Print this Article


තෘෂ්ණාව අහිතකරයි දුක් පීඩා ගෙන දෙයි

තෘෂ්ණාව අහිතකරයි දුක් පීඩා ගෙන දෙයි


නත්ථි රාගසමෝ අග්ගි - නත්ථි දෝසසමෝ ගහෝ
නත්ථි මෝහසමං ජාලං - නත්ථි තණ්හා සමා නදී

රාග ගිනි පුළුස්සයි ඔබේ හද. තරහව කරයි විපතක් ම ඔබහට, මෝහය දැලකි.
නොපෙනේ ලොවේ සැබෑ තතු. නිමාවක් නැති ගඟකි නොතිත් තණ්හා.

ධම්ම පදයේ මල වර්ගයේ සඳහන් මෙම ගාථාවෙන් මිනිස් සිතක පහළ විය හැකි අඳුරු ස්වභාවයන් හෙවත් බලවත් ක්ලේෂයන් හි ඇති හානිදායක ස්වභාවය මැනවින් පැහැදිලි කෙරේ. රාගය, ද්වේෂය සහ ලෝකයේ පණ ඇති හා පණ නැති සියලු වස්තූන්හි ගැබ්ව ඇති අනිත්‍යභාවය දකින්නට නොහැකි මෝහය, අකුසල මූලයෝ තිදෙනෙකි.

රාගය නමැති ගින්න සාමාන්‍ය අප දන්නා ගින්නට වඩා බෙහෙවින් ම වෙනස් ය. සාමාන්‍ය ගින්නෙහි දැල්ල, දුම හා පිළිස්සෙන විට අඟුරු ද දැකගත හැකි ය. නමුත් සිතේ හට ගන්නා රාග ගින්නෙහි එවැනි ගිනිදැල්, දුම් හෝ අඟුරු නැත. එනමුත් සිත දැවෙන විට දැනෙන වේදනාව හා එහි ඇති නොඉවසිය හැකි බව මුළු ශරීරයට ම දැනෙනු ඇත. රාගය නමැති ගින්න විසින් බෙහෙවින් ම ජීවිතයක ඇති ‘යහගුණ’ පුළුස්සා විනාශ කර දමනු ඇත. විශේෂයෙන් ම ජීවිතයක පවත්නා සීල ගුණයට හානි කරනු ඇත. ධර්ම සාහිත්‍යයෙහි සඳහන් කරන අයුරින් වනයෙහි බවුන් වඩන තවුසන්ගේ සමාධිය පවා රාගයෙන් විනාශ කොට දමා ඇත. ධ්‍යාන ලබා සෘද්ධි බල ලැබූ තවුසෝ රාගය නිසා එයින් පිරිහී ඇත. යම් අරමුණක් සිතට ගැටුණු විට සිත එම අරමුණ ලෝභයෙන් අල්ලා ගන්නේ නම්, එහි බැඳීම් හෙවත් උපාදානය හට ගනී. මින් අනතුරුව බැඳුණු අරමුණ සමග එකතු වී ඇස, කන, නාසය, දිව, ශරීරය ඔස්සේ රස විඳීමට සිත වෙහෙසෙයි. මෙය කාම තෘෂ්ණාවයි. මෙහි විස්තර කරන ‘රාගය’ බොහෝ විටක පහළ වන්නේ සවිඤ්ඤාණක වස්තූන් මුල් කරගෙන ය.

නිදසුනක් ලෙස පුරුෂයෙකුගේ සිතෙහි කාන්තාවක් කෙරේ ඇති වන රස තෘෂ්ණාව ‘රාගය’ ලෙස මෙහි විස්තර කෙරේ. එමෙන් ම කාන්තාවකගේ සිතෙහි පුරුෂයෙක් පිළිබඳව පහළ වන රස තෘෂ්ණාව ද එවැනි ම සිතිවිල්ලකි. රාගයෙන් දැවෙන විට මව් පදවිය, පිය පදවිය, ස්වාමි දියණියක්, ස්වාමි පුත්‍රයෙක්, සෙහොයුරෙක්, සොහොයුරියක් බව අමතක වෙනවා පමණක් නොව විටෙක තමා මනුෂ්‍යයෙකු බව ද කෙනෙකුට අමතක විය හැකි ය. යම් කෙනෙක් රට සමාජය තුළ ගෞරවයෙන් සැලකෙන අයෙක් වූව ද රාගය පාලනය කරගත නොහැකි වුවහොත් එම පාලනයක් නැති රාගය විසින් ඔහුගේ හෝ ඇයගේ සියලු අනෙකුත් ගුණයන් හා එම ගුණ හා බැඳී පවත්නා සම්මාන, කීර්ති, ප්‍රශංසා ද පුළුස්සා විනාශ කර දමනු ඇත. සාමාන්‍ය ගින්න ද, කිසිදු වෙනසක් නැතිව හසු වෙන සියල්ල ම පුළුස්සා දමන්නාක් මෙන් රාග ගින්නට ද “හොඳ, නරක” කිසිවක් නොදැනේ. තමන්ගේ දියණියන්ට කරදර කරන්නට යම් තැනක පිය කෙනෙකුගේ සිත නැමුනේ එබැවිනි. තම මවටත් වඩා වැඩිහිටි මව් කෙනෙකුට කරදර කරන්නට රාග සිත තරුණයන් පොළඹවන්නේ එබැවිනි. තරහව හෙවත් ව්‍යාපාදය ද මිනිස් සන්තානය අයහපතෙහි ම යොදන්නට සමත් වෙයි. තරහව ඉතා ඉක්මණින් මිනිස් සිත විනිවිද ගොස් සියලු ගුණ මකා දමයි. සමහරුන් මෙසේ කියනු ඔබ අසා ඇත්ද? “ඔබට තරහ ආවාම කිසිවක් පේන්නේ, දැනෙන්නේ නැහැ”

කරුණාව හා මෛත්‍රිය වැනි කුසල අරමුණක් සමග චේතනාවක් පහළ වීමට වඩා වැඩි වේගයකින් ව්‍යාපාදය හෙවත් තරහව සිතට පැමිණේ. දැනෙන්නට පටන් ගනී. තරහව පැමිණි විට යම් මනුෂ්‍යයන් අමනුෂ්‍යයන් මෙන් හැසිරෙනු ඔබ බොහෝ අවස්ථාවන් හි දැක ඇත. සමහරුන් පවසන්නේ “මට යකා ආරූඪ වුණා’ යනුවෙනි. එහි භයානක බව ඔබට දැනෙනු ඇත. යක්ෂයන් ලේ උරා බොනු ඇත. මනුෂ්‍යයන් ද තරහ සිතින් එයට නොදෙවෙනි දෑ කරනු ඇත.

මෝහය හෙවත් ලෝකයෙහි පවත්නා සියල්ල ම අස්ථිර බව නොදැනීම, නොදැකීම හෝ අමතක කිරීම දුකට හා විපතට හේතුවෙකි. ඇතිවීම මෙන් ම නැතිවීම හෙවත් විනාශයට යෑම සෑම වස්තුවක ම ගැබ්ව ඇති මූලිකම සිද්ධාන්තයකි. මෙය අමතක වීමෙන් හෝ අමතක කිරීමෙන් සිදුවන්නේ තමා සතුකර ගත් දේ එහි හැබෑ ස්වභාවය ම අනුව වෙනස් වී යන විට හැඬීමට හා වැළපීමට පත්වීමයි. එමෙන් ම බොහෝ ලෞකික වස්තූන් අල්ලා ගැනීමට හා තමන් සතු කරගැනීමට යාමෙන් දුක් විපත්වලට මුහුණ පෑමයි. අප අපගේ ම ශරීරය කොපමණ නම් සෝදා පිරිසුදු කොට, සරසා, කෑම හා බීම ද දී තබාගන්නට හැදුවත්, එහි සැබෑ පාලනයක් අපට නැති බව ඔබට වැටහෙනු ඇත. ලෙඩදුක් පැමිණෙන විට හා දිරාගෙන යන විට අපි අපගේ ම ශරීරය නිසා අසරණ බවට පත්වෙමු. මේ නිසා සම්මුතිය හෙවත් ලෝක ව්‍යවහාරය අනුව මම හා මගේ යැයි ප්‍රකාශ කළත් පරමාර්ථ ධර්මය හෙවත් ලොව පවත්නා හැබෑම සත්‍ය අනුව මම හා මගේ ම යනු වචනයක් පමණි.

ගලාගෙන යන ගංගාවක් මෙන් තණ්හාවේ ද කෙළවරක් හෝ සීමාවක් දකින්නට නොලැබේ. ධර්මාවබෝධය මගින් ඇති කරගත් සිතෙහි පාලනයක් නොවේ නම් මේ සිතට කොපමණ අරමුණු ලබා දුන්න ද සෑහීමකට පත් නොවේ. ජීවිත ගමනේ ඔබ කොපමණ නම් ඇස, කන, නාසය, දිව හා ශරීරය නම් වූ ඉන්ද්‍රියන්ගෙන් සිත ඉල්ලා කරදර කළ දෑ දී ඇත් ද? ඇසෙන් කොපමණ රූප දී ඇත් ද? එහෙත් තවමත් මට දැන් ඇතැයි සතුටු වී නැත. නිරන්තරයෙන් ම තව තවත් අරමුණු සොයා යමින් හා ගැටෙන අරමුණුවල බැඳෙමින් හා විටෙක අකැමැතියි කියමින් අමනාප ඇති කර ගනිමින් සිත කොපමණ නම් පීඩා විඳින්නේ ද? මේ අතෘප්තිකර තෘෂ්ණාව නිසා බව පැහැදිලි ය. යම් විටෙක මෙම සීමාවක් නැති තෘෂ්ණාවේ අහිතකර හා පීඩාකාරී ප්‍රතිඵල ගැන ඔබම ප්‍රකාශ කරනු ඇත. “මොනව ලැබුවත්, කළත් මගේ සිතට නම් සතුටක් නැහැ”. යම් කෙනෙකුගේ කුස පිරුණත් සිත නම් නොපිරෙනු ඇත. දාන ආදී පාරමී ගුණයන්ගෙන් ම තෘෂ්ණාව තුනී කිරීම හා දුරුකිරීම කළ යුතු ය. මොහොතක් මෙම ධර්ම කරුණු සිතා බලන්නට ආරාධනා කරමි.