Print this Article


ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම සහ සාංචි තොරණේ මූර්ති කැටයම්

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම සහ සාංචි තොරණේ මූර්ති කැටයම්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

 

පුරාණ ජම්බුද්වීපයෙහි (මෙකල ඉන්දියාවේ) පිහිටි බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෙවණෙහි සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලැබූ සේක.

අසෝක රජතුමාගේ රාජ්‍ය කාලයේ දී ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූතයාණන් වහන්සේලා වැඩම කළේ මීට වසර 2328 ඉහත දී ය. එකල අප රට පාලනය කළේ දේවානම්පියතිස්ස රජතුමා ය. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවීමෙන් මාස පහකට පසුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේ දඹදිව බුද්ධගයාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවන ලදී. දඹදිව සිට ලංකාවේ උතුරු දෙස මෙකල යාපනය දිස්ත්‍රික්කයට අයත් වන දඹකොළ පටුන වරායට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩම කරවන ලද්දේ නැව් මඟිනි. මෙසේ එම නැව දඹකොළ පටුන වරායට වැඩමවීමට පෙර මිහිඳු මහරහතන් වහන්සේ සහ සංඝයා වහන්සේ ද, දේවානම්පියතිස්ස රජතුමා සහ රාජ පරිවාර සේනාව ද, දඹකොළ පටුනට පැමිණ සිටිය හ. එම නැව දඹකොළපටුනට ළඟා වෙනවාත් සමඟ ම මුහුදේ කරවටක් බැස ජය ශ්‍රී මහා බෝධී ශාඛාව සහිත එම පාත්‍රය දේවානම්පියතිස්ස රජතුමා විසින් සාධුකාර මධ්‍යයේ ගොඩබිමට රැගෙන ආවේ ය. ඉන්පසු ජය ශ්‍රී මහා බෝධි ශාඛාව එහි තබා පුද පූජා පවත්වා මහා පෙරහරකින් අනුරාධපුරයේ පිහිටි මහමෙව්නා උයනේ උඩමළුවට වැඩමවන ලදී. මිහිඳු මහ රහතන් වහන්සේ සහ මහා සංඝයා වහන්සේ ද, දේවානම්පියතිස්ස රජතුමා සහ එම රාජ පිරිවර ද, තවත් බොහෝ සැදැහැවතුන් ද, ඉදිරිපිට එම ජය ශ්‍රී මහා බෝධි ශාඛාව රෝපණය කරන ලදී.


බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් දක්ෂිණ ශාඛාව වෙන්කර ගන්නා අවස්ථාව නිරූපිත සාංචි තොරණෙහි කැටයමකි.

 

ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ එම ශාඛාව එදා මහමෙවුනා උයනේ උඩමළුවෙහි රෝපණය කිරීමෙන් පසුව එයින් හටගත් අෂ්ටඵලරුහ හෙවත් එහි ඵලවලින් පැළ වූ පැළ අටක් පිළිබඳ මහා වංසයෙහි සඳහන් වෙයි. එයින් දෙනමක් බෝධි ශාඛාව රෝපණය කිරීමේ උළෙලට (අනුරාධපුරයේ) රුහුණෙන් පැමිණි කුමාරවරු දෙදෙනාට (කාචරගාමයෙන් ,චන්දන ගාමයෙන් පැමිණි) ද, තිවක්ක බමුණාට ද මෙම ශ්‍රී මහා බෝධියෙන් හටගත් පැළ ප්‍රදානය කරන ලදී. ඒ බව මහා වංසයේ ද සඳහන් වේ. එම ස්ථාන අට මෙසේ ය.

1. යාපනයේ දඹකොළ පටුන හෙවත් ජම්බුකෝල පට්ටන 2. තිවක්ක බමුණුගම 3. ථූපාරාමය, 4. ඉසුරුමුණි වෙහෙර, 5. පඨමක චේතිය ස්ථානය 6. සෑගිරිය (මිහින්තලය) 7. රෝහණ ජන පදයේ කතරගම (කාචරගාම) 8. රෝහණ ජනපදයේ සඳුන්ගම (චන්දන ගාම) (වල්ලිපුරම් රන්සන්නස හා හෙළ උරුමය - සිරිසමන් විජේතුංග පි. 13 - 14 - 2003 දයාවංශ ජයකොඩි සහ සමාගම)

ශ්‍රී මහ බෝධීන් වහන්සේගෙන් හටගත් අෂ්ටඵලරුහ (පැළ අට) පසුව තවත් හටගත් දෙතිස්ඵලරුහ පිළිබඳ මහා වංසයෙහි සඳහන් වෙයි. සිංහල බෝධි වංසයෙහි එම බෝධීන් වහන්සේ රෝපණය කළ පුදබිම්වල නාමයන් සඳහන් වී ඇත.

1. මල් වැස්සා වෙහෙර, 2. තන්ත්‍රිමලය, 3. මහාජල්ලික කෙවුල්ගම, 4. කොට්ටියාරම, 5. පොළොන්නරුව 6. මාතලේ රුසිගම, 7. රුහුණේ මාගම 8. විල්වල 9. මහියංගණය 10. විල්ගම්වෙහෙර 11. මුතියංගන, 12. හප්පොරුවෙහෙර 13. සිතුල්පව් වෙහෙර 14. වනවාස 15. වැලිගම් වෙහෙර 16. පරගොඩ 17. මැද්දේගම 18. ගණේගම 19. පුසුල්පිටිය, 20 චතුර් 21. බෙලිගල 22. බෙල්ලන්විල 23. වඳුරව 24. වට්ටාරම 25. රජමහ වෙහෙර (විහාරේගම) 26. සුළුගල්ල 27. රැස් වෙහෙර (රුස්වේරුව) 28. කටියාව 29. ගිරිබා වෙහෙර 30. යාපහු සුන්දරගිරිපව්ව 31. කසාගලු වෙහෙර 32. ඇඹලව රත්ගල්වෙහෙර

මහා බෝධි වංශයට පසුව රචනා කරන ලද චූල බෝධි වංශයේ සහ සුළු බෝධි වංශයේ මෙම තොරතුරු තවදුරටත් සවිස්තර ව දක්නට ලැබේ. නාමයන් භාවිතයේ දී සුළු වෙනස්කම් කිහිපයක් හැරුණු විට බොහෝ දුරට මේ නාමාවලිය සමානත්වයක් උසුලයි.

(ශ්‍රී ලංකාවේ බෝධි සංස්කෘතිය - ආචාර්ය අලුත්වැව සෝරත නාහිමි පි. 115 - 116 සිකුරු ප්‍රකාශකයෝ - 1994 ) 2. වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය - රට එක්සත් කළ ශ්‍රී මහ බෝධීන් වහන්සේ - සිරිසමන් විජේතුංග පි. 15 - 29 - 2003)

මහා වංසයේ සඳහන් වන ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩමවීම සාංචි තොරණේ මූර්ති කැටයමෙහි සනාථ වීම.

ශ්‍රී මහ බෝධි ශාඛාව ලංකාවට වැඩම කරවීම පිළිබඳ ඉන්දියාවේ සාංචි තොරණේ මූර්ති කැටයමක ද නිරූපණය කර ඇත. (බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් දක්ෂිණ ශාඛාව වෙන් කර ගන්නා ආකාරය එහි නිරූපණය කර ඇත. ) (වල්ලිපුරම් රන්සන්නස සහ හෙළ උරුමය - පි. 18)

මේ රට පුරාණ කාලයේ දී එක්සේසත් කළ බව ද, ඒකීය රාජ්‍යයක් ලෙසින් පැවති බව ද දුටුගැමුණු , වසභ, මහ විජයබාහු සහ මහ පැරකුම්බා යන රජවරුන්ගේ කාලයේ දී වූ බව ඉතා ප්‍රකට ය.

මහා වංසයේ සහ සිංහල බෝධි වංසයේ සඳහන් වන අන්දමට අෂ්ටඵලරුහ සහ දෙතිස්ඵලරුහ (ශ්‍රී මහ බෝධි අංකුර) හතළිහ පුදබිම් හතළිහක ඒ කාලයේ (දේවානම්පියතිස්ස රාජ යුගයේ දී) රෝපණය කිරීමෙන් ඉහත සඳහන් රජවරුන්ට පෙර කාලයේ දී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙසින් පැවති බවට පැහැදිලි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ලෙසින් සැලකිය යුතුව ඇත. ඉහත සඳහන් එම පුදබිම් ලංකාවේ සිතියමක සටහන් කළ විට මේ රටේ උතුරු නැගෙනහිර මෙන්ම බටහිර හා දකුණු පළාත් ද ආවරණය වන අන්දමින් එම ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර දේවානම්පියතිස්ස රාජ යුගයේ දී ම දක්නට ලැබීම මේ රට ඒකීය රාජ්‍යයක් (Unitary State)  යුනිටරි ස්ටේට්) ලෙසින් පැවැති බවට ජීවමාන සාක්ෂියක් වන්නේ ය. එම බෝධි වෘක්ෂ රෝපණයෙන් රාජ්‍ය ආගම ලංකාව පුරා ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ දී දේවානම්පියතිස්ස රාජ යුගයේ සිට (ක්‍රිස්තු පූර්ව 250 - 210) පැවති බවට කදිම සාක්ෂියකි. එසේ රාජ ආඥාවක් ලෙසින් සෘජුව නොවූවත් එවැනි ආගමික සංස්කෘතියක් වුව ද ප්‍රචලිත වීමට දේශපාලන වශයෙන් රාජ බලය ද, ඒ ප්‍රදේශවල පැවතිය යුතු වන්නේ ය. මේ අනුව මේ රට ඒකීය රාජ්‍යයක් වශයෙන් ඒ කාලයේ දී පැවති බව ඉඳුරාම පළ කළ යුතුව ඇත. ඊට අමතරව ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී සංඝයා වහන්සේලාට ගල්ලෙන් පූජා කිරීම සඳහා (වාසය කිරීමට) බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා ඇති ලෙන්ලිපි බෞද්ධ සංස්කෘතිය පැතිරී තිබුණු බවට පුරාවිද්‍යාත්මක සාක්ෂියකි. ලංකාව පුරා ඇති පුරාණ ගල්ලෙන්වල මේවා බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා ඇත්තේ එකම බ්‍රාහ්මී අක්ෂර හෝඩියකින් බව ද පැහැදිලි වී ඇත.