Print this Article


ඒහි පස්සික 38: අරමුණුවලට යාමට සිත සැකසිය යුතුය

අරමුණුවලට යාමට සිත සැකසිය යුතුය


යම් යහපත් පුරුද්දක් ක්‍රමානුකූල ව දැන එය පුරුදු වුණා සේ, අයහපත් පුරුද්දක් නම් එය දැනගෙන ක්‍රමානුකූල ව අයින් කළ හැකි ය, යනුවෙන් දැන ගැනීමෙන් නැතහොත් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව දරා ගත යුතු වේ. එසේ දැනගත් තැනැත්තාට අපහසුවෙන් කළ දේ පහසුවෙන් කළ හැකි තත්ත්වයට පත්වේ.

ලෝකයේ පහසු හෝ ඉතා අපහසු කවර අරමුණකට වුව ද, යාමට අපගේ සිත සකස් කර ගැනීමෙන් හැකි බව වැටහෙනු ඇත. එබැවින් අපි අපගේ සිත ම වර්ධනය කළ යුතු බව තේරුම් ගත යුතු වෙමු.

ලෝකය දෙස බලන විට ලංකාවේ වෙසෙන අපට තරම් උතුම් දායාදයක් වෙනත් තිබේදැයි සිතා බලන්න. අපට ලැබී ඇති ඒ උතුම් දායාදය කුමක් ද? ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය යි. එබැවින් අපේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයට අනුව අපගේ දරුවන් සකස් කර ගත යුතු වේ. ඒ පමණක් නොව අපට තරුණ දරු පරපුරක් ද සිටී. ඔවුන් සඳහා ද ඒ වැඩ පිළිවෙලට යා යුතුව තිබේ.

අපි කල්පනා කර බලමු , තමන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් කර එහෙත් රැකියාවක නිරත නොවන අය හිමිදිරියේ පිබිදී තම මව්පියවරුන්ගේ කටයුතුවලට උදව් කරනවා. ගෙදර දොර කටයුතු කරමින් ඊට උදව් කරනවා. හැම කටයුත්තකට ම සහාය වෙමින් ක්‍රියා කරන ඒ දරුවෝ නිවෙස්වලට සහනයක් නේ. ඒ අය මේ රටේ ශක්තිය යි.

ඇතැම් විට එබඳු තත්ත්වයේ අයෙකු හිමිදිරියේ පිබිදීමෙන් බැහැරව පෙරවරු 8, 9 දක්වා නිදියන ඇඳට ම වී සිටී නම්, එමෙන්ම එබඳුම අලස අයෙකු හමුවන අපේක්ෂාවෙන් පසුවනවා නම්, එමෙන්ම ඇතැම් විට නිවසේ ඉන්න වෙලාවේ තමාගේ ජංගම දුරකතනය පරිහරණය කර සිටිනවා නම්, ඇතැම් විට පුතෙක් නම් ඒ පුතා සන්ධ්‍යා කාලයේ දී මත්ද්‍රව්‍යවලට එසේත් නැතිනම් විවිධ ස්ථානවලට වී කතා බහ කරමින් සිටිනවා. මේ තරුණ ශරීරය, තරුණ හිත මහා ජව සම්පන්නයි. ඒ රටක බලය යි. එහෙත් ඒ අයුරෙන් හැසිරීම ඒ තරුණ දරුවන්ගේ වරදක් ද? ඒ තරුණ දරුවන්ගේ වරදක් නොවේ. ඒ තරුණ දරුවන්ගේ මනස පුරුදු කරන වැඩ පිළිවෙල අප දායාද කළේ නෑ. ඒ දරුවන් හරි අසරණ යි. ඇයි අසරණ වන්නේ. ඒ දරුවන්ගේ හිත්තුළ ඇතිවන හැඟීම එය යි. හිමිදිරියේ නිදි යහනෙන් පිබිදීමට ප්‍රබල හැඟීමක් තම සිතට ඇති නොවේ. ප්‍රබල හැඟීමක් උපදවන වැඩ පිළිවෙලක් අප සකසා දුන්නේ නෑ. මත්ද්‍රව්‍ය ටික අතට ගන්න තැනැත්තාට නිකමට හෝ මතක් වෙනවා නම් ජාතිය කියල, සඳහන් කරන විට අවම ඒකකය පුද්ගලයා ය. තමා යම් ජනතාවක් රටට නියෝජනය කරනවා නම් එහි කුඩාම ඒකකය තමා වේ.

තමා මත්ද්‍රව්‍ය අතට ගෙන එය පාවිච්චිකර එය තවත් කෙනෙකුට පුරුදු කරන්නේ නම්, තමා නියෝජනය කරන ජන කොටස පහතට හෙළන බව තේරුම් ගත යුතු ය.

කුමන ජාතියක හෝ කෙනෙක් අන්‍ය ජාතික අය ඉහළට ඇදෙන බවක්, තම ජාතිය පහළට ඇදෙන බවක් දන්නේ නම් සංවිධානය විය යුතු යි. කුමක් සඳහා ද? තමන් වර්ධනය කිරීම සඳහා ය. පුද්ගලයකු පහළට දැමිය හැකි ක්‍රම දෙකක් පවතී. තමන් වර්ධනය වී අපේ තරුණ දරුවන්ගේ කුමන ජාතියක හෝ දරුවන්ගේ හිත්තුළ තමාගේ ජාතික හැඟීම් වර්ධනය වුවහොත් ඒ සමඟ බුදුරජාණන් වහන්සේගේ සංකල්පය වර්ධනය වේ. එම සංකල්පය නම් සියලු ජාතීන්ට ගරු කරන්නට ඕනෑ.