Print this Article


බොදු ඇසින් දකින කාල කළමනාකරණය 2020 ට

බොදු ඇසින් දකින කාල කළමනාකරණය 2020 ට


මේ සූදානම් වෙමින් ඉන්නේ 2020 නව වර්ෂයට පා තබන්නට යි. අදට යෙදිලා තිබෙන්නේ මේ ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව 2019 වර්ෂයේ අවසාන පොහොය දවස යි. උඳුවප් පුර පසළොස්වක දවස යි. ඉතින් දැන් තව දින කීපයකින් ව්‍යවහාර වර්ෂ ක්‍රමයට නව වර්ෂය උදාවෙනවා. අපි කවුරුත් භාවිත කරන්නේ මෙම ව්‍යවහාර වර්ෂ ක්‍රමය නිසා, ඒ ගැන යමක් සිතා බැලිය යුතු වෙනවා.

මෙහි දී වැදගත් වන්නේ මේ කාලය පිළිබඳ අර්ථය වටහා ගැනීමට අවස්ථාවක් කර ගන්නට යි. වර්ෂයක් ගත වෙලා අලුත් වර්ෂයක් ආරම්භ වෙනවා කියන්නේ උපන් සත්වයා වර්ෂයකින් තමන්ගේ අවසානයට එහෙම නැතිනම් මරණයට ළං වෙනවා කියන එක යි. තවත් අර්ථයකින් පවසනවා නම් සත්වයා වයසට පත් වෙනවා. ජරාවට පත් වෙනවා. ජිවත් වෙන්නට තිබෙන කාලය අඩු වෙනවා. සෑම සත්වයෙකුට ම මේ කාරණය පොදු ධර්මතාවක් වුවත් තිරිසන් ගත සත්වයන්ට නැති උසස් තත්වයට පත් කර ගැනීමට හැකි මනසකින් යුක්ත මනුෂ්‍යයා නමැති මේ සත්වයා මේ කරුණ ගැන වඩාත් විමසිලි විය යුතු වෙනවා. ඒක නිසා තම යි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ” අජ්ජෙව කිච්චං ආතප්පං - කො ජඤ්ඤා මරණං සුවෙ ” අද කළ යුතු දේ අද ම කළයුතු වෙනවා. කවුද දන්නේ හෙට තමන්ගේ මරණය සිදු වෙනවා කියලා.

එහෙම නම් මිනිසා ට පුළුවන්කම තිබෙනවා මනා සැලසුමක් අනුව කාලය කළමනාකරණය කර ගන්ට. ඒ වගේ ම නව වසරට සැලසුම් හදා ගන්නටත්, ඊට සූදානම් වීමට ත් පුළුවන්කම තිබෙනවා. මේ කරුණ අපි පටන් ගන්න ඕන කරන්නේ ලබන වර්ෂයේ කාලය සැලසුම් කර ගැනීමෙනු යි. ඉතින් වර්ෂයක් පුරා කරන සැලසුම තමා සමාන්‍යයෙන් සිදු වන්නේ.

විවිධ ආයතන වාර්ෂික වශයෙන් සැලසුම් හදලා, ඊට දින වකවානු නියම කරලා, ඉලක්ක හදාගෙන ක්‍රියාත්මක වෙනවා. එමගින් ගතවන වර්ෂයේ අඩුපාඩු තේරුම් ගෙන වඩාත් ඵලදායක ලෙස නව වර්ෂය සැලසුම් කර ගන්ට හැකියාව පවතිනවා. දින වකවානු සහිතව ඉදිරිපත් කරලා, එය එම ආයතනයේ වාර්ෂික කැලැන්ඩරය ලෙස නම් කරලා, ඵලදායි විදියට එය ක්‍රියාත්මක කරලා වර්ෂය අවසාන වෙන කොට එහි ඵලදායිතාව කොතෙක් ද කියා තක්සේරු කරන වැඩපිළිවෙළක් තිබෙනවා. එය ඕනම ආයතනයක සාර්ථකත්වයට හේතු වෙනවා කියන මේ කාරණය බොහොම පැහැදිලි යි.

ඉතින් මේ වර්ෂයක් පුරාවට කරන සැලසුම සාර්ථක වන්නේ එම වර්ෂය කොටස් වශයෙන් හෙවත් මාස වශයෙන්, සති වශයෙන් හා දවස් වශයෙන් කරනු ලබන සැලසුම දක්වා පහළ මට්ටමට පැමිණ එහි සාර්ථක අසාර්ථක බව මතින් සමස්ත වර්ෂය තුළ ලබා ඇති ප්‍රගතිය හෝ පිරිහීම පිළිබඳ අදහසක් ගත හැකි වෙනවා. මෙය එක් එක් පුද්ගල ජිවිතයට යොදා ගෙන බැලීම යි බුදුදහමේ උගන්වන පිළිවෙළ අනුව වැදගත් වන්නේ.

වරක් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැසි පාඨික නම් ආජීවකයාට තම දරුවා නො වුණත් දරු සෙනෙහසින් සැලකූ එක් කාන්තාවක් අරමුණු කර දේශනා කර වදාළේ

“න පරෙසං විලොමානි න පරෙසං කතාකතං- අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච” යනුවෙන්

උන්වහන්සේ පැහැදිලි කළේ ඉතා වැදගත් අර්ථයක්, අනුන්ගේ ප්‍රලාප, ඇනුම්, බැනුම්, ගැරහුම්, කතාබස් ආදියෙන් තමන්ට වැඩක් වන්නේ නැහැ. තමන්ගේ වැඩපොළ, චර්යාව, කළ, නො කළ දේ ගැන විමසිල්ලෙන් සොයා බලා ක්‍රියා කිරීමේ අගය බුදුරජාණන් වහන්සේ මෙම පාඨයෙන් පැහැදිලි ව පෙන්වා දී තිබෙනවා. ඇත්තවශයෙන් ම අපි දවස ගත කරන ආකාරය කල්පනා කරලා බැලුවොත් අපේ දවසේ කාලය වැඩියෙන් වෙන් කරන්නේ අනුන්

ගැන සොයන්ට. ඒ අයගේ ඇද කුද, වැඩ කටයුතු ඒ අය අපට එල්ල කරන රැවුම් ගෙරවුම්, නින්දා, අවලාද ගැන සොයන්නට නො වේ ද? වැඩියෙන් සිදු කරන්නේ. විශේෂයෙන් කාර්යාලයක හෝ වෙනත් රාජකාරි ස්ථානයක මෙවැනි අල්ලාප සල්ලාප සඳහා කොපමණ නම් කාලයක් යොදවනවා ද කියලා බැලුවොත් රාජකාරි කාලයෙන් අඩකටත් වඩා එය වෙන් වෙනවා. ඉතින් මේවායින් කිසිවෙකුටත් පලක් වන්නේ ත් නැහැ.

බෞද්ධයන් හැටියට ඔබ අප හැම දෙනාට ම බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් මෙවැනි කරුණු ගැන ද උගත හැකි පාඩම් රැසක් තිබෙනවා. උන්වහන්සේ එදා ප්‍රථම රහත් හැට නම අමතලා ප්‍රකාශ කළේ බොහෝ දෙනාගේ මෙලොව පරලොව හිත සුව පිණිස දනව් සැරිසරන ලෙස යි. ඒ පමණකුත් නො වෙයි. එක මග දෙදෙනෙක් නොයන ලෙසත් උපදෙස් දී වදාළා. ඇයි උන්වහන්සේ ඒ විදිහට දෙනමක් එක මගක වඩින්නට එපා කියලා වදාළේ? එහි අදහස තමා මේ වනවිට උන්වහන්සේ ට ශ්‍රාවක පිරිසක් වශයෙන් සිටියේ හැට නමක්. මේ නවතම දහම දඹදිව වැනි විශ්‍රාල ප්‍රදේශයක ව්‍යාප්ත කරන්නට මේ ශ්‍රාවක පිරිස ප්‍රමාණවත් නැහැ. ඉතින් එම සිමිත පිරිසගෙන් ඉක්මණින් විපුල ඵලයක් ලබමින් ධර්මප්‍රචාරය කිරීමට දෙනමක් එක මගක වැඩියොත් සැලකිය යුතු කාලයක් ගත වෙනවා.

ඒ නිසා එම වේගය දෙගුණ කර ගැනීමේ අදහසින් උන්වහන්සේ දෙනමක් යා යුත්තේ මාර්ග දෙකකින් බව නියම කළා. මෙය උන්වහන්සේගේ සැලසුම් සහගත වැඩ පිළිවෙළේ කාර්යක්ෂ්ම භාවය විදහා දැක්වීමක් නො වන්නේ ද? නූතන ව්‍යවහාරයට අනුව නම් සීමිත සම්පත් උපයෝගි කරගෙන වඩාත් විපුල ප්‍රතිලාභයක් ලැබිම මෙහි අරමුණ වූ බව පැහැදිලි කර දෙන්නට හැකියාව තිබෙනවා. එහෙම උපදෙස් දුන් සර්වඥයන් වහන්සේ තමන්වහන්සේගේ ශ්‍රාවක පිරිස් සඳහා දෙන අවවාද අනුශාසනයට පමණක් සිමා වන්නේ නැතිව උන්වහන්සේ ත් එම කාර්යයෙහි ම යෙදුණා. උන්වහන්සේ මේ සඳහා අපූරු වැඩ සැලැස්මක් දවස ගත කිරිම සඳහා පිළියෙල කර ගත්තා. ඒකට කියනවා බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව කියලා.

එම දින චරියාව ගැන අපි තරමක් දුරට විමසා බැලීම මෙහි දී වැදගත් වෙනවා. උන්වහන්සේගේ උතුම් දේශනාවක් වුණේ නො පමාව සියලු අවශ්‍ය කටයුතු සිදු කර ගන්නා ලෙස යි. ඒ සඳහා අවශ්‍ය ම කාරණය නම් කාලය මැනවින් කළමනාකරණය කර ගැනිම. දවසක් ගත වෙනවිට එය ප්‍රයෝජනවත් ලෙස ගෙවුණා කියා තමන්ට ම සෑහීමට පත් වෙන්නට පුළුවන් තත්වයක් ඇති කර ගතයුතු වෙනවා.

බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ විසින් සිදු කළයුතු මෙහෙවර කාලය වශයෙන් කුඩා ඒකකය වන දවස වශයෙන් කොටස් පහකට බෙදා කාලය වෙන් කර ගැනීම මෙහි දී කාල කළමනාකරණයේ සුවිශේෂ ලක්ෂණයක් ලෙස පෙන්වා දෙන්නට පුළුවනි. එයට අනුව පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පැසුළුයම් කිස යනුවෙන් දවස කොටස් කරපෙන්වා දෙනවා. ඒ අනුව උන්වහන්සේ අලුයම අවදි වී මුවදෙවීම් ආදි මූලික කටයුතු සිදු කර පිඩු පිණිස හැසිරෙන වේලාව ළඟා වන තෙක් හුදකලාව අසුනක වැඩ සිටිනවා.

වේලාව පැමිණියාට පස්සේ සිවුරු මැනවින් හැඳපෙරව, පාත්‍රය ද අතින් ගෙන ඇතැම් අවස්ථාවල තනියම හෝ භික්ෂූන් වහන්සේ පිරිවරා ගෙන පිඩු පිණිස වැඩම කරනවා. සමහර විට උන්වහන්සේ පෙළහර ඇති වත්, පෙළහර නැතිවත් වැඩමවනවා. පෙළහර ඇතිව වැඩමවන අවස්ථාවෙහි උන්වහන්සේ වඩින විට සුමුදු වාතය හමනවා. ජල බින්දු වැටී දූවිලි සමහන් කෙරෙනවා. ඉහළින් මල් වියන් සකස් වෙනවා. මඩ සහිත හා ගොඩැලි සහිත තැන් පිරිසුදු වී පොළොව සමතලා වෙනවා. මේ ආදි නොයෙක් අසිරිමත් දේ සිදු වෙනවා.

මෙම ලිපියේ ඉතිරි කොටස උඳුවප් අව අටවක පෝදා (19 දා) පත්‍රයේ පළ වේ.