Print this Article


ත්‍රිිපිටක දහම-19: නිස්සරණය යනු කුමක් ද ?

ත්‍රිපිටක දහම-19:

නිස්සරණය යනු කුමක් ද ?

අපට එකම ධර්මය දෙපාරක් විඳින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා කියනවා හටගත්ත ධර්මයන් ඉතිරි නැතිව නැතිවෙලා යනවා, ක්ෂණයක් , ක්ෂණයක් පාසා ඉතා ම සියුම් මොහොතක් පාසා, සිද්ධ වන ස්කන්ධයන්ගේ බිඳී යන ස්වභාවය නිවන නො වෙයි. එය නිවන වුණොත් , අප නිවන් දැකීම සඳහා අමුතුවෙන් දෙයක් කළ යුතු නැහැ.

මොහොතක් මොහොතක් පාසා නිවන ස්පර්ශ කරන්නෝ බවට අප පත් වෙනවා. එහෙමනම්, නිවන යනුවෙන් කියන්නේ කුමක්ද? නිරෝධය යනුවෙන්, නිරෝධය සත්‍ය යනුවෙන් කතා කරන තැන අපට තියෙනවා, ඊට වඩා හාත්පස ගැඹුරු දෙයක්. නිරෝධ සත්‍ය පිළිබඳ ව තේරුම් ගන්නා විට, අපට පෙනෙන්නට ඕනේ, අප සමුදයාගේ ධර්මයන් ගැන කතා කළා සේ ම ලක්ෂණ ටිකකින් මෙය පෙනෙන්නට අවශ්‍ය යි. ඒ නිසා මේ නිරෝධ සත්‍ය පිළිබඳ ව අප තේරුම් ගන්නා විට නිරෝධය පිළිබඳ තේරුම් ගත යුතු යි. එවිට නිරෝධ සත්‍ය පිළිබඳ අවබෝධ කරන්නට ඕනේ.

නිරෝධස්ස නිස්සරණත්තො යනු නිරෝධයාගේ තියෙන නිස්සරණාර්ථය යි. නිස්සරණය යනු අප සරලව ම අර්ථ කථනය කළොත්, නික්මීම කියන දේ, ඉවත්වීම කියන දේ , එවිට නිරෝධය කියන නික්මෙන අර්ථය කුමන ක්‍රමයකින් ද? රාගයාගෙන්, ද්වේශයාගෙන්, මෝහයාගෙන් කියන මේ ධර්මයන්ගෙන් නික්මීම අප කියනවා, නිරෝධය යනුවෙන්. එවිට නිරෝධයාගේ ඇති නිස්සරණාර්ථය රාගයාගේ ඇති නිස්සරණය එනම් ඉවත්වී ම යි. එය අනුප්පාද වශයෙන් ඇති කරගත්ත තත්ත්වයක්, නැතිනම්, නැවත හට නොගන්නා බවට පත් කිරීමක්. එවිට එය නැවත හට නොගන්නා බවට පත් කිරීමක් කියන කොට, මෙය ඉතාම වැදගත් වනවා අපට, ‘නිස්සරණට්ඨො’ යනුවෙන් සඳහන් කරන්නේ නික්මීම යි. නික්මීම කෙසේද, වෙන්නේ යන්න පිළිබඳව අපට අවබෝධයක් තියෙන්නට ඕනේ. අප පෙර කතා කළා, ස්කන්ධයන්ගේ නිරෝධය පිළිබඳව, එක් ක්ෂණික වශයෙන් හටගෙන නැතිවෙලා යන බව පිළිබඳව . එක් ක්ෂණික වශයෙන් හටගෙන නැතිවෙලා යනවා කියන ස්වභාවය යථාර්ථය අවබෝධ කරගන්නේ නැතිව කවදාකවත් මේ නිස්සරණාර්ථයක් නික්මීමක් ලබනවා කියන දෙය, කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එවිට සියලුම ක්ලේෂයන්ගෙන් , ස්කන්ධයන්ගෙන් මිදෙන බව ද ම යි මෙතැනදී නිස්සරණ යන්නෙන් අදහස් කරන්නේ.

එවිට ඒ සියලුම කෙලෙසුන්ගෙන් , ස්කන්ධයන්ගෙන් මිදෙන නිස්සරණය කරන්නට නම්, අපට ස්කන්ධයන්ගේ මිදීයාම ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. ඇසට වර්ණ සටහනක් පෙනෙන තැනක , ගස කියන රූපයක් අප හදා ගන්නා තැන පිළිබඳව කතා කරනවා. අප ගස කියලා රූපයක් හදා ගන්න තැන පිළිබඳව කතා කරන විට, අපට පෙනෙනවා හටගත්ත, අනාත්ම ධර්මතා ටිකක් ඇති තැනක ගසක් කියන දේ ඉපදුණේ කෙසේද? යනුවෙන්. හැබැයි, අප දැනගත්තොත්, යම් මොහොතක අර හටගත් හේතු ටික හටගෙන නිරුද්ධ වුණා යනුවෙන්. ඇස, රූප, විඤ්ඤාණ ධර්මයන් හටගෙන නිරුද්ධ වූ ධර්මයම යි යනුවෙන් අප දන්නවා නම්, අපට නැවත ඒ ගස එළියේ දකින්න පුළුවන් යනුවෙන් අදහසක්, ඇති වෙන්නේ නැහැ.

ඔබ පෙර දුටු ගස ඔබට නැවත දකින්න පුළුවන් යනුවෙන් අදහසක් ඔබේ සිතේ තියෙන නිසා තමයි, ඒ ගස පැත්තට ඔබ සිතෙන් නැඹුරු වන්නේ. හැබැයි, ඔබ දකිනවා නම්, පැමිණි වර්ණ සටහන සහ ඒ දැනගත්ත සිතත් හටගෙන ඉතිරි නැතිවම නිරුද්ධ යි යනුවෙන් ඔබ කවදාවත් ඒ පැත්තට නැඹුරු වන්නේ නැහැ. උදාහරණයක් ලෙස සඳහන් කළොත්, ඔබ මෙයට අවුරුදු පහ හයකට පෙර මියගිය කෙනෙක් බැලීම සඳහා පිටත් වෙලා යනවා ද? දුර සිටින තමන්ගේ අවුරුදු පහ හයක නෑදෑයෙක් මිය ගිය බව ඔබ හොඳාකාරව ම තේරුම් ගෙන සිටිනවා නම්, ඒ හොඳාකාරව ම තේරුම් ගෙන සිටින, මියගිය බවට ඔබ හොඳටම දන්නා, ඥාතියා බැලීම පිණිස ඔබ පිටත් වෙලා යනවාද? ඔබ කිසිම අවස්ථාවක පිටත්වෙලා යන්නේ නැහැ. එවිට පිටත් වෙලා නොයන්නට ඇති හේතුව කුමක්ද? හේතුව නම්, ඔබ හොඳාකාරවම දන්නවා, ඥාතිවරයා මිය පරලොව ගිය කෙනෙක් බව. ඒ නිසා ඔබ අවබෝධ කරගෙන තියෙන නිසා, ඔබේ කය රැගෙන ඒ ඥාතිවරයා බලන්නට යන්නේ නැහැ. මොකද? ඔබ දන්නවා, එය බලන්න බැරි බව. මොකද? ඔබ ඒ කෙනා නැති බව තේරුම් අරගෙන සිටින නිසා. ඒ වගේම නුවණක් ගැනයි, ඒ වගේම ප්‍රඥාවක් ගැනයි මේ කතා කරන්නේ. හටගත් ධර්මය ඉතිරි නැතිව නිරුද්ධ වෙනවා. ඇසට පැමිණි රූපය මිය ගිය දෙයක් ලෙස ඔබ දන්නවා නම්, ඇස මිය ගිය දෙයක් බව ඔබ දන්නවා නම්, හටගත් ධර්මය ඉතිරි නැතිව නිරුද්ධ වෙන බවට ඔබට නුවණක් තියෙනවා නම්, ඔබ කිසිම කලෙක නැවත ඒ නැතිවුණ රූපය ඇති බවට සිතන මෝඩකම අප ළඟ යෙදෙන්නේ නැහැ.