Print this Article


පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී කවිය

තෙරුවන් නමදිමු

සදහම් අමා දිය දහරින් තිලෝ තලේ
තෙමා වදාරා සම්බුදු සසුන් විලේ
සිව්වන පිරිස බව සයුරෙන් එතෙර කළේ
දස බල බුදු සමිඳු නමදිමු සියලු වෙලේ

පව පින හොඳ නරක පැහැදිලි කරන ලද
පිවිතුරු සුවාසූ දහසක් දහම් කඳ
නොපැකිල පෙරටු කොට නිති බැතිබරව හද
නමදිමි දිවා රෑ දෙකෙහිම ඇඳිලි බැඳ

ගුණවත් සමාජයකට මග කියා දෙන
යහපත දෙලොව දියුණුවටම බෙදා දෙන
තුන්කල් මහා සඟරුවනට සසෝ බණ
පා පිස්නක් කරමි හද බිම දෙදණ ඇණ

****

පෝදා

කලා සපිරි සඳපති රන් පාට වෙලා
වළා කැරැලි අතුරින් මතු වෙන ලීලා
පුරා පෝය අද නේ දැ’යි සිහි කරලා
කියා දෙන්න ඇවිදින් වත් පින් පුරලා

****

නිවන

සත්ත්වයාහට
කරුණා පා
අප කෙලෙස් දම්
නිවා
බුදු සමිඳු
නමදිමි
මෛත්‍රී සිත
හුරු කරමින්
අප සිත් තුළ
මෝහය
දුරු කරලමින්
සත්ත්වයාහට
මෙත් ගුණ
පතුරුවමින්
අප නිවන්
ලබනෙමු

****

බණ

සසරේ සරන විට අග මුල නොදැන
පමණින් කිව නොහැක අකුසල් රැස් කරන
පාපය නසා භවයෙන් අප අත් මුදන
නිවනට එකම මඟ බුදු හිමි දෙසුව බණ

****

පින්බර පොහොය

පෙර පින් මහිමයෙන් අප මෙලොවට ආදා
හැමවිට කරන වැඩ නිවනට මඟ පාදා
සිත තුළ කිළිටි වී ඇති කෙලෙසුන් සෝදා
මුනිඳු වඳීමු අපි අද පින්බර පෝදා

සැරැසී සුදු වතින් තෙල් මල් දෝත දරා
දරුවන් සමඟ මව්වරු යති වෙහෙර කරා
පන්සල් බිමෙන් විහිදෙන සිල් සුවඳ පෙරා
අපි සිල් සමාදන් වෙමු යන්නට නිවන කරා

****

නිවනට යෙදවුම්

උතුම් මව් පදවිය ද ඔබ මැයි මගේ පුත ඔබ ලබා දුන්නේ
පැතුම් සපුරා පුදා සසුනට වියෝගයෙ කඳුළැලි සැලෙන්නේ
සතුට දුක පිරි සසර ගමනේ දිනෙක නැවතුම උදා වෙන්නේ
සිතට සහනය දුකට නැවතුම එදින නිවනින් මා නිවෙන්නේ

****

තුන් හෙළයේ අභිමානය

උඳුවප් පුර පොහොය දවසේ අනුරාපුර යන්න
සිරිමා බෝ සමිඳු වැඳලා පින් රැස්කර ගන්න
සඟමිත් තෙරණි නැමැද කළගුණ සලකන්න
අනුබුදු හිමි සිහි කරමින් බොදු සව්වෙක් වන්න

මහමෙව්නා වැලිමළුවේ බවුන් වඩන්න
රන්වැලි සෑ මහ වෙහෙරට මලින් පුදන්න
මිස්සක පව් ආරාධනා ගලට නගින්න
තුන් හෙළයේ අභිමානය මෙනෙහි කරන්න

****

සසරෙන් මිදෙමු

මිනිසුන් සිතනුයේ දෙව් ලොව වෙත යන්න
දෙවියන් සිතනුයේ මනුලොව වෙත එන්න
පින් ඇති පිරිස් මිනිසුන් අතරේ ඉන්න
දන් පින් කරනුයේ සසරින් ගොඩ යන්න

උපන් දිනට උත්සව පැවතුවත් නිති
සිතන්නට හැකි ද විපතක් එහිම ඇතී
කරන්නට සිතේ නම් කුසලයන් නිතී
නිවෙන්නට හැකියි සසරේ ගමන නැතී

****

සෙනෙහෙබර මෑණියනි

අම්මා උතුම් වදනයි ලොව විකුම් කෙරූ
පෙව්වා ගුණැති සුදු වූ කිරි රුහිරු පෙරූ
බෝසත් කෙනෙකි නුඹ සසරෙහි පෙරුම් පිරූ
අම්මේ හිස නමා සදහට කරමි ගරූ

මතු බුදු වන්න පුතුනට විවරණ දුන්නා
අම්මා මිසක වෙන කවුරු ද? ලොව දන්නා
ගෙදර බුදුනි, ගරු බැති පෙම පුද දෙන්නා
සුසුවඳ මලින් මව් පාමුල සරසන්නා

****

යශෝධරාවනි

බුදු බව පැතුව දා සිට සෙවණැල්ල වගේ
සසරේ පුරා සහයට ළඟ සිටිය අගේ
යශෝධරාවනි ඔබ ගුණ සුවඳ දිගේ
කවි මල් ගොතමු අපි යන බව සසර මගේ

දන් දෙන විටදි දන් දුන්නා යශෝධරා
සසරේ පුරා දුක් වින්දා යශෝධරා
දරුවන් නිසා හැඬුවා ඔබ යශෝධරා
කෙලෙසුන් නසා ඔබ දිනුවා යශෝධරා

****

වැදගත් දවස

සඟමිත් තෙරණියගෙ සිරසින් සිරිලකට
වැඩමෙව් අති උතුම් සිරිමහ බෝ රඳුට
පිළිවෙත් අනුව බුදු හිමි නමදින ලෙසට
උඳුවප් පොහොය වැදගත් දවසකි අපට

සතියක් බුදු නෙතින් කළ ගුණ පුද තබමින්
සසරින් මිදෙන්නට ලද බුදු බව වෙනුවෙන්
මනුසත් දෙරණ තුළ අද බෝ හිමි පිහිටෙන්
ලොවටත් රටට සෙත් වේ බෝ හිමි පිහිටෙන්

****

යථාර්ථය

විකසිත වුව ද රුව ගුණ සුවඳින් ඉතිර
අවසන පිපුණු මල් සැතපෙයි බිම වැතිර
නැවතත් මල් පිපී සරසයි අතු පතර
පෙර තිබු මල් නොමැත දැන් පිපි මල් අතර

මිනිසුන් වෙලා දියදම සුසුම නොතකන
බලවත් වුව ද, කිසිවක් නොමැත හිමිවන
හඳුනා නොගතහොත් ලොව දහම පවතින
පළගැටියෙකු වේවි, ගිනිසිලට බිලිවෙන

****

ශ්‍රී පාද වන්දනාව

උඳුවප් මස පුර පොහොය උදා වෙලා
පින්බර දවසකට මුල පිරී ගියා
සුමන සමන් දෙවිඳුන්ගේ පිහිටෙන්
සාධු වන්දනාවට අප සැරසෙන්නේ
සම්බුදු පා පියුම් නමදින්නට
මේ පුද බිම වාසනාවන්

****

පෝයක අසිරිය

කුඩා මහලු සැම අයකුම පෝය දින
හිමිදිරියෙම නැගිට පන්සල වෙත යනවා
දන්සිල් භාවනා පින්කම් සිදු වෙනවා
පෝය දිනේ අසිරිය ඉන් වැඩි වෙනවා

පුන් සඳ අහසේ පායා දිලිසී යනවා
පන්සල් මළුව ඒ එළියෙන් නැහැවෙනවා
තෙල් මල් පහන් තිර පන්සලේ දැල්වෙනවා
පෝය දිනේ අසිරිය ඉන් වැඩි වෙනවා

****

සසර සයුරෙන්

සදහම් අමා ජලයෙන් තුන් ලෝ තලය
තෙමා වදාළ සම්බුදු හිමි දස බලය
කෙලෙසුන් නසා ලෝවැසි අර්හත් පලය
ලැබගෙන සසර කතරේ දුක අත් හලය

රා දොස් මෝහ දුරු කටයුතු වන්නේ ය
දන් සිල් භාවනා කළ යුතු වන්නේ ය
තිලකුණු පිළිබඳව දත යුතු වන්නේ ය
ඒ හැම සසර සයුරෙන් ගොඩ එන්නේ ය