Print this Article


භව නාටකය බලා සංවේගී වෙමු

භව නාටකය බලා සංවේගී වෙමු

ලෝක ඉතිහාසයෙහි අතිදීර්ඝ කාලයක් තිස්සේ කරන ලද හා වෙනත් කිසිවෙකු විසින් කළ නොහැකි වූ අතිවිශිෂ්ට පර්යේෂණය කරන ලද්දේ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්ත්වයන් වහන්සේ විසිනි. එය පාලි මූලාශ්‍රයන්හි නම් කොට ඇත්තේ ‘අරිය පරියේසන’ යන නමිනි. භව නාටකය පිළිබඳ සත්‍යය ගවේෂණය එහි මූලික අරමුණ විය.

භවය පිළිබඳ එතෙක් පැවති ඥාන සමුදායන් පිළිබඳ දැනුම පදනම් කොට ගනිමින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් සමීක්ෂණය කොට ගවේශනාත්මක පර්යේෂණයක් කිරීමට උන්වහන්සේට හැකි විය. බුද්ධත්වයට පත්වීමත් සමඟ භවය හා එහි ක්‍රියාකාරිත්වය සිදුවන හා දිග හැරෙන ආකාරය මැනවින් වැටහුණු අවස්ථාවෙහි උන්වහන්සේට ඇතිවූ භාවමය ප්‍රමෝදය උදානයක් වශයෙන් ප්‍රකාශ කළ අයුරු අපි කවුරුත් දනිමු. “නොයෙක් ජාති ඇති සංසාරයෙහි නැවත නැවත දුක ඇති කරන භවය නමැති ගෙය ඉදි කරන වඩුවා සොයා මම ඇවිද්දෙමි. ගෙය ඉදි කරන වඩුවා දුටිමි. ඔහු නැවත එය ඉදි නොකරයි. ඔහුගේ සියලු ආම්පන්න මම සිඳ බිඳ දැම්මෙමි. කැණි මඬල සින්ඳෙමි.” යනුවෙන් එහි දැක්වේ.

සංසාරයේ භවයෙන් භවයට යමින්, එහි විවිධ ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දෙමින් ඒවායේ යථාර්ථය විනිවිද දැකීමට සිදුහත් බෝසතාණන් වහන්සේ අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියා කළහ. සත්ත්වයා ඉපදෙමින් මැරෙමින් ද එම සිදුවීම් දෙක අතර කාලයේ දී විවිධ දුක්ඛ දෝමනස්සයන්ට භාජනය වෙමින් ද අනේකවිධ ජුගුප්සාජනක දේ කරමින් ද සිදු කෙරෙන ක්‍රියාවලිය විද්‍යාත්මක හා දාර්ශනික විශ්ලේෂණයකට භාජනය කිරීමට උන්වහන්සේට හැකි විය. භවය සම්බන්ධ එකී ක්‍රියාවලියේ හේතුව හා ඵලය දක්වන දාර්ශනික විග්‍රහය පටිච්ච සමුප්පාද දේශනාව ලෙස බුදු දහමේ විවරණය කොට ඇත.

බුදුන් වහන්සේට අනුව තමන් දුටු භව නාටකයේ ත්‍රාසජනක පැතිකඩක් මෙන්ම හාස්‍යජනක පැතිකඩක් ද ඇත. අවිද්‍යාව නිසා සාමාන්‍ය මිනිසුන් වන අපට තේරුම් ගත හැක්කේ මෙම භව නාටකයේ ත්‍රාසජනක පැත්ත පමණකි. පුහුදුන් මිනිසා ඉපදීම ප්‍රියකරයි. ලෙඩවීම අප්‍රිය කරයි. හිමි වීම ප්‍රිය කරයි. අහිමිවීම අප්‍රිය කරයි. මරණයට පත් වන බව අමතක කරයි. එක් ආත්මයක රසමසුවුලු මඟ බොජුන් බුදින ඔවුහු ඊළඟ ආත්මවල දී සුනඛ, සූකරාදී සතුන් වී අශූචි අනුභව කරති. එක් ආත්මයෙක මව, දියණිය හෝ නැගණිය වූ තැනැත්තියක වෙනත් අත් භවයෙක බිරිය කොට ගෙන අසද්ධර්මයේ යෙදෙති. එක භවයෙක ඇලුම් කළ මව පියා හෝ සොයුරා වෙනත් භවයෙක විරුද්ධවාදීන් ලෙස සලකා දඬු මුගුරු පිහි කැති ආදියෙන් පහර දී කපා කොටා මරා දමති. මත්ස්‍ය සිවුපා ආදීන් වශයෙන් උපන් කල ඔවුන්ගේ ම මස් ආහාර වශයෙන් ගෙන අනුභව කරති. අවිද්‍යාවෙන් වැසුණු භව කඩතුරාව නිසා කරනු ලබන මෙකී පාප කර්ම හේතුවෙන් නරක, තිරිසන්, ප්‍රේත, අසුරයන් වී විප්‍රකාර වූ ජීවිත පරිහරණය කරති. මෙය භව නාටකයේ ත්‍රාසජනක අත්දැකීම් ය.

මෙම භව නාටකයේ හාස්‍යජනක පැතිකඩකුත් දක්නට ඇත. එය පෙනෙනුයේ රහතන් වහන්සේලාට ය. අවිද්‍යාව නැති නිසා ඇත්ත ඇති සැටියෙන් දැකීමටත්, මෙම විප්‍රකාරරූපී මායාවට අප හසුවී ඇති ආකාරය දැකීමටත් උන්වහන්සේලාට හැකියාවක් පවතී. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍යලෝකවල මෙන්ම අපායවලට ඍද්ධියෙන් වැඩම කොට රූකඩ මෙන් රැඟුම් දක්වන විවිධ ආකාරයේ සත්ත්වයන් සියැසින් දුටුවහ. උන්වහන්සේ විසින් කරන ලද එකී දෙසුම් විමානවස්තු හා ප්‍රේතවස්තු යන බණපොත් දෙකෙහි මැනවින් පෙන්වා දී ඇත. එබඳු අවස්ථා දැක බුදුරජාණන් වහන්සේ ද රහතන් වහන්සේලා ද හසිතුප්පාද සිතක් (මඳ සිනහවක්) පහළ කළ අවස්ථා ගැන සඳහන් වේ. උන්වහන්සේලාගේ මෙම මඳ සිනහව උපහාසයක් , අපහාසයක් වශයෙන් හෝ අකරුණාවෙන් හෝ පහළ කරන ලද්දක් නොවේ. භව නාටකයේ උසස් චරිත වශයෙන් වැජඹුණු සමහර අය ප්‍රේතයන්, භූතයන් වී හැසිරෙන ආකාරය දැක හසිතුප්පාදයක් දැක්වීමෙන් ඉඟි කෙරෙනුයේ මෙම සංසාරයේ පවතින නිස්සාර බව, පහත් බව, පිළිකුල් කටයුතු බව වටහා ගත යුතු බවයි. ඇතැඹුලක් සේ මෙකී තත්ත්වය තේරුම් ගත් බුදුපියාණන් වහන්සේ මේවා අප විසින් ම රැස් කරන ලද සංස්කාරයන්ගේ ප්‍රතිඵල බව පෙන්වා දුන්හ. මේ නිසා සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය විනිවිද දැකීමෙන් සංවේගය උපදවා ගතයුතු බව බුදුදහමේ තම අනුගාමිකයන්ට අවධාරණය කරයි.

මළ ගෙවල්වල බැනර් ආදියෙහි ලියා ඇති “සබ්බෙ සංඛාරා අනිච්චා” (සියලු සංස්කාරයෝ අනිත්‍යයහ.), “සංඛාරා සස්සතා නත්ථි” (සදාකාලිකව පවතින සංස්කාර නැත) යනාදී පාඨයන්ගෙන් කියැවෙන්නේ මෙකී සත්‍යයයි. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකයේ හටගත්, ඇත්ත හැටියට පෙනෙන දේ ඇත්ත වශයෙන්ම සැලකුවහොත් අප විසින් කරන ලද, ගොඩ නගන ලද, සංස්කාරවලින් සකස් කරන ලද දේ බවයි. (ජාතං භූතං සමුප්පන්නං කතං සංඛතමෙව) භව නාටකය සැකසී ඇත්තේ අපගේ ජීවිත කතන්දරය අළලා ය. එය හුදු සංස්කාර ධර්මයන්ගේ චලනයකි. ජීවිත භව ගමනෙහි අසත්‍යතාව, බොරුව, වංචාව, මුළාව, අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මෙයින් වටහා දෙයි. මේ ලෝකය කෘත්‍රිම දෙයක් බවට පත් කරන පඨවි ආදී හැම දෙයක් ම සංස්කාර නම් වේ.

භවය නාටකයක් නම්, එය සංවේගය උපදවා ගත යුතු තරම් ඛේදවාචකයක් නම්, එය අපට නොපෙනෙන්නේ, තේරුම් නොයන්නේ ඇයි? ඒ අන් කිසිවක් නිසා නොව අවිද්‍යාව නිසා ය. අවිද්‍යාව වූකලී අන්ධකාරයකි. අන්ධකාරයේ දී අපට කිසිවක් පැහැදිලිව නො පෙනේ. ආලෝකය උදාවූ විට අන්ධකාරය නැති වේ. රාත්‍රී අන්ධකාරයේ දිදුලන සඳ තරු ආදිය පවා ආලෝකය පැමිණි විට නිෂ්ප්‍රභා වී නොපෙනී යයි. කෙනෙකු තුළ පවතින කෙලෙස් ගනඳුර සමඟ දිදුලන මිථ්‍යාව, මුළාව, අසත්‍යය හා මායාව ඔහු තුළ ප්‍රඥාවේ ආලෝකය උදාවූ කල නිෂ්ප්‍රභ හෝ නිෂ්ක්‍රිය වේ. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ලෝකයේ ආලෝක සතරක් ඇත. ඒවා චන්ද්‍ර ප්‍රභාව, සූර්ය ප්‍රභාව, අග්නි ප්‍රභාව හා ප්‍රඥා ප්‍රභාව යනුවෙන් නම් කොට ඇත. ඒවා අතරින් වඩාත් ප්‍රබල ප්‍රභාව හෙවත් ආලෝකය වන්නේ ප්‍රඥා ආලෝකය බව බුදුන් වහන්සේ වදාළහ. “නත්ථි පඤ්ඤා සමා ආභා” යනුවෙන් වදාළේ ප්‍රඥාව සමාන ආලෝකයක් නැත යන්නයි. විදර්ශනා ප්‍රඥාව නිසා අප තුළ එකී ආලෝකය ලබා ගත හැකි වුවහොත් රූපයක් නැති බව අපට වැටහේ. භව නාටකයේ රූපී ශරීර උසුලමින් රූකඩ මෙන් සැරිසරණ අප මිථ්‍යාවක ගිලී සිටින්නෝ නොවෙමු ද?

විශ්වයේ සිටින සියලු ජීවීන් හා අචේතනික වස්තු සියල්ල සෑදී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙනි. මේවාට මහාභූත යැයි කීමට එක හේතුවක් වන්නේ ඒවා භූතයන් මෙන් විවිධ වේෂයන්ගෙන් පෙනී සිටින නිසා ය. ඇතැම්හු භූතයන්ගෙන් පේන ඇසීමට යන අවස්ථා ඔබ දැක ඇත. කිසිදා භූතයන් පසුපස ගොස් සත්‍යයක් දැනගත හැකි යැයි විශ්වාස නො කරන්න. භූතයෝ වූකලී ගමක නැහැදුණු රස්තියාදුකාර ළමුන් වැනි පිරිසකි. නො දන්නා කෙනෙකු පාරක් තොටක් ඇසූ විට වැරැදි මගක් කියා සතුටු වන ළමයින් ඔබ දැක ඇත. එසේම කටහඬ වෙනස් කොට වෙනත් අයෙකු මෙන් කතා කරමින් තවත් කෙනෙකු රවටා විනෝදාස්වාදය ලබන රස්තියාදුකාර දරුවන් ඔබ දැක ඇත. භූතයෝ ද එබඳු සත්ත්ව විශේෂයකි. ඔවුනට දියුණු මානසිකත්වයක් නැත. මෙම පඤ්චස්කන්ධය සැකසී ඇති පඨවි, ආපෝ, තේජෝ , වායෝ යන සතර මහාභූතයෝ ද එමෙනි. විවිධ වෙසින් පෙනී සිට අප මුළාවට පත් කරති. එබැවින් පෘථග්ජනයන් වශයෙන් පඤ්චස්කන්ධයක් පරිහරණය කරමින් මිනිස් වෙසින් ද, යක්ෂයන් , භූතයන්, පිශාචයන් , තිරශ්චීනයන් ආදී වශයෙන් ද පෙනී සිටිමින් ද විවිධ නොපණත්කම් කරමින් භව නාටකය තුළ රංගනයක යෙදෙමින් සිටිමු. යථාර්ථයක් වශයෙන් බලන කල අසාර වූ දෙය සාර වශයෙන් ගනිමින් මිථ්‍යාවක වෙසෙමු. මෙය සංවේගය උපදවා ගතයුතු කරුණකි.

මෙම ලිපියෙහි ඉතිරි කොටස උඳුවප් අව අටවක පෝදා (දෙසැම්බර් 19 වන දා) පත්‍රයේ පළවේ