Print this Article


විදර්ශනාවට හේතුවන සමාධිය

විදර්ශනාවට හේතුවන සමාධිය

සම්මා සමාධිය කියන්නේ යහපත් කුසලාරම්මණයක හිත එකඟකර ගැනීම යි. ඒ වෙලාවට සිතේ ලෝභාදි අරමුණු බලපවත්වන්නේ නැහැ. ක්‍රෝධය, තරහව ඇතිවන්නේ නැහැ. කෙලෙස් යටපත් කරලයි තිබෙන්නේ.

“තත්ථ කතමා සම්මා සමාධි ඉධ භික්ඛු විවච්චේව කාමෙහි විවච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති. දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරති, තතියජ්ඣානං උපසම්පජ්ජ විහරති, චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහාරති අයං වුච්චති සම්මා සමාධි”

සැදැහැබර පින්වතුනි , මාගේ ශාන්තිනායක ලොවුතුරා බුදුපියාණන් වහන්සේ ඉහත දැක්වූ උතුම් සූත්‍ර පාඨය ඇසුරෙන් සම්මා සමාධිය කවරේදැ’යි දේශනාකොට වදාළහ.

සම්මා සමාධිය යනු කුමක්ද? භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක් පිරිසගේ යම් අයකු කාම සම්පත්තියෙන් මිදී අකුසල්වලින් ඉවත්වී විතක්ක, විචාර සහිත වූ විවේකයෙන් උපන් පී‍්‍රතියෙන් සහ සුඛයෙන් යුතු ප්‍රථමජ්ඣානයට සමවැදිී වාසය කරයි ද, එසේ ම පිළිවෙළින් දුතිය, තෘතීය , චතුර්ථජ්ඣාන යන ලෞකික ධ්‍යානයන්ට පැමිණ වාසය කරනව ද අන්න ඒ තත්ත්වයට සම්මා සමාධිය යැයි කියනවා.

සමාධිය, සමාධිය යැයි අප නිතර නිතර කියනව, සමහරවිට අපට ඇහෙනවා අනුරාධපුරේ සමාධි ප්‍රතිමා වහන්සේ ගැන එහෙම කථාකරනවා. සමාධි ප්‍රතිමා වහන්සේ කියන්නේ සමාධි ගත ඉරියව්වෙන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ආකාරය නිරූපණය වන නිසා.

සම්මා සමාධිය යනු කුමක් ද? සම්මා සමාධි කියන නිසා අපට පේනවා මේ ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ සඳහන්වන සමාධිය අනෙක් සමාධිවලින් වෙනස්වනවා කියල. අනිකුත් සමාධි වෙනස්. අපට ජීවිතයේ ඒ ඒ කටයුතු හරියට කරන්නට යම් සමාධියක් ඕන. සිතේ තැන්පත්කම, එක අරමුණක සිත පවත්වා ගැනීමට හැකිවීම සමාධියයි. යම් සතෙකුට කැටපෝලයකින් විදින්නට සූදානම් වන කෙනාටත් සමාධියක් ඕන. ඉලක්කයකට බලා වෙඩිල්ලක් තබන්නට සමාධියක් ඕන. ඒ සමාධිය කොහොමද සම්මා සමාධියක් වන්නේ. ඒවා එකක්වත් සම්මා සමාධිය නොවේ. ඒවා සමාධිය කියා කියනවා නම් ඒක මිථ්‍යා සමාධියක් කියන්න ඕන. සතර අපායට මගපාදන සමාධියක් ඒක.

ඊළඟට අපට නොයෙක්විට අසන්නට ලැබෙනවා සිත සමාධි කරගන්නා ක්‍රම, ඇතැම් අය මත්වන මත්කුඩු බී සිත එකඟ කරගන්නවා. එම එකම සමාධියක්වත් දුක නැති කරගැනීමට හේතුවන්නේ නැහැ. ජාති, ජරා, ව්‍යාධි ,සෝක දුක්, දොම්නස්, හැඬීම්, වැළපීම් මරණාදී විවිධ දුක් නැතිකරන්නේ කොහොම ද? ඒ සමාධිවලින් විරාගයක් , තණ්හාවෙන් ඈත්වීමක් වනවා ද? නැත. ඇතැම් අය සමාධිය ඇතිකර ගැනීමට සිත අරමුණක පිහිටුවනවා. නමුත් ටික වේලාවකින් එම පර්යංකයේ ම නිදි ස්වභාවයට පත්වනවා. නමුත් ඒ තැනැත්තාගේ සිත ථීනමිද්ධ නීවරණයට අසුවී ඇති බව නොදනී.

මාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සමාධිය සියලු දුක් නැතිකර දමන අමා මහ නිවන් සුව සඳහා හේතුවනවා. උන්වහන්සේ සමාධිය හැඳින්වූයේ අවසාන පරමාර්ථය නමිනි. එය නිෂ්ඨාවට කෙළවර නොවෙයි. ඒනිසා ආළාර කාලාම, උද්දකරාම පුත්ත කියන තවුසන් අත්හැර ගියේ ඒ අය ඒක ඉහළම දිනු විමුක්තිය හැටියට හිතාගෙන සිටියා. කොහොමද එය විමුක්තිය වන්නේ. එසේ අවසාන ඵලය බ්‍රහ්ම ලෝකය. බ්‍රහ්ම ලෝකයේ මහා බ්‍රහ්ම රාජයා බවට පත්වෙලා වාසය කළත්. එම බ්‍රහ්ම සන්තානයක තෘෂ්ණාව අනුෂය වශයෙන් විෂබීජයක් ලෙස බලපවත්වනවා නම් අළුයට තිබෙන ගිනි පුපුරක් කුමන අවස්ථාවක මුත් මතුවී මහා ගින්නක් බවට පත්වෙනවා. උපමාවක් වශයෙන් උබ්බරී කියන රාජ දේවිය ධ්‍යාන වඩා බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. නමුත් තෘෂ්ණා අනුෂය මතුවීම නිසා තිරිසන් යෝනියක උපදින්නට සිදුවුණ බව ඒ කථා ප්‍රවෘත්තියෙහි සඳහන් වෙනවා.

ඉපදීම දුකක්. එහෙමනම් සම්මා සම්බුදු පදවියට පවා පත්වූයේ ඒ ඉපදීම නැතිකරන්නයි. සතර වැදෑරුම් ධ්‍යානයන් එක එකට උපකාරි වෙනවා. උන්වහන්සේ තම දේශනාවෙන් පැහැදිලි කර දෙනවා. සමාධිය හරියට මහණකම නමැති ගහේ සිවිය යි. සිවියෙන් තෘප්තිමත් නොවි අරටුව බලාපොරොත්තුවන නුවණැති තැනැත්තා කොළ හා අතු පොතු, සිවිය, ඵලය අතහැර අරටුව ලබන්නා සේ බුද්ධ ශාසනය නමැති වෘක්ෂ රාජයාගේ අරටුව බලාපොරොත්තු වන තැනැත්තා සීල, සමාධි, ප්‍රඥා ගුණ දහම් දියුණුූ කරගෙන හරියට ලබාගැනීමට නුවණින් යුතුව කටයුතු කළ යුතුයි.

සමාධිය විදර්ශනා ප්‍රඥාව ලැබීමට හේතු වෙනවා. බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පාන්නට ආසන්න අවස්ථාවේදීත් දේශනා කළේ ‘ඉති සීලං, ඉති සමාධි” වශයෙන් “සමාධි පරිභාවිතො පඤ්ඤා මහප්ඵලො හොති” සමාධිය වැඩුවාම ප්‍රඥාවේ දියුණුවට හේතු වනවා. කියල දේශනාකර වදාළා. මේ කරුණ නිසා සමාධියක් අපට අවශ්‍ය යි. එය ඉවත්කර දාන්න බැහැ. එදිනෙදා ජීවිතයේදීත් උදේ සවස බුදුගුණ මෙනෙහි කරන විට අපගේ සිත සමාධි ගතකරගන්නට පුළුවනි. දානයක් දෙනකොටත් එහෙමයි. සීලයක් රකිනකොටත් එහෙමයි. “කුසල චිත්තෙකග්ගතා සමාධි” කුසලයක සිත අරමුණූ කර ගැනීම සමාධිය යි.

සමාධි යන වචනයෙන් විස්තර වන්නේ එක අරමුණක සිත පවත්වා ගැනීම යි. නොයෙක් නොයෙක් අරමුණුවල සිත විසිර නොයා පවත්වා ගැනීම නිසා සිතට සැහැල්ලුවක් උපදිනවා. සිත විසිරීයාම වළක්වාගැනීම සමාධිය යි. මේ සමාධිය පිහිටලා තියෙන්නේ ම සැපය මත යි. සමාධිය ඇතිවිට සිත විසිරී යන්නේ නැහැ. කය සැහැල්ලු වෙනවා. සිතට කයට මහත් සහනයක් දැනෙනවා.

අපට සමාධිය අවශ්‍ය වන්නේ ඇයි? සමාධිය ප්‍රඥාවට පදනම් වන නිසයි. අප සීලයෙන් කයත් , වචනයත් හික්මවා ගන්නවා.’ කාය වාචනං සමොධානං සීලං” කය වචන දෙකේ හික්මීම සීලයයි. හිත හික්මවා ගන්නේ භාවනාවෙන්. සන්සුන් සිතක් ඇතිකරගන්නට සම්මා සමාධිය වඩන්නට ඕන. සම්මා සමාධිය කියන්නේ යහපත් කුසලාරම්මණයක හිත එකඟකර ගැනීම යි. ඒ වෙලාවට සිතේ ලෝභාදි අරමුණු බලපවත්වන්නේ නැහැ. ක්‍රෝධය, තරහව ඇතිවන්නේ නැහැ. කෙලෙස් යටපත් කරලයි තිබෙන්නේ. සිත ප්‍රසන්න වෙනවා. ඒ වෙලාව සිත ගැඹුරටම යොමුකරන්නට පුළුවන් වෙනවා. ඒ තමයි විදර්ශනාව . විදර්ශනාවට සිත පුරුදු කරන යෝගාවචරයා හොඳ පලපුරුදු ගුරුවරයකුගෙන් කමටහන් අරගෙන සීලවන්ත ව භාවනාව දියුණු කරන්නට උත්සාහවත් වන්නට ඕන.

මෙසේ භාවනාව පුරුදු කරනකොට ඒ යෝගාවචරයාගේ සිතේ කාම කල්පනා, කාමයට ඇති කැමැත්ත අඩුවෙලා යනවා. තරහව අඩුවී යනවා. සිතේ , කයේ ඇති කම්මැළි ගතිය නැති වෙනවා. සිතේ පවතින තමන් කරපු පව් පින් ගැන තැවිල්ල නැතිවෙනවා. සැකය ඉවත්වෙලා යනවා. ඒ තත්වයට පැමිණියාම ප්‍රථම ධ්‍යානයට පත්වෙනවා. මේ විදියට පියවරෙන් පියවරට දුතිය, තතිය. චතුත්ථි ආදී එක එක ධ්‍යාන බැගින් ලබනවා. ඉන්පසු ලෝකයේ තිබෙන යථා තත්වය තේරුම් අරගෙන සියලු සංස්කාරයන් පිළිබඳව වෙනස්වීම නම් අනිත්‍යයත්, යමක් අනිත්‍ය නම් එය දුක බවත්, මම ය මාගේය යන සංඥාව අතහැර විදර්ශනාවෙන් ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන සෝවාන් ආදි ආර්ය මාර්ගයට හා ඵලයට පත්ව දුක් කෙළවර කිරීමෙන් ලැබෙන උතුම් අමා මහ නිවනින් සැනසීම ලබා ගන්නවා.

පින්වත් සියලු දෙනාම මෙම දහම් කරුණු සිතට ගෙන කුසල් ශක්තීන් දියුණුකරගෙන මේ ඝෝර කටුක සංසාර ගමනින් අත්මිදී ලබන ශාන්ත නිවනම ප්‍රාර්ථනා කරගන්න.

ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හොතු
මේ පින නිවන් අවබෝධවීම පිණිස ම හේතු වේවා