Print this Article


ඒහි පස්සික 37: නිසි අවබෝධය වේදනා දුරු කරයි

නිසි අවබෝධය වේදනා දුරු කරයි


ආයාසයෙන් උත්සාහයෙන් ක්‍රියා කරන අවස්ථාවල දී ඇතැම් විට විවිධ අපහසු තත්ත්වයන් දැනෙන්නට පටන් ගනියි. ඇතැම් විට රිදුම් එයි. එවිට අපහසුතා දැනෙයි.

අපට අරමුණකට ක්‍රියා කළ නොහැකි වන්නේ ඇයි. අරමුණකට ක්‍රියා කිරීමට යාමේ දී කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී බලවේග ඒවා ආපස්සට අදිනු ලැබේ. යම් කෙනකුට හිමිදිරි හතරට පිබිදී ක්‍රියාකිරීමට සිදුවේ. එවිට එම තැනැත්තා තම ක්‍රියාකාරීත්වය දෙස ධර්මයෙන් බැලිය යුතු වේ. හිමිදිරි හතරට පිබිදෙන්නට වීම ඉතා අපහසුයි. පළමුවනදා එසේ පිබිදි විට තීව්‍ර, කටුක, මාරාන්තික වේදනා ඇතිවීමට පටන් ගනියි.

වෙනදා උදෑසන හය දක්වා නිදා සිටි අයෙකු අද සිට හිමිදිරි හතරට පිබිදීමට තීරණය කිරීම නිසා ඉහත කී තීව්‍ර, කටුක මාරාන්තික වේදනා ඇතිවේ. එබඳු වෙලාවට තම සිත බලකරනුයේ නැවත නිදා ගැනීමට ය. බැරිම වූ විට නැවත නින්දට යොමු වේ. එහි ප්‍රතිඵලය වනුයේ වෙනදා පෙරවරු හයට පිබිදුණු තැනැත්තා එදිනට පිබිදෙනුයේ හතට පමණ ය. යම් කිසිවකු විසින් එම තත්ත්වය නිවැරැදි ව දැක ගැනීම නිවැරැදි දැක්ම යනුවෙන් පැහැදිලි කරනු ලැබේ. එම අසනීපය සුවපත් කළ යුතු බව තමාට වැටහෙනු ඇත. එම නිවැරැදි දැක්ම නම්, එම රෝගී තත්ත්වය සුවපත් කළ යුතු රෝගයක් යැයි වටහා ගැනීමෙන් පිබිදී, ඇවිද ඇවිද නැතහොත් මුහුණට දිය වත්කර ගනිමින් හෝ කෙසේ හෝ නිදි බර ගතිය දරා සිටිනු ලැබේ. ඉහත සඳහන් කළ සියලු වේදනාවන් දරා සිටිනු ලැබේ. එසේ දරා සිටීම මගින් දෙවන දිනයේ දී නියමිත පරිදි හිමිදිරි හතරට ම පිබිදෙයි. එවිට අර පළමු දවසේ පැවැති සියලු වේදනා තරමක් අඩුව දැනෙනවා දැන ගනී. එමෙන්ම තේරුම් ගනියි. අනතුරුව තෙවන දිනයේ දී ද එය දැනෙන්නට පටන් ගනියි.

අනතුරුව සිව්වනදිනයේ ද පෙර සේ හිමිදිරි හතරට පිබිදෙයි. එහෙත් බලා සිටිය දී ම පෙර පැවැති වේදනා ස්වභාවය කෙමෙන් අඩු වී යන බව තමන්ට වැටහීමට පටන් ගනු ලැෙබේ. එසේ නම් අපහසුවෙන් වුව ද, යහපත් ඕනෑම කරුණක් සඳහා මෙම ශරීරය පුහුණු කිරීමේ හැකියාවන් පවතී. මෙසේ ක්‍රමානුකූලව දින දහයක් පමණ හිමිදිරි හතරට පිබිදි විට සිදුවනුයේ කුමක්ද? පිපි මලක් මෙන් හිමිදිරියේ පිබිදෙයි.

පළමු වනදා ම කල්පනා කළ යුත්තේ තම අරමුණට යාම සඳහා අනෙකුත් ක්‍රියා සපුරා ගන්නා ලදී. එහෙත් තම අරමුණ වෙත යාමට නම් තම සිතත් නිරන්තරයෙන් සකසා ගත යුතු යි. හිමිදිරියේ පිබිදි පළමුවන දා වෙනදා නැති වේදනා ඇති වුව ද, තමා එය දරා ගත යුතු යැයි කල්පනා කරනුයේ ඉදිරි දින කිහිපය තුළ දී තමාට එම වේදනාවෙන් නිදහස් විය හැකි බවයි.

සමහරු එම අවස්ථාව තේරුම් නොගනී. ඇතැම් විට ඒ නිසාම දිනක් හෝ දෙකක් පිබිදී වේදනාවට පත්ව අනෙකුත් දිනවල උත්සාහයකවත් නොයෙදී තම අදහස පවා අත්හැර දමනු ලැබේ. සමහර විට යම් අයෙකු දින දෙකක් පුරු දු වී නැවත දින තුනක් නිදියනු ලැබේ. නැවත නැවතත් ඒ ක්‍රියාම සිදු කරනු ලැබේ. එසේ වූ විට අර පුරුදුතාවය ඇති නොවනවා පමණක් නොව සෑම දාම දුක් විඳින්නට සිදු වේ. ඇබ්බැහිවීමකින් ඉවත්වන අය ඉතා ආයාසයෙන් දුක දරා ගත යුතු යි. දින දහයකින් පමණ අපට ඉන් නිදහස් විය හැකි ය.

රාත්‍රී අටට නින්දට ඇබ්බැහි වූවෙකු දින කීපයක් පෙරවරු හතරට පිබිදිලා, නැතිනම් පළමු , දෙවන හා තෙවන දිනවල පිබිදී සිව්වන හා පස්වන දිනයන්හිදී උදෑසන අට දක්වා නිදා ගන්නවා යැයි සිතමු. එකම වේලාවකට ම පිබිදුනා යැයි සිතමු. එක දිගට හිමිදිරියේ පිබිදුණු තැනැත්තා දින දහයක් පහළොවක් පමණ ගතව යන විට කිසිදු ගැටලුවකින් තොරව නින්දෙන් පිබිදීමට පුරුදු වෙයි. ඒ තැනැත්තා දුක් විඳිනු ලැබුයේ දින දහයක් හෝ පහළොවක් පමණි. තවත් අයෙකු නොකඩවා දින සියයක් එක දිගට පිබිදීමට සිතා සිටිය ද, දින හතළිහක් පමණ නම් ඒ සඳහා වැය කරන ලද්දේ දින හැටක් නින්දට වැය කර ඇති අතර අනෙකුත් දින හතළිහ පුරා ද නොකඩවා දුක් විඳ ඇති බව පෙනේ. එහෙත් ඒ දින හතළිහ එක දිගට ඒ සඳහා පුරුදු කළා නම් දින පහළොවකින් අදාළ ගැටලුව නිම වෙයි. ජීවිතය ගැන තේරුම් ගත යුත්තේ ඒ ආකාරයෙනි. අප අරමුණු ඇති කර ගත් පසු අපගේ කය,අපගේ හිත ඒ අරමුණට යා හැකි ආකාරයට සකස් කර ගත යුතු ය.

තමා ආහාර ගැනීම අඩුකර තමාගේ ලෙඩ රෝග අඩුකර ගන්නවා මෙන්ම තම සිත ද සකස් කර ගත යුතු වේ. එසේ කළ විට තීව්‍ර වේදනා දුරු වී යයි.

සීලය ආරක්ෂා කරන්නට යාමේ දී ද දරා ගත නොහැකි වේදනා ඇති වේ. විහාරයේ සිල් දිනයට ගිය ඇතැම් උපාසක මාතාවක් සමහර දිනකට ඉදිරි පස දෙදෙනෙකු කතාකර ඉන්නා බව වැටහීමෙන් තමාට ද ඉවසා දරා ගත නොහැකි වේ. ඊට හේතුව අනෙකුත් දෙදෙනාගේ කතාවට තමාට සහභාගිවීමට නොහැකිවීම නිසා තීව්‍ර වේදනා ඇති වේ. තමාට ඇතිවන වේදනාව නැතිකර ගැනීම සඳහා කතා බහෙහි යෙදී සිටින දෙදෙනා වෙත යොමු වනු ලැබේ. යමක් අසා දැන ගන්නා තෙක් ඉවසීමත් නැතිව යයි. යමක්, යමෙක් නොදැක සිටිය නොහැකි වන්නේ වේදනාව දරා ගත නොහැකි නිසයි. ඒ හැම වේදනාවක් ම පුරුදු පුහුණු කිරීමෙන් අතහැර ගත හැකි වේ. ඇබ්බැහිවීම යනු එයයි. මත් වතුරට යොමු වූ තැනැත්තාට ඊට යොමු නොවී සිටිය නොහැකියි. ඊට පුරුදු වුණා සේ ක්‍රමානුකූලව දැන එය පුරුදු වුණා සේ පුරුද්ද අයින් කළ හැකි ය යනු දැන ගැනීමෙන් හෙවත් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව දැනගත යුතුව ඇත.