Print this Article


උභයාර්ථ සාධනයම ඕනෑ

උභයාර්ථ සාධනයම ඕනෑ

ජීවිතයේ අමිහිරි අත්දැකීම් අමතක කර මිහිරි අත්දැකීම් තුළින් නව වර්ෂය ආරම්භ කළ යුතු ය. ඇතැම් අය ආරම්භයේ දී ම අධම්මචාරී ව, විෂමචාරීව මත් පැන්, මත් ද්‍රව්‍ය ජීවිතයට සමීප කර ගනිමින් නව වර්ෂයට මුල පුරන ආකාරය වත්මන් සමාජය තුළ ඉතාමත් සුලභ කාරණයකි. ඒ තුළින් කායික හා මානසික වශයෙන් පිරිහීමට පත්වේ.

මෙහිදී වැදගත් වන්නේ උදා වූ වර්ෂය හා කාලය පිළිබඳ ව ප්‍රාමාණික අවබෝධයක් ලබා ගැනීම ය. වර්ෂයක් ගත වී වර්ෂයක් උදාවීම තුළ ඔබ වසරකින් මරණයට ළං වීමකි. එම නිසා ඔබ ලබාගත් ජීවිතයට නිසි වටිනාකමක් ලබා දෙමින්, ගුණ ධර්ම, සාරධර්ම සකස් කර ගනිමින් ජීවිතයට වටිනා අර්ථයක් ලබා දිය හැකි වේ. නම් ඔබ ද, ලැබූ නව වසරතුළ අප්‍රමාදී පුද්ගලයෙකු බවට පත් වේ. වර්ෂාරම්භයේ සිට, වර්ෂය නිමා වන දිනය දක්වා ඔබේ සිතිවිලි හා ක්‍රියාවන් පිළිබඳ ව ස්වයං විනිශ්චයකට පැමිණිය හැකිවේ ද? නැවතත් පැමිණි ගමන් මග ගැන සිතා ඔබට සතුටු විය හැකි ද?

බුදුරජාණන් වහන්සේ දස ධම්ම සූත්‍රයේ දී භික්ෂූන් වහන්සේලාහට දේශනා කරන ලද්දේ

කථං භූතස්ස මෙ රත්තිං දිවාවීති පතංතීතී පබ්බජීතෙන අභිණ්හං පච්චවෙක්ඛි තබ්බං

තමන්ගේ දිවා රාත්‍රීය කෙසේ ගත වුණේදැයි පැවිද්දා විසින් නිතර නිතර සිහිපත් කළ යුතු ය. ඔබ ද දෛනික වශයෙන් ජීවිතය දෙස හැරී බලා වැරැදි ඇතොත් නිවැරැදි කරගෙන, තිබෙන ගූණ ධර්ම තව තවත් අභිවර්ධනය කර ගනිමින් ජීවිතය දෙස සුභවාදී දැක්මකින් ක්‍රියා කළ යුතු ය.

බොහෝ දෙනෙකු ස්වකීය ජීවිතය අසාර්ථක කර ගනු ලබන ප්‍රබල හේතුවක් ලෙස කළ යුතු දෙය පිළිබඳ ව මනා සිහියකින් හා අවබෝධයකින් කටයුතු නොකිරීම වත්මන් සමාජය තුළ සුලභ ගැටලුවකි. සිහිය නොමැති ව ක්‍රියා කිරීමතුළ ලෞකික මෙන් ම, ආධ්‍යාත්මික ගුණ ධර්ම ද පිරිහීමට පත්වේ. එය කිසිවෙකුටත් වළක්වන්නට හැකියාවක් නොමැත. ඉහළ ආධ්‍යාත්මික බලයක් තිබෙන කෙනෙකු පවා සිහිය නොමැති ව කටයුතු කරතොත් එම ආධ්‍යාත්මික ශක්තිය පවා කඩා වැටෙන්නට පුළුවන.

දිනක් හාමුදුරුවන් වහන්සේ නමක් හිමිදිරි උදෑසන මහා සෑය වන්දනා කරන්නට ගියේ තමන්ගේ ගෝල ස්වාමීන් වහන්සේත් සමඟ යි. ලොකු ස්වාමීන් වහන්සේ වඩිනකොට ගුරු ස්වාමීන් වහන්සේ කියනව “අනේ පොඩි නම අපිට බැරි වුණානේ මල් ටිකක් සොයා ගන්න. මල් ටිකක් සොයා ගත්තොත් මොකද?” කියලා. මල් ටිකක් ගේන්නම් කියලා මේ හාමුදුරුවෝ පිටත් වෙලා ගියා. වතුර බේරෙන මල් මිටක් අරගෙන ආවා. ඒතරම් නැවුම් මල්. ලොකු ස්වාමීන් වහන්සේ අහනවා. “පොඩි නම කොහෙන් ද මේ මල් ගෙනාවේ” “ස්වාමීනි, මම මේවා අමෝතප්ත විලෙන් ගෙනාවේ” කිව්වා. දැන් මේ මල් මහ සෑය වටේට පූජා කරගෙන යනවා. පූජා කරගෙන යනකොට මල් ඉවරවෙන්නේ නැ ඒ තරම් පුණ්‍ය සෘද්ධියක් මේ පොඩි හාමුදුරුවන්ට තියෙන්නේ. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ කියනවා. “පොඩි නම, මේ මල් ඉවර වෙන්නේ නෑ නෙ”. “ස්වාමීනි ඔය මල් ගොටුව අනිත් පැත්තට හරවලා ගසන්න” කිව්වා. එහෙම ගසනකොට මල් අතුරුදහන් වුණා. “පොඩි නම හරිම හොඳයි ,හැබැයි ඔය හොඳකම පවතින්න නම් සිහියෙන් ඉන්න” කිව්වා. සිහිය නැති වුණොත් පොඩි නමට අනාගතේ කණ ගැහැනියකගෙන් කැඳ බොන්න වෙනව කිව්වා. දිනක් කාන්තාවකගේ කට හඬට වසී වෙලා මේ හාමුදුරුවෝ සිවුරු ඇරගියා. දැන් ඔබ සිතන්න, හොඳට ගුණ ධර්ම ප්‍රගුණ කළ කෙනෙකු පවා කඩා වැටෙන්නට පුළුවන්. බොහෝ දෙනෙක් වසරේ මුල්ම දිනයේ දී ම පන්සල් ගිහින්, සිල් අරගෙන, පුද පූජා කරලා නව වසර ආරම්භ කරන්නේ. එහෙත් ටික දිනක් යනකොට මේ සියල්ලම අමතක වෙනවා. සම්මා සතිය නැතිවෙලා යනවා. නැවතත් පරණ දුසිල්වත් ජීවිතය ම ආරම්භ කරනවා. එම නිසා සිහිය නොමැති වුණොත් ගුණධර්මවලට ආරක්ෂාවක් නෑ.

අර පොඩි නම සිවුරු හැර ගිහින් නූල් කටිනවා. එයාගේ රැකියාව ඒක. නූල් කටින වෙලාවේ තමන්ගේ බිරිඳ කෑම අරගෙන ආවා. ඒත් කෑම අරගෙන එන්න ප්‍රමාද වුණා. කෑම රැගෙන එන්නට ප්‍රමාද වුණ නිසා කේන්ති ගිහින් අර නූල් කටින තැනදී කාන්තාවට පහර දෙනකොට ඇයගේ ඇහැක් අන්ධ වුණා. ලේ ගලාගෙන එතනම ඇද වැටුණා. එදා තමයි තේරුම් ගත්තේ මගේ ලොකු ස්වාමින් වහන්සේ කී කතාව ඇත්ත කියලා.

ගුණධර්ම ආරක්ෂා කරගන්නට බැහැ සිහිය පිරිහුණොත්.

එම නිසා සිහියෙන් යුක්ත ව ම නව වසරේ කටයුතු ආරම්භ කළ යුතුයි.

බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත ලස්සන කරගැනීමට අවැසි බොහෝ ධර්මෝපදේශ මංගල සූත්‍රය හා කරණීයමෙත්ත සූත්‍රය තුළ මැනවින් දේශනා කර තිබේ. ඒ අතර ඔබේ ජීවිතය සාර්ථක සහ අසාර්ථක භාවයට පත් කරන ප්‍රධාන කරුණක් වනුයේ නිසි කලණ මිතුරු ඇසුරයි.

විශ්වයතුළ අප දකින, අසන, දැනෙන දෙයට වඩා බොහෝ සංකීර්ණ යි. සංකීර්ණ විශ්වයේ යථා ස්වභාවය අවබෝධ කරගත් එකම ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ ය. එම නිසා බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ යනුවෙන් හඳුන්වති. මේ ලෝකය පිළිබඳ ව දැන ගැනීම ඉතාමත් දුෂ්කර ය. නොයෙක් පුදුම දේවලින්, පුදුම කරුණුවලින් පිරී පවතී. ඒ සියල්ල ම මසැසට විෂය ව පවතින දේ නොවෙති. ලෝකයේ ඇසින් බලා අවබෝධ කරගන්නා වූ දෙයට වඩා එසේ දැනගත නොහැකි දේ බොහෝ වෙති. ධර්ම ශාස්ත්‍ර දෙක වනාහි ප්‍රකෘති ඇසට අවිෂය වූ, බොහෝ දේ පිළිබඳ ව ස්මරණය අවදි කරන්නා වූ, දිව්‍ය ඖෂධයකි. මිනිසෙකුහට මෙලොව සැප ඇති ව, ගරු නම්බු ඇතිව, කල් ගත කිරීම හා මරණින් මතු සුගතියට පැමිණීම යන දෙක ඇසට පෙනීමෙන් ම වන දැනීමෙන් පමණක් කිසි කලෙකත් සිදු කර ගත හැකි නොවේ.

ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගැනීම සඳහා ධර්මශාස්ත්‍ර ඥානය නමැති ඇස් දෙක තිබිය යුතු ම ය. ලෝකය කෙබඳු ද? ඒ ලෝකයේ කුමක් කළ යුතු ද? කුමක් නොකළ යුතු ද? කුමක් සැපතට හේතු වේ ද? කුමක් දුකට හේතු වේ ද? යනුවෙන් උභයාර්ථ සාධනය සඳහා බොහෝ ඇසූපිරූ තැන් මිනිසෙකු සතු විය යුතු ය. මෙසේ ධර්මය පිළිබඳ ව ප්‍රාමාණික හෝ අවබෝධයක් නොමැති පුද්ගලයා දෙඇස් ම නොපෙනෙන අන්ධයෙකු හා සමාන ය. උභයාර්ථ සාධනයට ඇවැසි ගුණධර්මයනට ඔබ ව දිශාභිමුඛ කරනුයේ කලණ මිතුරන් විසිනි. එම නිසා නව වසරතුළ ජීවිතයට නිසි කලණ මිතුරු ඇසුර ලබා ගත යුතු ය. නිරන්තරයෙන් ධනාත්මක, ආකල්ප තුළින් චරිතාදර්ශ ලබා ගත යුතු ය. ජීවිතයේ ‘යං තං සන්තං පදං අභිසමෙච්ච’ යම් ශාන්ත නිවනක් ලබා ගැනීමට ඔබ අපේක්ෂා කරන්නේ ද? එයට මූලාරම්භය මෙම වසර තුළ දී ම ඇතිකර ගත හැකි ය.

ජීවිතය ජයග්‍රහණය කිරීම සඳහා ධනාත්මක චින්තනය හා ධනාත්මක ආකල්ප තුළින් මනස පෝෂණය කර ගත යුතු ය. එය බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය තුළ ‘සක්කො’ යනුවෙන් දේශනා කර තිබේ. යම් දෙවියෙක්වත් බ්‍රහ්මණයෙක්වත්, මාරයෙක්වත් නොවෙයි ඔබේ ජීවිතය සකස් කරනු ලබන්නේ. එය ඔබ විසින් ම සකස් කර ගත යුතු දෙයකි. තවත් පැතිකඩකින් සක්කෝ යනුවෙන් අර්ථවත් වනුයේ යම් අපහසු කාර්යක් සිදු කිරීමේ දී සිතේ ධෛර්ය සම්පන්න බව තිබිය යුතු බව ය. මට මේ දෙය කෙසේ හෝ කළ හැකි ය. මම මාගේ උත්සාහය අත්නොහරිමි. යනුවෙන් ධනාත්මක ව ඔබට සිතිය හැකි නම්, නව වර්ෂයතුළ ජයග්‍රාහී පුරවැසියෙකු විය හැකි ය.