Print this Article


බුද්ධාභිවන්දනා සර්වරාත්‍රික බුදු ගුණ දේශනාව 28 වනදා

බුද්ධාභිවන්දනා සර්වරාත්‍රික බුදු ගුණ දේශනාව 28 වනදා

තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ මෙයට වර්ෂ 2608 කට පෙර දඹදිව බුද්ධගයා බෝධි මණ්ඩලයේ ඇසතු බෝ රුක් සෙවණේ වජ්‍රාසනාරූඪ ව වැඩ හිඳ අනන්ත බුද්ධ ගුණ, බුද්ධ ඤාණ ප්‍රතිලාභයෙන් මේ මහා භද්‍ර කල්පයෙහි සිව්වැනි පරම ශාස්තෘන් වහන්සේ ලෙස සම්බුද්ධ රාජ්‍යයෙන් අබිසෙස් ලද සේක.

භාග්‍යවතුන් වහන්සේ ගුණයෙන් තමන් හා සම කෙනෙකුන් නැති බැවින්, අසම ද, අසම වූ සර්වඥයන් වහන්සේලාට පමණක් සම වූ බැවින් අසමසම ද නම් වූ සේක. අනන්ත ගුණ ඇති ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සම්භාරය, සියල්ල දත් සර්වඥයන් වහන්සේ නමකට ම විනා ස්වයම්භූ ඥානයෙන් ආර්ය සත්‍යාවබෝධය කළ පසු බුදුවරයන් වහන්සේ නමකට හෝ කල්පයක් මුළුල්ලේ ඇද හැලෙන මහ වැස්සක වැසි බිඳු ගණන ගණන් කිරීමට තරම් මහා නුවණින් යුතු ව වැඩ සිටි සාරිපුත්ත අග්‍රශ්‍රාවක මහෝත්තමයන් වහන්සේ වැනි රහතන් වහන්සේ නමකට හෝ සම්පූර්ණයෙන් ම විෂය නොවෙයි. බුදුගුණ සියල්ලම දන්නා බුදුරදුන් වහන්සේට වුවත්, මුළු ජීවිත කාලය මුළුල්ලේ ම බුදු ගුණ ම වදාරතත් බුදුගුණ සම්පූර්ණයෙන් වදාරා අවසන් කරගත නොහෙන බව සර්වඥයන් වහන්සේ ම වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයෙහිත්, ලක්දිව බුදු සසුන බැබළුණු අරහත් යුගයෙහිත් බෙහෙවින් ම පැවතියේ සර්වරාත්‍රික ව දහම් දෙසන ක්‍රමයකි. රාත්‍රී පෙරයම පටන් දහම් අසන විට අසන්නවුන්ගේ සිත් කෙමෙන් කෙමෙන් මෘදු ව නීවරණ රහිත ව ඔද වැඩී ගොස් සුපහන් ව ධර්මාවබෝධයට යෝග්‍ය වන සේ සකස් ව දම් දෙසුම චතුරාර්ය සත්‍යයට නංවා කුළුගන්වමින් අවසන් කරන අලුයම වන විට සිය දහස් ගණන් ශ්‍රාවකයන් මගඵල නිවණින් සැනසුණු බැවින් සර්වරාත්‍රික දේශනා ක්‍රමය වඩාත් ඵලදායී විය.බුද්ධ කාලයෙහි සර්වරාත්‍රික ධර්ම දේශනා පැවැත්වුණු ආකාරයත්, ලක්දිව අනුරපුර යුගයෙහි කාලකාරාම සූත්‍රය, මහා අරියවංස සූත්‍රය, මහා වෙස්සන්තර ජාතකය ආදිය මාතෘකා කොට කාල බුද්ධරක්ඛිත, දීඝභාණක අභය, මහා ජාතක භාණක ආදී මහ තෙරුන් වහන්සේලා සිය දහස් ගණනින් සර්වරාත්‍රික ධර්ම දේශනා පැවැත් වූ ආකාරයත් පිළිබඳ ව ධම්මපදට්ඨකතා, මනෝරථපූරණී වැනි අටුවාවලිනුත්, රසවාහිනී වැනි සංග්‍රහ ග්‍රන්ථවලිනුත් සාක්ෂි ලැබේ.

විශේෂයෙන් ම කාල බුද්ධරක්ඛිත මහ රහතන් වහන්සේ කළුවර පොහෝ දවසක කළු දිය පොකුණේ කළු තිඹිරි ගසක් මුල කළුගල් අසුනක වැඩහිඳ කාලකාරාම සූත්‍රයෙන් තුන්යම් රැයක් මුළුල්ලේ බුදුගුණ දෙසූ බවත්, ලංකාධිපති සද්ධාතිස්ස මහ රජතුමා සිටි පියවරින් ම රැය පහන් වන තුරු එම දෙසුම ශ්‍රවණය කළ බවත්, දෙසුම් කෙළවර ලංකා රාජ්‍යය ධර්ම පූජාවක් වශයෙන් පූජා කළ බවත් ශාසන ඉතිහාසයෙහි එන ප්‍රකට වෘත්තාන්තයකි. පසුගිය ශත වර්ෂයේ මධ්‍ය භාගය දක්වා පැවති ආසන තුනේ, හතරේ, හතේ ආදී ධර්ම දේශනා සම්ප්‍රදාය ද සර්වරාත්‍රික දේශනා ක්‍රමයක් වූ වග සිහි කළ මනා ය.

එම පෞරාණික ශාසනික සම්ප්‍රදාය ලංකාද්වීපයෙහි යළිදු ඉස්මතු වීම සැබවින් ම භාග්‍යවතුන් වහන්සේගේ ම අධිෂ්ඨාන තේජසින් බුද්ධානුභාවයෙන් සිදු වූවක් වශයෙන් හැඳින්වීම වඩාත් උචිත ය.

මාතර සිරි ඥානාරාම, කඩවැද්දුව සිරි ජිනවංස, නාඋයනේ අරියධම්ම යනාදී ශාසනභාරධාරී ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේලා විසින් බුදු සසුනට පුනර්ජීවනය ලබා දෙමින් ප්‍රතිපත්ති ශාසනය බැබළවීම පිණිස අරඹා පවත්වාගෙන පැමිණි ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා නම් වූ අත්‍යුදාර ප්‍රතිපත්ති සංවිධානය තුළින් බිහි වූ ව්‍යක්ත, විශාරද බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වන බෙලිහුල්ඔය සීල සමාහිත යෝගාශ්‍රමවාසී ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, අභිධර්ම කථිකාචාර්ය බලංගොඩ රාධ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පවත්වනු ලබන සර්වරාත්‍රීක දේශනාවන් සැලකිය හැක්කේ සම්බුද්ධ ශාසනයේ ආශ්චර්යයත් දේශනා ප්‍රාතිහාර්යයත් වශයෙනි. තුන්යම් රැය මුළුල්ලේ එක ම අසුනේ වැඩ හිඳිමින් ශ්‍රී සද්ධර්මය වදාරණ සේක්.

2019 දෙසැම්බර් මස 28 වන දින සන්ධ්‍යා භාගයෙහි අනුරාධපුර අසදෘශ ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස පූජනීය රාධ ස්වාමීන් වහන්සේ විසින් පැවැත්වීමට නියමිත බුදුගුණ දේශනාව ඓතිහාසික බුදුගුණ දෙසුම යි. ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා සම්බුද්ධාධිශ්ඨාන බලයෙන් ජීවමාන බුද්ධ විලාසය මවාගෙන එදා කුසිනාරා නුවර උපවර්තන සාල වනෝද්‍යානයෙහි යමා සල් රුක් අතර වැඩ හිඳ දස දහසක් ලෝ දා එකලු කළ මහා ගිනි කඳක් නිවී යන්නාක් සෙයින්, අප සර්වඥ රාජෝත්තමයන් වහන්සේ පිරිනිවන් වැඩි අයුරින් ධාතු ගර්භ මධ්‍යයෙහි සැතපී වැඩ හිඳිනා රුවන්මැලි මහා සෑය කෝටි ලක්ෂයක් සක්වළට මහා සෑ රජාණෝ ය. දස සහ ශ්‍රී ලෝක ධාතුවෙහි අනන්ත බුද්ධලෝකයෙන් විරාජමාන වූ මහා සෘෂි ශාක්‍යමුනීන්ද්‍රවර අප බුදුරජාණන් වහන්සේගේ අපරිමාණ බුද්ධ සෘද්ධියෙන් ඉදි වූ සෑ රජාණෝ ය. කර්මාධිශ්ඨායක ඉන්ද්‍රගුප්ත මහා ක්ෂීණාශ්‍රවයන් වහන්සේ ප්‍රධාන කෝටි සිය ගණන් මහ රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලය කැටිව, අනන්ත අරහන්ත සෘද්ධියෙන් ඉදි වූ සෑ රජාණෝ ය. ශක්‍ර බ්‍රහ්මාදී අසංඛ්‍ය ගණන් දෙව් බඹුන්ගේ දේව සෘද්ධියෙන් ඉදි වූ සෑ රජාණෝ ය. අප බුදු සසුනේ සැරියුත් මහ රහතන් වහන්සේට මෙන් අනාගත මෙත් බුදු සසුනේ මහා නුවණින් අග්‍ර ව, අගසව් පදවි ලබන ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරූ පාරමී ඇති දුටුගැමුණු නරශ්‍රෙෂ්ඨයන්ගේ අසීමිත පුණ්‍ය බලය කැටි වී රාජ සෘද්ධියෙන් ඉදි වූ සෑ රජාණෝ ය. ඒ මේ සකල ලෝකයට මුදුන්මල්කඩ වූ ජීවමාන මහා මුනි රජුන් බඳු ස්වර්ණමාලී ථූපරාජයන් වහන්සේ අබියස සිදුවන මෙම දෙසුම සැබවින් ම භාග්‍යවතුන් වහන්සේ දිවමන් කලෙක මෙන් උන්වහන්සේගේ සිරි මුව මඩල බල බලා කෙරෙන ස්තූති පූජාවක් බඳු වනු ඇත.

සම්මා දිට්ඨි ජාත්‍යන්තර සංවිධානය මඟින් සංවිධානය කෙරෙන මෙම අසිරිමත් පුණ්‍ය මංගල්‍යයට පෙර දින සන්ධ්‍යාවෙහි, එනම් 27 වන සිකුරාදා මහ සෑ රදුන්ගේ සළපතල මළුව ස්වභාවික ව සකසාගත් සුවඳ විලවුන් පැනින් දෝවනය කෙරෙන අතර, 28 දින අලුයම් කාලයෙහි සෑ රදුන් වහන්සේට පළඳවන මල් කඤ්චුකය සැකසීම ආරම්භ වනු ඇත.

එදින දිවා භාගයෙහි සිට බුදුගුණ සටහන් කොට විසිතුරු කරන ලද කඤ්චුක සෑ රජුන්ට පළඳවා සවස 4.30 ට ශතාධික සංඝරත්නය සෑ මළුවට වැඩමවූ පසු පඤ්චතූර්ය සහ සංඛනාද පූජා මධ්‍යයේ මේ මහ භද්‍ර කල්පයෙහි ලොව පහළ ව දහස් ගණන් රහතුන් පිරිවරා ස්වර්ණමාලි මහා ස්ථූප භූමියට වැඩමවා සමාපත්ති සුවයෙන් වැඩ හිඳ දහම් අමා වැසි වස්වා මේ ශුද්ධ භූමිය බුද්ධ භූමියක් බවට පත් කළ සිවු බුදුවරයන් වහන්සේලා සිහිගන්වමින්, මහ සෑ රදුන්ගේ සිවු දෙස තැන්පත් කෙරෙන ප්‍රතිමා වහන්සේලා අබියස සුගත චීවර අෂ්ට පරිෂ්කාර, විජිනිපත්, වල්විදුනා සහිත අෂ්ටපාන ගිලන්පස පූජාව තැන්පත් කෙරේ. පරිවාර ස්තූප සහිත ව මහා සෑයේ සතර වාසල හාත්පස මාර්ග විදුලි බුබුළු ලක්ෂ ගණනකින් ආලෝකවත් වේ. එසේ ආලෝකවත් කෙරෙන මහා ආලෝක පූජාවෙන් සමන්විත මෙම ආශ්චර්යවත් බුද්ධ පූජාව මෙහෙයවනු ලබන්නේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංස මා හිමිපාණන් වහන්සේ විසිනි.

28 වන දා සවස 6 ට ඓතිහාසික බුදුගුණ දේශනාවෙහි ආරම්භය සනිටුහන් වන අතර, එය උදෑසන 6 දක්වා ම අතරක් නෑර සිදු වනු ඇත. දේශනාව නිමා වූ පසු ස්වර්ණමාලි සෑ මළුවේ දී සිවු බුදුරජාණන් වහන්සේලාට ද, විජය ශ්‍රී බෝධි රාජයාණන් වහන්සේ ප්‍රමුඛ අටමස්ථානයට ද දක්ෂිණෝදක පූජාව, කැවිලි, පලතුරු සහිත ක්ෂීරපායාස පූජාව පවත්වා වැඩමවා වදාළ ද්විශතාධික සංඝරත්නය උදෙසා මහා සංඝගත දක්ෂිණාව පැවැත්වීමෙන් පින්කමේ සමාප්තිය සනිටුහන් වේ.

පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පිරිස වෙනුවෙන් ජලය, ගිලන්පස, සැහැල්ලු ආහාර දන්සැල් සහ සනීපාරක්ෂක පහසුකම් ද සලසා ඇති වග ද සිහිපත් කළ යුතු වේ.

මහා කල්ප අසංඛ්‍ය ගණන් බුද්ධ ශූන්‍ය ව පවත්නා මේ ලෝක ධාතුවෙහි කාලාන්තරයකට පසු බුද්ධ නම් වූ ශ්‍රී නාමය රැවු දෙන සම්මා සම්බුදු කෙනෙකුන් පහළ වන කල්පයක් උදා වීම පරම දුර්ලභ ය. බුදුවරුන් පස් නමකගෙන් ම සුන්දර වන මහා භද්‍ර කල්පයක් උදාවීම දිඹුල් රුකක මල් පිපෙන්නාක් මෙන් ඊටත් වඩා දුර්ලභ ය. එබඳු භද්‍ර කල්පයක බුදු සසුනක් බබළන සමයක සංසාරයේ සියලු අනතුරුවලින් අතමිදී අඳ, ගොළු, බිහිරි, උම්මත්තක, මන්ද බුද්ධික ආදී වශයෙන් අභව්‍ය නොවූ ධර්මයේ හැසිරිය හැකි වාසනාවන්ත මිනිස් දිවියක් ලැබ, බුදු සසුන සම්මුඛ වීම එයටත් වඩා දුර්ලභ ය. ජීවමාන ශාස්තෘන් වහන්සේ බඳු මහා සෑය ඉදිරියේ තුන්යමක් පුරා බුදුගුණ ම අසන්නට ලැබීම සියල්ලෙන් ම පරම දුර්ලභ ය. මේ සියලු දුර්ලභ කරුණු එකට යෙදී ඇති මේ පින්බර නිමේෂය කිසිවෙකුට මග නොහැරේවා. මේ දුර්ලභ ක්ෂණය කිසිවෙකුට හිස් ව නොගැනේවා. වැස්සෙන්, පින්නෙන්, කායික රෝගයකින්වත් පීඩාවක් නො මැතිව සියල්ලෝ සුවසේ ම බුදුගුණ අසත්වා. උතුම් බුද්ධානුභාවයෙන් ලක්දිවටත්, සකල විශ්ව ධාතුවටත් සෙතක්, ශාන්තියක්, යහපතක් සැනසිල්ලක් ම වේවා. සියලු සත්ත්වයෝ බුදුගුණ අමා වැස්සෙන් තෙමී සිහිල් වෙත්වා. බුදුගුණ අමා මිහිරෙන් නිවී පහන් වෙත්වා. මේ බුද්ධාභිවන්දනා මහා පුණ්‍ය මංගල්‍යය අප භාග්‍යවතුන් වහන්සේගේ සුපිපි රත් පියුම් යුවළක් බඳු රන් සිරිපා පියුම් අබියස පා දූවිල්ලක් ම වේවා. පූජාවක් ම වේවා. බුද්ධාභිවන්දනාවක් ම වේවා.