Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 49: රුවන්වැලි මහ සෑයේ ඇත්පවුර

රුවන්වැලි මහ සෑයේ ඇත්පවුර

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 

සිරිසමන් විජේතුංග
 
පුරාවිද්‍යා 
Msc පර්යේෂණ

පුරාණ ලංකාවට පමණක් ඇති රුවන්වැලි සෑයේ ඇත් පවුර

රුවන්වැලි මහා සෑයේ මළුවෙහි පනා බැම්ම මූණත ඇතුන්ගේ ඉදිරි පාර්ශ්වය (හිස්, ඉදිරිගාත් සහ කඳ) දැක්වෙන උන්නත කැටයමින් ගහණය. ඇත්රූප අතර පරතරය අඩි 4 අඟල් 7 කි. මෙසේ මළුවේ පැති (සතර) පේළි ගැසී සිටින ඇතුන් විසින් උසුලා ගෙන සිටින ආකාරය නිරූපණය කෙරේ. ඉහත සඳහන් කළ පරිදි සෑ මළුවේ පිහිටි පූජා ස්තූපයන්හි වේදිකා ඇතුන් විසින් උසුලා සිටිනු දැක්වේ. එසේ වුවද, මේවායේ සිංහ රූප යොදා තිබේ.

 මහා වංසයට අනුව සද්ධාතිස්ස රජු (දුටුගැමුණු රජුගේ මලනුවන්) විසින් මහා ථූපය නිමවීම පිණිස කරන ලද වැඩ කටයුතුවලට ඇත් පවුරක් (හත්ථි ප්‍රාකාර ද ඇතුළත් විය. චෛත්‍යාංගය ගැන මහාවංසයේ පසු භාගයේ ද සඳහන් වේ.

රුවන්වැලි සෑයේ ඇත්පවුර ඉතා පුරාණයේ සිට පැවත ආ නිර්මාණාංගයක් බව මෙයින් ප්‍රත්‍යක්ෂ වේ. කෙසේ වුව ද, රුවන්වැලි සෑ මළුවේ දැන් පවත්නා ඇත් පවුර එතරම් පැරැණි යුගයකට අයත් නොවන බව අපට නිශ්චය කළ හැක. එය මුළුමනින් ම හුණු බදාමයෙන් බඳනා ගඩොලින් නිමවා තිබේ. මෙම නිර්මාණ ක්‍රමය සිංහල ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් යොදා ගනු ලැබුවේ අනුරාධපුර යුගයේ අවසාන අවධියේ වූ අතර එය අතිශයින් ම භාවිතයට පැමිණියේ පොළොන්නරු යුගයේ දී ය. එබැවින් ඉහත කී ඇත්පවුර නවවන සියවසටත්, දොළොස්වන සියවසටත් අතර කාල පරිච්ඡේදයට අයත් සේ සැලකිය හැකි ය.

එහෙත් එය කලින් පැවති පවුරක අනුකරණයක් විය හැකි ය. අනුරාධපුරයේ අනෙක් මහ ස්තූප දෙකෙහි වූ ඇත් පවුරු ගැන ද මහා වංසය සඳහන් කරයි. එහෙත් මෙම චෛත්‍ය දෙකෙහි මළුවල ඇති සීමා පවුරුවල දැන් පවත්නා අන්දමට ඇත් රූප කිසිවක් නොදැක්වේ. එබැවින් මෙම සෑමළු දෙකෙහි ද පුරාණයෙහි එබඳු නිර්මාණ තිබුණා විය හැකි නමුත්, පසු කාලයේ දී ඒ වෙනුවට චාම් පවුරු තනවන්නට ඇත.

අප දන්නා කිසිදු ඉන්දියානු ස්තූපයක මීට සමාන නිර්මාණාංගයක් නොදක්නා ලැබේ. එහෙයින් මෙය ලංකාවට පමණක් සීමා වූ දේශීය විකාසනයක් බව නිශ්චය කළ හැකි ය. කෙසේ වුව ද සියම් ජාතිකයන් විසින් ථෙරවාද බුදුසමය වැළඳගෙන ධාතු තැන්පත් කිරීම සඳහා ස්තූපයන් තැනීම ආරම්භ කළ පසු ඔවුන් විසින් ලංකාවේ දාගැබ්වලට අයත් ඇත් පවුරු අනුකරණය කළ බව පෙනේ.

රුවන්වැලි සෑයේ මෙම අංගයට සමාන ව සියමයෙහි සජ්ජනාල, සුඛෝදය සහනාන් යන ස්ථානවල පිහිටි ස්තූපයන්ගේ මාලකද ඇතුන් විසින් උසුලා සිටින අයුරින් තනා තිබේ. දහතුන් වැනි සියවසේ සිට පසළොස් වන සියවස තෙක් අතරතුර කාලයේ ලංකාව හා සියම් රට අතර ආගමික සම්බන්ධකම් පැවැත්තේ ය. මහාචාර්ය ජී.කෝඩේ විසින් පෙන්වා දී ඇති අයුරු ලංකාවේ සහ සියමයෙහි පමණක් දක්නා ලැබෙන මෙම ලක්ෂණය නිසැකයෙන් ම සියම් බෞද්ධයින් විසින් අනුරාධපුරයේ දාගැබ්වලින් අනුකරණය කොට ගත්තා විය හැකි ය.

(ඊඩඥ ඉබභනච ඪද ඛ්ඥරතධද ඕක ච්ප ඉඥදචපචබ ර්‍ථචපචදචමඪබචදච - 1980 සිංහල පරිවර්තනය මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක ලංකාවේ ස්තූපය පි. 61 - 62 - 1963)

රුවන්වැලි මහා සෑ රදුන්ගේ ඇත්පවුර මෙකල සංරක්ෂණය කර ඇත. එහෙත් පුරාණ කාලයේ ඇත්පවුර තිබූ අන්දම පෙන්වා දෙන ඒ පුරාණ කාලයේ ස්වරූපයෙන් ම සංරක්ෂණය කරඇති අන්දම දැක ගත හැකි ය.