය1 බලත්වා !

සංසාරයෙහි පැවැත්ම සඳහා හේතු වන අවිද්‍යාව, තෘෂ්ණාව, උපාදානය වැනි ධර්ම පිළිබඳවත්, නිර්වාණ මාර්ගය පිළිබඳවත් ඉතාමත් පැහැදිලි බුද්ධදේශනා ත්‍රිපිටකය තුළ කොතෙකුත් තිබේ. අපේක්‍ෂිත අර්ථය ඊට අදාළ පදවලින් දේශනා කොට තිබීම බුදුසමයේ ලක්‍ෂණයකි. එසේ ක්‍රමවත් ව ධර්මය සඳහන් ව තිබිය දී නිවනට බණ කියන්නෙමියි පවසමින් තමන්ට හිතෙන විදිහට දහම්පදවලට අර්ථ කීමෙන් නියම ධර්මාර්ථය මතු කළ හැකි නොවේ. එයින් බුදුදහම ද විනාශ වී යන බව බුදුරජාණන් වහන්සේ විසින් ම දේශනා කොට ඇත 2.

ත්‍රිලක්‍ෂණ

අනිච්ච - අනිච්ඡ පටලැවිල්ල

නිර්වාණය සඳහා මාර්ගය විවරණය කෙරෙන බුද්ධදේශනා අතරට ත්‍රිලක්‍ෂණ දේශනා ද අයත් වේ. අනිච්ච, දුක්ඛ, අනත්ත යනු එම ත්‍රිලක්‍ෂණයයි. මේ පද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සංස්කෘතයෙන් ද, අනිස (අනිස්), දුක, අනත (අනත්) වශයෙන් සිංහලයෙන් ද කිව හැකි ය. එහෙත් මෙහි දී පාලි, සිංහල දෙකට ම වඩා සිංහලයන්ට සංස්කෘත උච්චාරණය වඩාත් හුරු ය. එසේ වුව ද අර්ථ වශයෙන් ඒවායෙහි වෙනසක් නොමැති බව ධර්මඥයෝ හා භාෂාඥයෝ දනිති.

වර්තමානයෙහි බුදුදහම විකෘති කරන්නන් විසින් මෙම ශ්‍රේෂ්ඨ ත්‍රිලක්‍ෂණධර්ම පර්යාය ද විකෘති කොට තිබේ. මොවුහු අනිච්ච යන පාලි පදය අනිච්ඡ වශයෙන් වෙනස් කොට එහි අර්ථය කැමති සේ නො පවතී, යනුවෙන් දක්වයි. එසේ ම අනත්ත යන පදය අනත්ථ වශයෙන් වෙනස් කොට එහි අර්ථය අනාථ යනුවෙන් දක්වයි. දුක්ඛ යන පදයට ‘දෙක’ හෙවත් දෙවන පැත්ත යනුවෙන් අර්ථ දී ඇත.

1 මජ්ක්‍ධිමනිකාය 1, චූළහත්ථිපදොපම සූත්‍රය, 426-447 පිටු

2 අංගුත්තරනිකාය 3, තතියසද්ධම්මසම්මොස සූත්‍රය, 290 පිට

බුද්ධ වචනය අත්තනෝමතික ව වෙනස් කිරීම මොවුන් විසින් මුල දී ම සිදු කොට ඇති බලවත් වරදකි. මේ ආකාරයට එකිනෙකාට අවශ්‍ය පරිදි ත්‍රිපිටක ධර්මයෙහි සඳහන් ධර්මපද වෙනස් කිරීමට යාමෙන් අනාගත පරපුරට නිර්මල ධර්මය අහිමි වනු ඇත. අනෙක් අතට මොවුන් සිදු කරන මෙම අර්ථකථන පාලි භාෂාවටත්, ධර්මයටත් ගැළපෙන්නක් ද නොවේ. මොවුහු න+ඉච්ඡ අනිච්ඡ යනුවෙන් මෙම පදය සැදී ඇතැයි පවසති. පාලියෙහි ඉච්ඡ යනුවෙන් පදයක් නැත. කැමැත්ත යන අර්ථයෙහි ඉච්ඡා යනුවෙන් නම් පාලි පදයක් තිබේ. කැමති විදිහට නො පවතී යන අර්ථය දීමට න+ඉච්ඡා අනිච්ඡා යනුවෙන් පදයක් සෑදිය හැකි වුව ද ත්‍රිලක්‍ෂණ විග්‍රහයේ දී එවැනි පදයක් යෙදී නැත. තව ද අනත්ත යන පාලි පදය විකෘති කිරීමේදී න + අත්ථ අනත්ථ යනුවෙන් දක්වා තිබේ. පාලියෙහි අත්ත හා අත්ථ වශයෙන් පද දෙකක් ඇත. අත්ත යන පදයෙහි ‘තමා, ආත්මය’ යන අර්ථ ඇත. ඊට ‘න’ නිපාතය එකතු කළ විට තමා නො වන හෝ ආත්ම නොවන යන අර්ථය ඇති අනත්ත පදය සෑදේ. අත්ථ යන පදයෙහි ‘අර්ථය’ යන තේරුම වේ. ඊට ‘න’ නිපාතය එකතු කර ‘අර්ථයක් නැති හෙවත් අනර්ථ’ යන තේරුම ගෙන දෙන අනත්ථ යන පදය සෑදේ. ත්‍රිපිටකයෙහි ත්‍රිලක්‍ෂණ විග්‍රහයෙහි යෙදී ඇත්තේ අනත්ත යන පදය මිස අනත්ථ යනුවෙන් නොවේ. අනෙක් අතට මොවුන්ගේ විග්‍රහ අනුව නම් අනිච්ච, දුක්ඛ, අනත්ත යන පදවල විරුද්ධාර්ථ ඉච්ඡ, සුඛ, අත්ථ විය යුතු ය. එහෙත් ත්‍රිපිටකයෙහි ඒවා දැක්වෙන්නේ නිච්ච, සුඛ, අත්ත වශයෙනි.

අනිච්ච, අනත්ත යන පාලි පදවලට අනිත්‍ය, අනාත්ම වශයෙන් සංස්කෘත වචන දැක්වීම නිසා බුදුදහමේ අර්ථය විනාශ වී ඇතැයි ඉදිරිපත් කොට ඇති තර්කය ද ඉන්දු ආර්යභාෂාවන්ගේ විකාශනය ඉගෙන ගත් විද්වතුන්ට නම් හාස්‍යයට කරුණක් පමණක් වේ.

මොවුන් විසින් ත්‍රිලක්‍ෂණයට අදාළ ධර්මපද හා අර්ථ වෙනස් කොට ඒවා නියම බුදුදහම වශයෙන් හුවා දැක්වීමට නොයෙක් තර්ක ද ඉදිරිපත් කොට තිබේ. සූත්‍රවල ‘යදනිච්චං තං දුක්ඛං’ වැනි දේශනාවල යමක් අනිච්ච නම් එය දුක බව සඳහන් වේ. මොවුන් පවසන්නේ අනිච්ච යන පදයට අනිත්‍ය යන අර්ථය දීමෙන් වැරැදි අදහසක් මතු වී ඇති බවයි. එහි ලා නගන තර්කයක් නම් අනිත්‍ය වීමෙන් දුක උපදී නම් පිළිකාවක් අනිත්‍ය වීමෙන් (සුව වීමෙන්) දුක ඉපදිය යුතු බවයි. රෝගයක් අනිත්‍ය වීමෙන් (සුව වීමෙන්) උපදින්නේ දුකක් නොව සුවයක් බවත් එබැවින් අනිත්‍ය නිසා දුක උපදින බව කීම සෑම තැනට ම සාධාරණ නො වන බවටත් තර්ක ඉදිරිපත් කරති. එබැවින් යමක් අනිච්ච නම් එය දුකයි යන බුදු වදන විග්‍රහ විය යුත්තේ යමක් කැමති පරිදි නො පවතී නම්, එය දුකක් යනුවෙන් යැයි වාද කරති. ඒ අනුව අනිච්ච යන පදයට අනිත්‍ය යන තේරුම දීම නො ගැළපෙන බවත්, අනිත්‍යභාවය නිසා දුක් මෙන් ම සුව ද උපදින බවත් කියති. නිදසුන් වශයෙන් ප්‍රියයෙක් අනිත්‍යභාවයට පත් වීමෙන් දුක ද, රෝගයක් අනිත්‍යභාවයට පත් වීමෙන් සැප ද උපදින බව පවසති. බැලූ බැල්මට මෙම තර්කයෙහි සත්‍යයක් ඇතැයි යමෙකුට සිතිය හැකි වුවත් ධර්මය දැනගත්තෙකුට නම් එය පදනම් විරහිත ප්‍රලාපයක් බව වටහා ගත හැකි ය. මොවුන්ගේ මෙවැනි විග්‍රහයන් පාලි භාෂාවට හා සූත්‍රවලට නො ගැළපෙන ආකාරය ඉහත දී සැකෙවින් දැක්විණි. ඒ පිළිබඳ ව ධර්මානුකූල විමර්ශනයක් තවදුරටත් සිදු කළ යුතු ව තිබේ.

ඉහත තර්කය බුදුදහමෙහි දුක පිළිබඳ පුළුල් විග්‍රහයන් නොසලකා ගොඩනගා ඇති බව මුල දී ම කිව යුතු ය. මොවුන් ඉහත දක්වන ලද ‘කැමැති සේ නොපවතින නිසා දුක වන බව’ දැක්වීම දුක පිළිබඳ බෞද්ධවිග්‍රහයේ එක් අංශුවක් පමණි.

කැමති සේ නො පැවතීම දුකක් යන මේ විග්‍රහය යම්පිච්ඡං නලභති තංපි දුක්ඛං යන බුදුවදනින් ප්‍රකාශ වී තිබේ. එය දුක පිළිබඳ බුදුරදුන්ගේ විවරණයෙහි එක් කොටසක් පමණි. දුක පිළිබඳ බුදුරදුන්ගේ සමස්ත විවරණය ම මේ එකක් තුළට ඇතුළු කිරීම ධර්මයට පටහැනි වූවකි.

පඤ්චකාමයන් කෙතරම් ආදීනව ගෙන දුන්න ද, එයින් සුළු හෝ ආශ්වාදයක් ද උපදී. කාමයන්ගේ ආශ්වාදයක් ඇති බැවින්, සත්වයන් ඒවාට ඇලෙන බවත්, එම ආශ්වාදයට වඩා ආදීනව ම බහුල බවත් බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සත්ත්වයන් වෙත සුව උපදින ආකාර කිහිපයක් වේ. ලෝකධර්මතාවයෙන් උපදින දුකෙන් නිදහස් වීම සඳහා ඔබ විසින් හෝ අනුන් විසින් සිදු කරන උත්සාහයේ ප්‍රතිඵලයකින් ඔබට සහනයක් ලැබිය හැකි ය. නැතහොත් කුසලකර්මයක විපාකයකින්, සෘතුවිපර්යාසාදියකින් ද සුවයක් ඉපදිය හැකි ය. එහෙත් එසේ ලබා ගන්නා එම සහනය ද විපරිණාමය හේතුවෙන් නැවත දුකට පත්වීම ස්වභාවික ය. නිරන්තරයෙන් ම සිදුවන විපරිණාමය හේතුවෙන් සත්ත්වයෝ නිරායාසයෙන් ම දුකට පත් වෙති. එම විපරිණාම ක්‍රියාවලිය තුළ ඉෂ්ට ප්‍රතිඵලයක් ද ලැබිය හැකි වුවත් එබඳු ලැබීමක් වන්නේ කලාතුරකින් පමණි. ‘අනිත්‍ය, විපරිණාම ක්‍රියාවලිය තුළින් දුක මෙන් ම සැප ද උපදී’ යැයි තර්කයක් වශයෙන් කිව හැකි වුව ද යථාර්ථවාදී ව විමසීමෙන් දක්නට හැක්කේ එම ක්‍රියාවලියෙන් ස්වල්ප ආශ්වාදයක් ලැබුණ ද ආදීනව ම බහුලව උපදින බවයි. මෙය ඔබගේ ජීවිතය පිළිබඳ ව ප්‍රායෝගික ව විමසා බැලීමෙන් තේරුම් ගත හැකි ය. නිදසුනක් වශයෙන් ඔබ එක් දවසක් වෙනත් කිසිදු ක්‍රියාවක් නො කොට, ඉරියව්ව ද වෙනස් නො කොට අනිත්‍ය ධර්මතාවයෙන් කුමක් උපදී දැයි නිරීක්‍ෂණය කරන්න. විපරිණාම ධර්මය අනුව බඩගින්න, පිපාසය, මළමුත්‍ර බැහැර කිරීම, ඩහදිය, ක්ලාන්තය ආදිය පමණක් නොව ඔබ සිටි ඉරියව්ව පවා කෙ තරම් පීඩාවක් උපදවන්නේ දැයි ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි ය. එහි දී ඔබ කරා අනිත්‍ය හේතුවෙන් නිරායාසයෙන් කුස පිරීම් ආදියක් හෝ ඉමහත් සුඛයක් හෝ ගලා එන්නේ ද? එහි දී විපරිණාම ධර්මය තුළින් ඔබ වෙත ලැබෙන සුවය කුමක් ද? අනිත්‍ය ධර්මයෙන් භාගයට භාගයක් සුව උපදින බවක් තබා සතරෙන් පංගුවක්වත් සුව උපදී ද? මෙහි දී ඉතා කලාතුරකින් සුළු ආශ්වාදයක් ඉපදිය හැකි ය. එහෙත් එම සුවය ද වෙනස්වීම නිසා දුකෙන් ම අවසන් වේ.

මෙම ලිපියෙහි ඉතිරි කොටස දුරුතු පුර පසළොස්වක පෝදා ( 10 වෙනිදා) පත්‍රයේ පළවේ

දුරුතු පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 02 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.00 ට ලබයි. 03 වන දා සිකුරාදා අපර භාග 11.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වන දා සිකුරාදා 

මීළඟ පෝය ජනවාරි 10 වන දා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]