Print this Article


මිලින්ද ප්‍රශ්නය 17: නාගසේන තෙරුන්ගේ ශාසන දායාදය

නාගසේන තෙරුන්ගේ ශාසන දායාදය

අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා වසර පන්සියයක් ගිය කල්හි නාගසේන මහ රහතන් වහන්සේ සහ ගී‍්‍රක රජෙකු වූ මිළිඳු රජතුමා මුණ ගැසීම සිදුවිය. සසරේ කළ ප්‍රාර්ථනාවකින් මුණ ගැසුණ ඔවුහු බුද්ධ ශාසනය දීප්තිමත් කිරීමට කටයුතු කළහ. මිළිඳු රජතුමා ශාසනය පිළිබඳ ප්‍රශ්න අසද්දී නාගසේන මහ තෙරුන් වහන්සේ ඒ සියලු ප්‍රශ්න විසඳාලූහ.

කය තමන්ට පි‍්‍රය ද?

මිළිඳු රජු නාගසේන මහ තෙරුන්ගෙන් මෙසේ ඇසුවේ ය.

ස්වාමීනි නාගසේනයන් වහන්ස, පැවිද්දන්ගේ කය ඔවුන්ට පි‍්‍රය ද?”

“මහරජාණෙනි, පැවිද්දන්ගේ කය ඔවුන්ට පි‍්‍රය නැහැ.”

“එසේ වී නම් ස්වාමීනි, කවර කරුණක් නිසා ද පැවිද්දන් තම කය ගැන තෘෂ්ණාවෙන් සිටින්නේ? මමත්වයෙන් සිටින්නේ”

“කිම මහරජාණෙනි, කිසියම් අවස්ථාවක දී ඔබ යුද්ධයකට මැදි වුවහොත් හී පාරක් වුණත් වදිනවා නේද?”

“එසේය ස්වාමීනි, එහෙම වෙනවා.”

”එතකොට මහරජාණෙනි, හී පහරින් ලත් ඒ තුවාලයට බෙහෙත් ගල්වනවා නේද? තෙල් ගල්වනවා නේද? සියුම් රෙදි පටින් වෙළනවා නේද?”

“එසේය ස්වාමීනි, හී පහරින් වූ තුවාලයට බෙහෙත් ගල්වනවා. තෙල් ගානවා. සියුම් රෙදි පටියෙන් වෙළනවා.”

“කිම මහරජාණෙනි, ඔබට ඒ තුවාලය පි‍්‍රයයි ද? ඒ නිසාද බෙහෙත් ආලේප කරන්නේ? තෙල් ගාන්නේ? සියුම් රෙදි පටින් වෙලන්නේ?”

“ස්වාමීනි, ඒ තුවාලය මට පි‍්‍රය නැහැ. නමුත් තුවාලයෙහි මස් වැඩීම පිණිස යි බෙහෙත් ආලේප කරන්නේ. තෙල් ගාන්නේ. සියුම් රෙදි පටින් වෙළන්නේ”.

“මහරජාණෙනි, ඔය ආකාරයට පැවිද්දන්ට මේ කය අපි‍්‍රය වන්නේ. නමුත් කයට ආලය කිරීමෙන් තොරව බ්‍රහ්මචරියාවට අනුග්‍රහ පිණිසයි මේ කය පරිහරණය කරන්නේ. මහරජාණෙනි , භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කය ගැන වදාරන ලද්දේ තුවාලයක් උපමා කරලයි. පැවිද්දන් ඒ තුවාලයක් බඳු කය නො ඇල්මෙන් යුතුව පරිහරණය කරනවා. මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ වදාරන ලද්දේ ය.”

අල්ලචම්මපටිච්ඡන්නෝ - නවද්වාර මහාවණෝ
සමන්තතෝ පග්ඝරතෝ - අසූචි පූතිගන්ධියෝ

තෙත් වූ සමකින් වැසී ඇති මේ කය වනාහී සෙම්, සොටු, මළ, මුත්‍රා ආදිය වැගිරෙන දොරටු නවයකින් යුත් මහ තුවාලයක් වැන්න. හාත්පසින් අසූචි වැගිරෙන මේ කය කුණු ගඳින් යුක්ත ය.

බ්‍රහ්මචාරී ප්‍රශ්නය

මිළිඳු රජ තෙමේ මෙසේ ඇසුවේ ය.

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මචාරි වූ සේක් ද?”

“එසේය මහරජාණෙනි, අප භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මචාරි වූ සේක”

“එසේ වී නම් ස්වාමීනි නාගසේනයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයාගේ ශිෂ්‍යයෙක් ද?

“මහරජාණෙනි, ඇතුන්ට ප්‍රමුඛ වූ හස්තිරාජයෙක් සිටිනවා ද?”

“එසේය ස්වාමීනි”

“කිම? මහරජාණෙනි, ඇතැම් අවස්ථාවන්හි දී එම හස්තිරාජයා කුඤ්චනාද කරනවා ද?”

“එසේ වී නම් මහරජාණෙනි, ඒ හස්තිරාජයා කුඤ්ච කියන පක්ෂියාගේ ශිෂ්‍යයෙක් ද?”

“නැත, ස්වාමීනි,”

“කිම? මහරජාණෙනි, බ්‍රහ්ම රාජයා බුද්ධි සහිත ද?” බුද්ධි රහිත ද?”

“ස්වාමීනි, බුද්ධි සහිත ය.”

“එසේනම් මහරජාණෙනි, බ්‍රහ්මරාජයා අනන්ත බුද්ධි ඇති භාග්‍යවතුන් වහන්සේගේ ශිෂ්‍යයෙකි.”

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඔබ වහන්සේ ඉතා දක්ෂ වන සේක” යැයි පැවසූ මිළිඳු රජු නැවත මෙසේ ඇසුවේ ය.

උපසම්පදාවේ සුන්දරත්වය

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, උපසම්පදාව යනු සුන්දර දෙයක් ද?

“එසේය මහරජාණෙනි, උපසම්පදාව ඉතා සුන්දර ය”

“එසේ වී නම් ස්වාමීනි, බුදුරජාණන් වහන්සේට ඒ උපසම්පදාව තියෙනවාද? නැද්ද?”

“මහරජාණෙනි, අප භාග්‍යවතුන් වහන්සේ බෝධි වෘක්ෂ මූලයෙහිදී ශ්‍රී සම්බුද්ධත්වයට පත්වෙනවාත් සමඟ ම උපසම්පදාව ට ද පත් වූ සේක. මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්හට දිවිහිමියෙන් ඉක්මවා නො යන ලෙස ශික්ෂාපද පනවන සේක. ඒ අයුරින් අප භාග්‍යවතුන් වහන්සේගේ උපසම්පදාව අන්‍ය වූ ශ්‍රමණ, බ්‍රාහ්මණ කෙනෙක් හෝ දෙවි මිනිස් කෙනෙක් හෝ විසින් දෙන ලද්දක් නොවේ” යැයි නාගසේනයන් වහන්සේ වදාළ සේක.

දෙතිස්පුරුෂ ලක්ෂණ

නැවත මිළිඳු රජු මෙසේ ඇසුවේ ය. “ස්වාමීනි නාගසේනයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ද, අසූවක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් ද සෝභමානව, රන්වන් පැහැයෙන් දිලිසෙන, දුහුවිලි නො වදින සමකින් යුක්තව ප්‍රභාවෙන් යුක්තව සිටි සේක් ද?”

“එසේය මහරජාණෙනි, අප භාග්‍යවතුන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ද, අසූවක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් ද සෝභමානව,රන්වන් පැහැයෙන් දිලිසෙන දුහුවිලි නො වදින සමකින් යුක්තව ප්‍රභාවෙන් යුක්තව සිටි සේක.”

“කිම? ස්වාමීනි, බුදුරදුන්ගේ මවුපියනුත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත ද? අසූවක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් යුක්ත ද? සෝභමාන ද? රන්වන් පැහැයෙන් යුක්ත ද? දිලිසෙන දුහුවිලි නොවදින සමකින් යුක්ත ද? ප්‍රභාවෙන් යුක්ත ද?

“නැත මහරජාණෙනි, අප භාග්‍යවතුන් වහන්සේගේ මවුපියන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත නැත. අසූවක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් යුක්ත නැත. සෝභමාන නැත. රන්වන් පැහැයෙන් යුක්ත නැත. දිලිසෙන දුහුවිලි නො වදින සමකින් යුක්ත නැත. ප්‍රභාවෙන් යුක්ත නැත”.

“ස්වාමීනි, එහෙම නම් බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තව, අසූවක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් යුක්තව, සෝභමානව, රන්වන් පැහැයෙන් දිලිසෙන, දුහුවිලි නො වදින සමකින් යුක්තව, ප්‍රභාවෙන් යුක්තව නූපදින සේක. එසේ නමුත් දරුවාට මවගේ හැඩරුව හෝ ඇතිවෙයි. මවු පාක්ෂික ගති ඇතිවෙයි. පියාගේ හැඩරුව හෝ ඇතිවෙයි. පිය පාක්ෂික ගති ඇතිවෙයි.”

“මහරජාණෙනි, සියපත් නෙළුම කියා දෙයක් තියෙනවා නේද?”

“එසේය ස්වාමීනි”

“ඒ සියපත් නෙළුම හටගන්නේ කොහෙ ද?”

“මඩෙහි උපදින්නේ ය. දිය මතින් පිපෙන්නේ ය”

“මහරජාණෙනි, කිම? ඒ සියපත් නෙළුමත් මඩ හා සමාන රූපයෙන් හෝ ගන්ධයෙන් හෝ රසයෙන් හෝ යුක්තද?”

“නැත ස්වාමීනි”

“මහරජාණෙනි, මෙයත් එබඳු දෙයක්. අප භාග්‍යවතුන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ද, අසූවක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් ද සෝභමානව, රන්වන් පාටින් යුක්තව දිලිසෙන, දුහුවිලි නො වදින සමකින් යුක්තව, ප්‍රභාවෙන් යුක්තව සිටි සේක.”