Print this Article


තමා සම්මතයෙහි පිහිටීම

තමා සම්මතයෙහි පිහිටීම

" යමෙක් සීලයෙහි, ශ්‍රද්ධාවෙහි හා පරිත්‍යාගයෙහි පිහිටා කටයුතු කරයි ද , එය තමා යහපතෙහි පිහිටීමයි. එය උතුම් චරිත ලක්‍ෂණයකි. එවැනි පුද්ගලයාගේ මෙලොව ජීවිතය යහපත් වීමත් , පරලොව දී සුවපත් දිවියක් ගෙවීමත් නිසැකව ම සිදු වේ."

බුදුන් වහන්සේගේ දේශනාව පුද්ගල සන්තානයෙහි දියුණුව අරමුණු කර ගෙන ඇත. එහිදී යම් පුද්ගලයෙක් ස්වකීය ආධ්‍යාත්මය පාරිශුද්ධත්වයට පමුණුවා ගැනීමට ප්‍රයත්න දරන්නේ නම්, එය සාංසාරික ජීවිතය අවසන් කිරීමටත්, ශෝක දුක්ඛ දෝමනස්සයන් දුරු කර ගැනීමටත්, ප්‍රඥාව වර්ධනය කර ගැනීමටත් නිර්වාණාවබෝධය සඳහාත් ඒකාන්ත වශයෙන් ම හේතු වේ.

මේ නිසා තමාගේ ආධ්‍යාත්මය පාරිශුද්ධත්වයකට පමුණුවා ගනිමින් නිර්වාණගාමී ප්‍රතිපදාව අනුගමනය කරන පිරිසටත්, ලෞකික ජීවිතයක් ගත කරමින් තමාගේ ආධ්‍යාත්මය පිරිසුදු කර ගැනීමට උනන්දුවක් දක්වන සැමටත් අතිශයින් ම වැදගත් වන ධර්ම කරුණක් වන්නේ තමා සම්මතයෙහි පිහිටා කටයුතු කිරීමයි.

මෙම කාරණය ගැන කථා කිරීමේ දී එම ප්‍රකාශයෙහි වැදගත් යෙදුමක් වන්නේ ‘සම්මතයෙහි පිහිටීම’ යන්නයි. එයට ධර්මයෙහි ඇතුළත් යෙදුම වන්නේ ‘සම්මාපණිධි’ යන වචනය යි. මෙහි සම්මතය වශයෙන් දැක්වෙන්නේ ශ්‍රේෂඨ සමාජයක් විසින් ද, ආර්යයන් වහන්සේලා විසින් ද හොඳ යැයි ද, පුද්ගලයාගේ ආධ්‍යාත්මය දියුණුවට පමුණුවන්නා වූ ක්‍රියා වශයෙන් ද පිළිගනු ලබන යහපත් ගුණාංගයන් ය. මෙසේ තමා සම්මතයෙහි පිහිටීම සඳහා ධර්මයෙහි අංශ තුනක් පැහැදිලි කර ඇත.

තමාගේ දුසිල්වත් භාවය සීලයෙහි පිහිටුවාලීම, අශ්‍රද්ධාව ශ්‍රද්ධා සම්ප්‍රදාවෙහි පිහිටුවාලීම හා මසුරුබව චාග සම්ප්‍රදාවෙහි පිහිටුවාලීම ය.

දුසිල්වත් බව යනු අසම්මතයේ ලක්‍ෂණයක් වේ. යමෙක් තමාගේ සිත, කය හා වචනය නොහික්මවා ගැනීමෙන් උපන් අසංවරභාවය නිසා අසම්මතයෙහි හැසිරෙන බව දුසිල් බව යන්නෙන් කියැවේ. සත්ව ඝාතනය කරමින් තමාගේ ජීවිතය පවත්වාගෙන යාම, අනුන්ට අයත් දේ සොරකම් කර අනුන් දුකෙහි හෙළා තමාගේ ජීවතය සැපවත් ව ගෙවීම, අනුන්ගේ පවුල් ජීවිත විනාශ කර සිය ආත්ම තෘප්තිය උපදවා ගැනීම, අනුන් මුළාවට පත් කිරීම සඳහා බොරු බස්, කේලාම් බස්, පරුෂ වචන හා නිශ්ප්‍රයෝජන දේ කථා කරමින් තමන්ගේ යටි සිතේ සඟවාගත් අවශ්‍යතා සපුරා ගැනීම, මත්වන දේ පාවිච්චි කර විකෘති මනසකින් යුක්තව කාලය ගෙවීම, ලෝභයෙන්, ද්වේශයෙන් හා මුළාවෙන් තම ජිවිතය ගත කිරීම අසම්මත චරිතයක ලක්‍ෂණන් වේ. එය අසම්මත භාවය යි. යම් පුද්ගලයෙක් එම අසම්මත කටයුතුවලින් බැහැරව තමාගේ ජීවිතය යහපත් ව ගෙවීමට උනන්දුවක් දක්වන්නේ ද , උත්සාහ කරන්නේ ද ඒ සඳහා ඇති ක්‍රමවේදය වන්නේ සම්මතයෙහි පිහිටා ක්‍රියා කිරීමයි. එනම්, ඉහත දැක්වූ අසම්මත කටයුතුවලින් දුරස් වීම සම්මතය යි. දසකුසල් වශයෙන් ධර්මයෙහි දැක්වෙන නිවැරැදි ජීවිකාවෙහි නිරත වීම සම්මතය යි. එය යහපත් සමාජයක් විසින් පිළිගත් ක්‍රමවේදයයි. ඒ අනුව දුසිල්වත් භාවයෙන් මිදී සීලයෙහි පිහිටීම, සම්මත ජීවිතයක් ගෙවීම සම්මතයෙහි පිහිටීමේ එක් අංශයක් බව මෙයින් කියැවේ. ප්‍රඥාවන්ත පුද්ගලයා සීලය නමැති සම්මතයෙහි පිහිටා සිතෙහි දියුණුව ඇති කර ගැනීම සඳහා කටයුතු කරයි.

බුදුන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට විනය ශික්‍ෂා පනවමින් අදහස් කළේ වැරැදි කරන පිරිස සමාජ සම්මතයට යොමු කිරීමටයි. තමාට, අනුන්ට හෝ තමාටත් අනුන්ටත්, පරිසරයටත් අවැඩක්, අහිතවත් බවක්, හානියක් කිසිදා සිදු නොවේ. උපසම්පන්න භික්‍ෂූන් වහන්සේ මූලික ශික්‍ෂාපද දිවිහිමියෙන් ආරක්‍ෂා කරමින් කටයුතු කරති. පරිසරයට අනුකූලව හා සෙසු භික්‍ෂු ජිවිතවලට හානිදායක නොවන අයුරින් කටයුතු කරන්නේ එකී සීලය නිසා උපන් සංඝ සම්මතයට අවනත වූ නිසා ය. එනිසා සීලයෙන් උපන් සම්මතය නිර්වාණගාමී ප්‍රතිපදාවේ නිරත පුද්ගලයන්ගේ මූලික ලක්‍ෂණයක් බව මෙයින් අවධාරණය කෙරේ.

සමාජයේ ජීවත් වන විට සමහර පුද්ගලයන් සිල්වත් බව නම් වූ සමාජ සම්මතය ඉක්මවා කටයුතු කරන අවස්ථා දක්නට ලැබේ. වැඩිහිටියන්ට, දෙමාපියන්ට, අසල්වැසියන්ට කරදර කරයි. ඔවුනට නිසි සැලකිලි නොදක්වයි. පොදු දේ පරිහරණයේ දී අත්තනෝමතික ව, ද්වේෂ සහගත ව, විනාශකාරී ලෙස පරිහරණය කරනු ලබයි. අනුන්ගේ සම්පත් නොසැලකිල්ලෙන් භාවිත කරමින් විනාශ කරයි. තමන් පමණක් පරිභෝග කළ හොත් ප්‍රමාණවත් යැයි සිතා සියලු සම්පත් අවභාවිතයට පමුණුවා භාවිත කරයි. නොමිලයේ ලැබෙන සියලු සාමාජීය සේවාවන් විනාශකාරී චේතනාවෙන් භාවිත කර ඉවත දමන්නේ අසම්මත ගති ලක්‍ෂණ ඇති පුද්ගලයන් ය. මෙවැනි ක්‍රියාවන් සෑම එකක් පාසාම වෙන් වෙන්ව සිතුවොත් ඒ සියලු ක්‍රියාවක ම පදනම වී ඇත්තේ ලෝභය, ද්වේශය, වෛරය, පළිගැනීම, බාල බව, අඥාන ගති ලක්‍ෂණයන් ය. මෙවැනි දුර්ගුණ බැහැර කර සීලයෙහි පිහිටන්නේ නම්, එය සමාජ සම්මතයයි. එය පුද්ගල දියුණුවේ පදනමයි.

අශ්‍රද්ධාව යනු අසම්මතයේ දෙවැනි ලක්‍ෂණයයි. බුදුන් වහන්සේ හඳුනා නොගැනීමත්, උන්වහන්සේ තුළ පිහිටි ආධ්‍යාත්මික ගුණයන් විශ්වාස නොකර අවිශ්වාසයෙන් කටයුතු කිරීම අශ්‍රද්ධාව නම් වූ අසම්මතයේ එක් ලක්‍ෂණයක් වේ. එසේම බුදුන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය පිළිනොගැනීමත්, එහි ආදීනව දැකීමත් තවත් ලක්‍ෂණයකි. ශාසනයෙහි වැඩසිටි කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයේත් වර්තමානයේ ශාසනයෙහි වැඩ සිටින මහාසංඝරත්නයේත් ගුණ නොදැක අගුණ පැවැසීම, දොස් කීම අශ්‍රද්ධාවෙහි තවත් නිරූපණයක් වේ. මෙසේ යම් පුද්ගලයෙක් ඉහත දැක්වූ අසම්මත වූ අශ්‍රද්ධාව යටපත් කර විශ්වාසයෙන් , පිළිගැනීමෙන් යුක්තව කටයුතු කරයි ද සම්මතයයි. ශ්‍රද්ධාව යනු බුදුන් වහන්සේ, උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය හා සංඝරත්නය කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කර ත්‍රිවිධ රත්නයේ ගුණ දැකීම හා පැවැසීම නම් වූ සම්මතයෙහි පිහිටීමයි. එම ශ්‍රද්ධාව හා බැඳුණු විශ්වාසය, පිළිගැනීම යන තත්වයන් රාගයෙන්, තණ්හාවෙන් හා නුනුවණින් යුක්ත වූවක් නොවේ. ශ්‍රද්ධාව යනු කරුණු මැනවින් වටහා ගැනීමකි. තෙරුවන් මනාව අවබෝධ කර ගැනීමකි. එවැනි පසුබිමක් ඇති පුද්ගලයා සම්මතයෙහි පිහිටන බව අනිවාර්ය කරුණකි. කිසිදා එවැනි පුද්ගලයෙකුගෙන් අසම්මත දෙයක් තමාට හෝ අනුන්ට සිදු නොවේ. බුදුන් වහන්සේගේ දේශනාව වූයේ අශ්‍රද්ධාව නමැති අසම්මතයේ නිරත වන පිරිස තුළ ශ්‍රද්ධාව වර්ධනය කළ යුතු බවයි.

අසම්මතයේ අවසාන අංගය වන්නේ මසුරු බවයි. තමා සන්තකයේ ඇති සම්පත් තමා පමණක් ම භුක්ති වි¼දීම මසුරු බවයි. මසුරු බව හෙවත් දැඩි ලෝභය නිසා මිනිස්සු අනතුරෙහි වැටුණු අවස්ථා එදා ත් අදත් දක්නට ලැබේ. සියලු දේ තමාගේ පමණක් බවත් තමා පමණක් භුක්ති වින්දයුතු බවත් මසුරු බවින් යුක්ත පුද්ගලයාගේ අදහසයි. සියලු දේ තමාගේ බවත් සෙසු අයට භුක්ති විඳීම නුසුදුසු බවත් පවසමින් තමාම පරිභෝග කිරීම මසුරු පුද්ගලයාගේ චර්යාවයි. මෙසේ මසුරු පුද්ගලයාගේ හැසිරීමේ ස්වභාවය මච්ඡරිය සිටාණන් හා අදින්නපුබ්බක වැනි පුද්ගලයන්ගේ කථා පුවත්වලින් මනාව පැහැදිලි වේ. එවැනි මසුරු පුද්ගලයන් තමාවත් අනුන්වත් සම්පත් පරිභෝග කරමින් විසීම දැකීමට අකැමැති ය.

එසේම මේවා මසුරු බව නමැති අසම්මතයේ ලක්‍ෂණයන් ය. මසුරු බවයෙහි විරුද්ධ බව හා සම්මතය වන්නේ පරිත්‍යාගයයි. යමෙක් තමාත් සෙසු අයත් සම්පත් පරිභෝග කරමින් සුවසේ කල් ගෙවීම කැමැති වෙයි ද, එය සම්මතය යි. තමා සන්තකයේ ඇති ධනය හා වස්තුව සෙසු අයගේ ප්‍රයෝජනය සඳහා නිදහස් කරයි ද අත්හරියි ද එය ශ්‍රේෂ්ඨ සමාජයක සම්මත ලක්‍ෂණයකි. සියලු පිරිස එවැනි පුද්ගලයන් වර්ණනා කරයි. ප්‍රසංසා කරයි. ඔහුගේ කීර්තිය, පැසසුම සියලු තන්හි පැතිරෙයි. මෙසේ පරිත්‍යාගය නමැති සමාජ සම්මතය බලපැවැත්වෙන්නේ උදාර මිනිස් ජීවිත ගෙවන පිරිසතුළ ය.

යමෙක් සීලයෙහි, ශ්‍රද්ධාවෙහි හා පරිත්‍යාගයෙහි පිහිටා කටයුතු කරයි ද , එය තමා යහපතෙහි පිහිටීමයි. එය උතුම් චරිත ලක්‍ෂණයකි. එවැනි පුද්ගලයාගේ මෙලොව ජීවිතය යහපත් වීමත් , පරලොව දී සුවපත් දිවියක් ගෙවීමත් නිසැකව ම සිදු වේ. අවසානයෙහි සදාතනික සුවය ලැබීම ඒකාන්ත ය. එසේම විවිධ ආනිසංස ගෙනදෙන්නාවූ ද, ආධ්‍යාත්මික අධිගමනයන් සිදුවන්නාවූ ද තත්වයක් වශයෙන් සම්මතයෙහි පිහිටීම ධර්මයෙහි දක්වා ඇත. මෙවැනි ගුණවත් පසුබිමක පිහිටි පුද්ගලයාගෙන් තමාටත්, අනුන්ටත් කිසිදාක හානියක් සිදු නොවේ. එවැනි පුද්ගලයන්ගෙන් සැමට යහපතක් ම සිදු වේ. මේ කාරණය නිසාම ‘තමා සම්මතයෙහි පිහිටා සිට ඔවා දෙනු පරහට’ යන ප්‍රකාශය සමාජ සම්මත වී ඇත.