Print this Article


කඨින චීවර දානය

කඨින චීවර දානය

කඨින චීවර දානය යනු විශේෂ චීවර දානයෙකි. එය පෙර වස් වසා පවාරණය කදළ භික්ෂූන්ට වර්ෂයකට එක් වරක් පමණක් දිය හැකි දානයෙකි.

වප් මස අව පෑළවිය දිනයේ පටන් ඉල් මස පුර පසළොස්වක දිනය දක්වා ඇති මසක් වූ කාලය කඨිනය දිය හැකි කාලය ය. ඒ කාලයට චීවර මාසය යි ද කියනු ලැබේ.

කඨින චීවරය ලැබීම නිසා පස් මසක් ගත වන තුරු භික්ෂූන් වහන්සේලාට විනය ප්‍රතිපත්ති පසක් පිළිබඳ ව විශේෂ පහසුකම් ඇතිවන බැවින් ඒ චීවරය භික්ෂූන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් චීවරයකි. අන් සිවුරු දහසක් ලැබීමෙනුදු භික්ෂූන් වහන්සේට ඒ පහසුකම්වලින් එකකුදු නො ලැබේ. එබැවින් කඨිනය දෙන දායකයන්ට ද අන් සිවුරු පිදීමෙන් ලැබෙන කුසලයට වඩා අනුසස් ඇති කුසලයක් ලැබේ. එය එක්තරා ගරු පුණ්‍යකර්මයකි.

කඨින දිය යුත්තේ මෙසේ ය.

ඇසළ මස අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹ වප් මස පුර පසළොස්වක පොහෝ දිනයෙහි පවාරණය කළා වූ භික්ෂූන් වහන්සේලා ඇති ස්ථානයකට චීවර මාසය තුළ දී තුන් සිවුරෙන් එක් සිවුරකට ප්‍රමාණය වන අලුත් වස්ත්‍රයක් සිවුරු කිරීමට වුවමනා ඉදිකටු නූල් පඬු ආදී උපකරණත් සමග සිවුරු කරන භික්ෂූන්ට ආහාර පානාදියත් ගෙන ගොස් ඉතා උදෑසන එය සංඝයාට පූජා කළ යුතු ය. උදෑසන ම පූජා කළ යුත්තේ ඒ වස්ත්‍රයෙන් එදින ම සිවුරක් කර ගත යුතු බැවිනි. කපා මසා ප¾ඩු පොවා අවසන් කළ සිවුරක් ද කඨින චීවරය වශයෙන් පිදිය හැකිය. වැඩ නිම වූ සිවුරකින් කඨිනය පුද කරත හොත් කවර වේලාවක වූව ද පූජා කළාට වරදක් නැත. පරිවාර පරිෂ්කාරයන්ගෙන් යුක්ත කිරීමෙන් කඨින දානය කැමති පමණට මහා දානයක් කර ගත හැකි ය. කලාතුරකින් කරන්නට ලැබෙන මේ පින්කම හැකි තාක් මහත් කොට කිරීම බෞද්ධයන්ගේ සිරිත ය. කඨින චීවරයට පරිවාර පරිෂ්කාර වශයෙන් තවත් සිවුරු ද, ආහාර පාන හා බෙහෙත් වර්ග ද, ඇඳ පුටු මේස ආදි දැව භාණ්ඩ ද, ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට ද, පිඟන් කෝප්ප සැලි ආදි මැටි බඳුන් ද, කුඩා සැළි, කළ, කල්දේරම් ආදී තඹ පිත්තල බඩු ද, කැති පොරෝ, මන්නා පිහියා, උදලු ආදී යකඩ බඩු ද, ඉදල් මුසුන් වට්ටි පෙට්ටි පෙරහන්කඩ ආදිය ද විහාරස්ථානවලට හා භික්ෂූන් වහන්සේලාට ප්‍රයෝජනවත් තවත් නොයෙක් දේ ද එක්කොට පිදිය හැකි ය. එක් අයෙකු පිදූ කඨින වස්ත්‍රය කපා මසා පඬු පොවා කඨිනස්ථාර විනය කර්මය කරන්නට මත්තෙන් අනෙකෙක් තවත් බොහෝ පරිවාර වස්ත්‍රාදිය සමඟ කඨින වස්ත්‍රයක් ගෙන ආව හොත් සංඝයා විසින් එය ද පිළිගත යුතු බව

“සචේ තස්මිං අනත්ථතෙ එව අඤ්ඤො කඨින සාටකං ආහරති. අඤ්ඤානි ච බහූනි කඨිනානිසංස වත්ථානි දෙති. යො ආනිසංසං බහුං දෙති. තස්ස සන්තකෙන අත්ථරිතබ්බං ඉතරො තථා තථා ඔවදිත්වා සඤ්ඤාපෙතබ්බො” යනුවෙන් විනයෙහි දක්වා තිබේ.