Print this Article


තෙවළා බුදු වදන් අතරින් 51 : කර්මානුරූපී ව පැමිණෙන දුක

තෙවළා බුදු වදන් අතරින් 51 :

කර්මානුරූපී ව පැමිණෙන දුක

යුද්ධ පිටියට ගමන් කළ ඇතෙකුට සතුරු පාර්ශ්වය විසින් එල්ලකරනු ලබන විවිධ ගණයේ හී පහරවලට මුහුණ දීමට සිදු වේ. එමෙන් ම නොහික්මුණු බාල ජනයා ද අභූත වචන නමැති හී වලින් නිවැරැදි පුද්ගලයන්ට පහර දෙති.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි, උන්වහන්සේ වෙත පැහැදුණු බොහෝ ජනයා බුදුරදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝරත්නයට සිව්පස ආදියෙන් මැනවින් සංග්‍රහ කළ හ. මේ හේතුවෙන් උන්වහන්සේලාට අපහසුවකින් තොරව තම සසුන් පිළිවෙතෙහි පිහිටා කටයුතු කළ හැකි විය.

බුදුරදුන් ප්‍රමුඛ සංඝ රත්නය වෙත පැහැදුණු ජනයා නිතර නිතර උන්වහන්සේට සත්කාර කළ ද, සැවැත්නුවර වැසි අන්‍ය තීර්ථකයන්ට එවැනි සත්කාර සැලකිලි නොලැබුණ හෙයින්, ඔවුහූ දොම්නසටත්, අපහසුතාවටත් පත් වූහ. බුදුරජාණන් වහන්සේ වෙත ලද ලාභ සත්කාර නොඉවසූ අන්‍යතීර්ථකයෝ උන්වහන්සේගේ කීර්තියට හා මහජන ප්‍රසාදයට හානිකරනු අටියෙන් සුන්දරී නම් පරිබ්‍රාජිකාව උපක්‍රමශීලීව පොළඹවාගෙන ඇය ඝාතනය කොට එම ක්‍රියාව බුදුරදුන් ප්‍රමුඛ සංඝයාගේ කාර්යයක් යැයි ප්‍රචලිත කළ හ. එම අසත්‍ය පුවත ඇසූ දුටු ශ්‍රාවස්ති නගර වැසි මහජනයා එහි පිඬු සිඟා වැඩි භික්‍ෂූන්වහන්සේලාට නන් අයුරින් අභූත චෝදනා නගමින් නින්දා අපහාස කළහ.

පිඬු සිඟාගෙන නැවත විහාරයට පැමිණි භික්‍ෂූන්වහන්සේලා ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේට දැන් වූහ. අනතුරුව භික්‍ෂූන් වහන්සේ ඇමතූ බුදුරජාණන් වහන්සේ මහජනයා විසින් අසත්‍ය පදනම් කර ගෙන කරනු ලබන නින්දා, අපහාස සතියකින් පමණ කලකින් නිමාවන බවත්, එබැවින් ඒ සම්බන්ධයෙන් කලබලයට පත් නොවී ඉවසීමෙන් යුතුව කාලය ගතකරන ලෙසත් දැන්වූහ. යම් හෙයකින් භික්‍ෂූන්වහන්සේලා පිඩුසිඟා වඩිනු දුටු මහජනයා උන්වහන්සේලාට තවදුරටත් නින්දා අපහාස කළහොත් එම අවස්ථාවෙහි ඔවුන්ට ඇසෙන සේ සජ්ඣායනය කිරීම සඳහා ගාථා ධර්මයක් ද උගන්වා වදාළ හ. දෙවන දිනයෙහි පිඬු සිඟා වැඩි භික්‍ෂූන් වහන්සේලා මහජනයා විසින් නින්දා අපහාස කරනු ලබන කල්හී බුදුරදුන් උගන්වා වදාළ ගාථා ධර්මය ඔවුන්ට ඇසෙන සේ සජ්ඣායනා කළහ. එම ගාථා ධර්මය ඇසීමෙන් අනතුරුව මහජනයා භික්‍ෂූන් වහන්සේලා නිවැරැදි පිරිසක් යැයි පසක් කළ හ. සුන්දරී පරිබ්‍රාජිකාවගේ පුවත බෞද්ධයන් අතර ඉතා ප්‍රකටය. එබැවින් එය දීර්ඝ වශයෙන් විස්තර කිරීම අනවශ්‍ය ය.

මෙම පුවත පදනම් කර ගෙන බුදුරදුන් වදාළ ගාථා ධර්මයෙහි අන්තර්ගතය විමර්ශනය කිරීම බෙහෙවින් වැදගත් වේ. උදානපාලි සුන්දරී සූත්‍රයෙහි දැක්වෙන එම ගාථා ධර්මයෙහි අර්ථය නම් “බොරු කියන තැනැත්තා නිරයගාමී වෙයි. යමක් සිදුකොට එය නොකළේ යැයි කියයි නම් එම තැනැත්තා ද නිරයගාමී වේ. පහත් ගති ඇති එම පුද්ගලයන් දෙදෙනා ම මරණින් පසුව නිරයේ ඉපිද සමාන විපාක විඳිති” යන්න ය. මෙයින් පැහැදිලි කෙරෙන්නේ බොරු කියන්නා මෙන්ම යමක් සිදුකොට එය නොකළේ යැයි කියන්නා ද යන දෙදෙනා ම දුගතිගාමී ව සම විපාක විඳීන බව යි. ඒ අනුව බොරු කිරීමත්, යමක් සිදුකොට එය නොකළේ යැයි සැඟවීමත් යන දෙකම එක හා සමාන ආදීනව හා විපාක සහිත අකුසල සහගත ක්‍රියා බව පැහැදිලි වේ. බොරු කියන අතරම යමක් සිදුකොට එය සැඟවීමට යත්න දරණ පුද්ගලයන් කොතෙකුත් දක්නට ලැබේ. විවිධ ලාභ ප්‍රයෝජන ලබාගැනීමේ අරමුණින් නන් විසිතුරු බොරු, අසත්‍ය පුවත් සිදුවීම් ගොතා කනින් කන පතුරුවන පුද්ගලයන් මෙන්ම, එවැනි ඇතැම් මාධ්‍යද තිබේ. කර්මානුරූපව ඔවුන්ට වි¼දීමට සිදුවන දුක්වේදනා කවරේදැයි බුදුරදුන් වදාළ ගාථාවෙන් ප්‍රකට

වේ. බොරු කියන තැනැත්තාට කළ නොහැකි කිසිදු පාප කර්මයක් නැතැයි බුදුරදුන් වදාළේ එබැවිනි. එසේම බොරු කියන්නාගේ ජීවිතය සාකල්‍යයෙන්ම හිස් වූවක් බව පැහැදිලි වේ.

ලාභ ප්‍රයෝජන කෙරෙහි ගිජු වූ තැනැත්තා එය නොලැබෙන විට, සාහසික අයුරින් ක්‍රියාත්මක වන ආකාරය අන්‍යතීර්තකයන් සුන්දරිය ඝාතනය කිරීමට පෙළඹීමෙන් පෙනේ. පංචකාම ලෝකය සම්බන්ධයෙන් ඔවුනොවුන් අතර ගැටුම් නිර්මාණය වන්නේ අපේක්‍ෂා භංගත්වය මෙන්ම ඊර්ෂ්‍යාව හා මසුරු කම නමැති මානසික දුර්වලතා නිසයි. එවැනි දුර්වලතා සහිත පුද්ගලයන්ගෙන් සැදුම්ලත් සමාජයක දරුණු ගණයේ සාහසික අපරාධ සිදුවීම අනිවාර්ය වේ. ඉච්ඡා භංගත්වය සමාජ ගැටුම් නිර්මාණය වීමේ ප්‍රබල හේතුව කි. ලාභ, කීර්ති, ප්‍රශංසා පුද්ගලයා කිලිටි බවට බවට පත්කරන බව බුදුරදුන් විසින් නාගිත හිමියන් අමතා දේශනා කරන ලදී. එබැවින් තථාගතයන් වහන්සේ මෙන්ම, තථාගත ශ්‍රාවකයෝ ද ලාභ කීර්ති ප්‍රශංසා ආදිය සමග ඇලීමෙන් හා ගැටීමෙන් තොරව වාසය කළහ. ලාභ කීර්ති ප්‍රශංසාදියෙහි ගිජු වූ මිනිසුන් තම අපේක්‍ෂා මුදුන් පමුණුවා ගැනීමෙහිලා අනවරත අරගලයක නිරතවන මුත් බුදුසව්වෝ එවැනි විජිගීසාවන්ගෙන් තොරවූවෝ වෙති.

බුදුරදුන් වදාළ පරිදි අන්‍යතීර්ථකයන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල නිසා හටගත් මහජන අප්‍රසාදය දින හතකින් නිමාවට පත්විය. එම සිදුවීම පදනම් කර ගෙන බුදුරජාණන් වහන්සේ විසින් භික්‍ෂූන් අමතා දේශනා කොට වදාළ උදාන ගාථාවේ එන උපදේශය ද විවිධ අභියෝග ජය ගැනීමේ දී බෙහෙවින් වැදගත් වේ. එහි දැක්වෙන පරිදි යුද්ධ පිටියට ගමන් කළ ඇතෙකුට සතුරු පාර්ශ්වය විසින් එල්ලකරනු ලබන විවිධ ගණයේ හී පහරවලට මුහුණ දීමට සිදු වේ. එමෙන් ම නොහික්මුණු බාල ජනයා ද අභූත වචන නමැති හී වලින් නිවැරැදි පුද්ගලයන්ට පහර දෙති. අනුවණ ජනයාගේ එවැනි පරොස් බස් ඇසීමෙන් කෝප නොවන තැනැත්තා සියල්ල ඉවසා දරා ගනී. කෙනෙකු තමා වෙත එල්ල කෙරෙන විවිධ ගණයේ අභූත චෝදනා හා වාග් ප්‍රාහාරයන්ට ඉවසීමෙන් යුතුව ප්‍රතිචාර දැක්වීම නුවණැති පුද්ගලයාගේ ලක්‍ෂණය යි. අසත්‍ය පදනම්කරගත් බොහෝ නින්දා අපහාස තවකාලික ය. අනුවණ පුද්ගලයා හැම විටම අසත්‍ය පදනම් කර ගෙන අන්‍යයන්ට චෝදනා කරයි. තරගකාරිත්වය මෙන්ම විවිධ අභිලාස හා බලාපොරොත්තු සහිත පුද්ගලයන්ගෙන් ගහණ සමාජයක අසත්‍ය පදනම් කර ගත් නින්දා අපහාස අනිවාර්ය අංගය කි. එමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ තම ප්‍රතිවාදියා මනසින් මෙන්ම කයින් දුර්වලකොට තම බලාපොරොත්තු ඉටු කර ගැනීම යි. එහෙත් නුවණැති පුද්ගලයා චිත්තවේගාත්මක නොවී ඒ සියල්ලට ප්‍රතිචාර දක්වයි. සැඩ සුළඟ හමුවේ මහ පර්වතයක් නොසෙල්වී සිටින්නාක් මෙන් නුවණැති පුද්ගලයා නින්දා අපහාස හමුවේ කිසිදු විටෙක සසල නොවේයැයි ධම්ම පදයේ දැක්වේ. තමා වෙත එන සියලු නින්දා අපහාස හමුවේ ඉවසීමෙන් හා උපේක්‍ෂාවෙන් යුතුව කටයුතු කිරීමෙන් ජයග්‍රහණය කිරීම නුවණැතියෙකුගේ ස්වභාවය යි.

ලොව සියල්ල සිදුවන්නේ හේතුඵල සන්තතියකට අනුව ය. කිසිවක් ආකාශ්මික ව සිදු නොවේ. මේ යථාර්ථය වටහාගත් අයෙකුට තමා වෙත එල්ලවන විවිධ නින්දා අපහාස කෙසේ ඇති වූයේද? යන්න අවබෝධකරගත හැකි වේ. ඇතැම් විටෙක එම චෝදනා සඳහා තමාගේ ම ප්‍රමාද දෝෂයක් ඉවහල් වූවා විය හැකි ය. ආවේගශීලි වීම වෙනුවට ඉවසීමෙන් හා සියල්ල සැකෙවින් විමසා බැලුවහොත් එහි හේතුඵල සම්බන්ධය වටහා ගත හැකි වේ.

නින්දා අපහාස කෙරෙහි වන හේතුඵල සන්තතිය දකින තැනැත්තාට එහි මූල හේතු ක්‍රමයෙන් හඳුනාගෙන ඒ සියල්ල ක්‍රමයෙන් උපුටා දැමිය හැකි ය.