Print this Article


මිලින්ද ප්‍රශ්නය 18:  නාගසේන තෙරුන්ගේ විශ්මිත ප්‍රඥාව

නාගසේන තෙරුන්ගේ විශ්මිත ප්‍රඥාව

අගනා, වීමංසනශීීලි කුසලතාවයකින් යුත් මිළිඳු රජතුමා අසන සදහම් පදයන්ට විශ්මිත ප්‍රඥාවකින් හෙබි නාගසේන මහරහතන් වහන්සේ අසිරිමත් ලෙස පිළිතුරු දෙන අයුරුයි මිළිඳු රාජ ප්‍රශ්නයේ සඳහන් වන්නේ.

බුදුගුණ සිහිකිරීම

නාගසේන මහරහතන් වහන්සේ බැහැදුටු මිළිඳු රජු මෙසේ ඇසුවේ ය.

‘ස්වාමීනි නාගසේනයන් වහන්ස, යමෙක් වසර සියයක් අකුසල් කරනවා ද? එහෙත් මරණාසන්න කාලයේ දී එක බුදු ගුණයක් සිහි කරයි නම්, ඔහු දෙවියන් අතර උපදින්නේ ය කියා ප්‍රකාශයක් ඔබ වහන්සේ විසින් කර තිබෙනවා නේද? මෙම කාරණය මම විශ්වාස නො කරමි. ඒ වගේ ම එක් වරක් කළ ප්‍රාණඝාතය හේතුවෙන් නිරයේ උපදින බවටත් ප්‍රකාශ කරනවා නේ ද? ඔය කාරණයත් මම විශ්වාස නො කරමි.”

“මහරජාණෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ? “කුඩා ගලක් පවා නැවක තබන්නේ නැතිව ජලයෙහි පා කළ හැකි ද?”

“නො හැකියි ස්වාමීනි”

“මහරජාණෙනි, කරත්තයක ප්‍රමාණයේ ගල් සියයක් වුණත් නැවක තැබූ විට එය ජලයෙහි පා වෙනවා නේද?

“එසේය ස්වාමීනි”

“මහරජාණෙනි, නෞකාව යම් සේ ද , කුසල කර්මයන් දත යුත්තේ ඒ අයුරිනි.”

“නාගසේනයන් වහන්ස ඉතා දක්ෂ වන සේක”

දුක් ප්‍රහාණයට වෑයම් කිරීම

මිළිඳු රජු නැවත මෙසේ ඇසුවේ ය.

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඔබ වහන්සේ වීරිය වඩන්නේ අතීතයට ගිය දුක් ප්‍රහාණය කිරීමට ද?”

“නැත මහරජාණෙනි”

“ස්වාමීනි නාගසේනයන් වහන්ස. එසේනම් වීරිය වඩන්නේ අනාගතයේ හටගන්නා දුක් ප්‍රහාණය කිරීමට ද?

“නැත මහරජාණෙනි”

“ ස්වාමීනි නාගසේනයන් වහන්ස, එසේනම් වීරිය වඩන්නේ අනාගතයේ හටගන්නා දුක් ප්‍රහාණය කිරීමට ද?

“නැත මහරජාණෙනි”

“කිම? ස්වාමීනි නාගසේනයන් වහන්ස, එසේනම් වීරිය වඩන්නේ වර්තමානයේ හටගන්නා දුක් ප්‍රහාණය කිරීමට ද?

“නැත මහරජාණෙනි”

“ඉදින් ඔබවහන්සේ අතීත දුක ප්‍රහාණයට වෑයම් නො කරත් නම්, අනාගත දුක ප්‍රහාණයට වෑයම් නො කරත් නම්, වර්තමානයේ දුක ප්‍රහාණයට වෑයම් නොකරත් නම්, කවර කරුණක් පිණිස ද වෑයම් කරන්නේ?”

“මහරජාණෙනි, මේ දුක නිරුද්ධ වන්නේ ද, වෙනත් දුකක් නූපදින්නේ ද යන මෙ කරුණ පිණිස වෑයම් නො කරන්නෙමු”

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඔබ වහන්සේට අනාගත දුකක් තියෙනවා ද?”

“නැත මහරජාණෙනි”

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඔබවහන්සේ අතිපණ්ඩිත වන සේක. අනාගතයෙහි නො තිබෙන්නා වූ දුකක් පිණිස නේද මේ වෑයම් කරන්නේ?

“මහරජාණෙනි, ඔබට සතුරු වූ , ප්‍රතිපක්ෂ වූ, පසමිතුරු වූ රජවරු ඉන්නවා නේද? ඔවුන් ඔබ හා යුද්ධයට පැමිණෙනවා නේද?

“එසේය ස්වාමීනි, එබඳු සතුරු රජවරුන් ඉන්නවා”

“කිම? මහරජාණෙනි, ඔවුන් සටනට පැමිණි කල්හි ද දිය අගල කණින්නේ? ප්‍රාකාරය බඳින්නේ? ගෝපුර සකසන්නේ? අට්ටාල කරවන්නේ? ධන ධාන්‍ය රැස් කරවන්නේ?”

“නෑ ස්වාමීනි, වේලාසනින් ම ඒ කටයුතු සූදානම් කරනවා”

“කිම? මහරජාණෙනි, එවිටද හස්තීන් හික්මවන්නේ? අසුන් හික්මවන්නේ? රථ හික්මවන්නේ? දුනු ශිල්පීන් හික්මවන්නේ? පාබල සේනා හික්මවන්නේ?”

“නෑ. ස්වාමීනි, වේලාසනින් ම ඒවා හික්මවලයි තිබෙන්නේ,”

“කුමන කරුණක් පිණිස ද?”

“අනාගතයේ හටගන්නා භය නැති කිරීම පිණිසයි”

”කිම? මහරජාණෙනි, අනාගත භය තිබෙනවා ද?”

“නැත ස්වාමීනි”

“මහරජාණෙනි, ඔබ අතිපණ්ඩිතයි. නො තිබෙන්නා වූ අනාගත භය නැතිකිරීම පිණිස නොව මෙ පමණ සූදානම් ව තියෙන්නේ”

“ස්වාමීනි තවත් උපමාවක් වදාළ මැනව“

“මහරජාණෙනි, යම් කලෙක ඔබට පිපාසය ඇතිවෙනවා. එවිට ජලය පානය කරන්නට ඕනෑයි කියලා. ඒ වෙලාවෙ ද ඔබ ළිඳක් සාරවන්නේ? පොකුණක් සාරවන්නේ? විලක් සාරවන්නේ?”

“නැත ස්වාමීනි. කලින්ම එය පිළියෙල කරවනවා”

“ඒ කුමක් පිණිස ද?”

“ස්වාමීනි, අනාගතයේ පිපාසය නැතිවීම පිණිසයි පිළියෙළ කරන්නේ?”

”මහරජාණෙනි අනාගතයේ පිපාසය කියා දෙයක් තිබෙනවා ද?”

“නෑ ස්වාමීනි.”

“මහරජාණෙනි, ඔබ අතිපණ්ඩිතයි. නො තිබෙන්නා වූ අනාගත පිපාසය නැතිකිරීම පිණිස නෙව, මෙ පමණ සූදානම් ව තිබෙන්නේ?”

“ස්වාමීනි, තවත් උපමාවක් වදාළ මැනැව “

“මහරජාණෙනි, යම් කලක ඔබට බඩගින්නක් ඇතිවෙනවා එතකොට ද ඔබ කුඹුර සී සාන්නේ? වපුරන්නේ?”

“නැත ස්වාමීනි, එය කලින්ම පිළියෙළ කරනවා.”

“ඒ කුමක් පිණිස ද?”

“ස්වාමීනි අනාගත කුසගින්න නැති කිරීම පිණිසයි”

“මහරජාණෙනි. අනාගත කුසගින්න කියා දෙයක් තියෙනවා ද?”

“නැත ස්වාමීනි”

“මහරජාණෙනි, ඔබ අතිපණ්ඩිතයි. නො තිබෙන්නා වූ අනාගත කුසගින්න නැතිකිරීම පිණිස නෙව මෙපමණ සූදානමක් තියෙන්නේ?”

බ්‍රහ්ම ලෝකයට දුර

මිළිඳු රජු මෙසේ ඇසුවේ ය.

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, මේ මිනිස් ලෝකයේ සිට බ්‍රහ්ම ලෝකයට කො පමණ දුර ද?”

“කූටාගාරයක් වැනි සුවිශාල ගලක් බ්‍රහ්ම ලෝකයෙන් වැටුණොත් දිවා රාත්‍රි දෙකේ යොදුන් හතළිස් අට දහසක් පහළට වැටෙද්දී පොළොවට ළං වෙන්නට හාර මාසයක් යාවි”

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඒ වුණාට ඔබවහන්සේලා මෙහෙම කියනවානේ. බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරින්නේ යම් සේ ද? දිග් කළ අතක් හකුලන්නේ යම් සේ ද, ඒ අයුරින් ඍද්ධිමත් චේතෝවශීප්‍රාප්ත භික්ෂුව දඹදිවින් අතුරුදන් ව සැණෙකින් බඹ ලොව පහළ වෙනවා ය කියා. ඔය වචනය මම විශ්වාස නො කරමි. එපමණ අති ශීඝ්‍රව බොහෝ යොදුන් සිය ගණන් එහෙම යන්නට පුළුවන්ද?”

“මහරජාණෙනි, ඔබ උපන් භූමිය තියෙන්නේ කොහේද?

“ස්වාමීනි, ඇලෙක්සැන්ඩ්‍රියාව කියා රටක් තියෙනවා. එහෙ තමයි මං උපන්නේ”.

“මහරජාණෙනි, මෙහෙ සිට ඇලෙක්සැන්ඩ්‍රියාවට කො පමණ දුර ඇද්ද?”

“ස්වාමීනි, යොදුන් දෙසීයක් පමණ ඇති.”

“මහරජාණෙනි, ඔබ ඒ රටේදී කරන ලද යම්කිසි දෙයක් මෙහිදී යළි සිහිකරද්දී එය මැනැවින් දන්නවා නේද?”

“එසේය ස්වාමීනි දනිමි”

“එතකොට මහරජාණෙනි, මෙතරම් ඉක්මනට ඒ දෙසිය යොදුනක් දුර ඇලෙක්සැන්ඩ්‍රියාවට ඔබ ගියා නේද?”

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක.”