Print this Article


පොහොසතුන්ගේ හා දුප්පතුන්ගේ දාන

පොහොසතුන්ගේ හා දුප්පතුන්ගේ දාන

“අප්පස්මෙකෙ පවෙච්ඡන්ති
බහුනෙකෙ න දිච්ඡරෙ
අප්පස්මා දක්ඛිණා දින්නා
සහස්සෙන සමං මිතා”

ඇතැමෙක් තමාට ස්වල්ප දෙයක් ඇතුව සිට එයින් දන් දෙති. ඇතමෙක් බොහෝ වස්තුව ඇතුව ද, එයින් දන් නො දෙති. යමෙක් තමාට ඇත්තා වූ ස්වල්ප වස්තුවෙන් දන් දේ නම් දුප්පතාගේ ඒ මඳ දීමනාව පොහොසතකුගේ දහසක් දීම හා සමය යනු මෙහි අදහසයි.

මෙයින් දුප්පතකු විසින් දෙන රුපියලක් වටිනා දානය පොහොසතකුගේ දහසක් වටිනා දානයට සමවන බවත්, දුප්පතා එක් භික්ෂුවකට දෙන දානය පොහොසතකු විසින් භික්ෂූන් දහසකට දෙන දානය හා සමාන බව ද ප්‍රකාශිත ය. ඇතැම්හු දුප්පත් නිසා අපට නො දිය හැකි යැයි දීමට පසුබට වෙති. එය අනුවණ කමකි. තමාට ඇති සැටියට බත් සැන්දක් වූවත් දිය යුතු ය. දුප්පතාට එය මහා දානයෙකි. “අසය්හ” සිටාණන් දන් දෙන තැනට යන දුගී මගී යාචකාදීන්ට දකුණු අත දිගු කොට මඟ පෙන් වූ දුප්පත් මිනිසෙක්. ඒ පිනෙන් දකුණතින් සියල්ල වෑස්සෙන ආනුභාවයක් ඇති දෙවියෙක් විය. මඟ පෙන් වූ පිනෙන් ම එපමණ ඵලයක් වූ කල්හි ස්වල්පයක් මුත් දෙන තැනැත්තකුට කොපමණ මහත් ඵලයක් ලැබිය යුතු ද? දුප්පත් යැයි සිතා පසුබට නොවී ස්වල්පයක් වූවත් දීමට පින් කැමතියන් පුරුදු කර ගත යුතු ය.

කාල දානයෝ

“පඤ්චිමානි භික්ඛවෙ, කාල දානානි. කතමානි පඤ්ච? ආගන්තුකස්ස දානං දෙති, ගමිකස්ස දානං දෙති, ගිලානස්ස දානං දෙති. දුබ්භික්ඛෙ දානං දෙති. යාති තානි නව සස්සානි නව ඵලානි පඨමං සීලවන්තේසු පතිට්ඨාපෙති. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච කාල දානානි.”

යනුවෙන් කාල දාන පසක් වදාරා තිබේ. ඔවුහු නම් ආගන්තුකයන්ට දන් දීම ය. ගමිකයන්ට දන් දීම ය. රෝගීන්ට දන් දීම ය. දුර්භික්ෂයෙහි දන් දීම ය. ගොවිකම් කොට පළමු ලැබූ දෙය දන් දීමය යන මොහුය. ආගන්තුකයෝ නම් යම්කිසි තැනකට අලුත පැමිණ සිටින්මෝ ය. ගමිකයෝ නම් යම්කිසි තැනකට යෙමින් සිටින්නෝ ය. ආගන්තුක වූ ද, ගමික වූ ද, ගිලන් වූ ද ගිහි පැවිදි කවුරුත් ආහාර පාන සපයා ගැනීමට අපහසු අවස්ථාවකට එළඹ සිටින්නෝ ය. එය ඔවුනට අනුන්ගේ උපකාර විශේෂයෙන් ම වුවමනා අවස්ථාවෙකි. එබැවින් ඔවුනට දීම කාල දානයකි. නොහොත් සුදුසු අවස්ථාවන්ට දෙන දානයකැයි තථාගතයන් වහන්සේ වදාළ සේක. දුර්භික්ෂය සැමට ම ආහාර පාන දුර්ලභ අවස්ථාවෙකි. එබැවින් ඒ අවස්ථාවේ දීම ද කාල දානයෙකි. ගොවිකමකින් පළමු ලැබුණ දෙය උතුම් වස්තුවකි. එය උත්තමයනට දීම ද කාල දානයෙකි.

“කාලෙ දදන්ති සප්පඤ්ඤා - වදඤ්ඤු විතමච්ඡරා
කාලෙන දින්නං අරියෙසු - උජුභූතෙසු තාදිසු
විප්පසන්නමනා තස්ස - විපුලා හොති දක්ඛිණා”

මසුරු මළ දුරු කළා වූ, දෙන ස්වභාවය ඇත්තා වූ නුවණැත්තේ දීමට සුදුසු කල්හි දන් දෙති. කාය, වාචා, චිත්ත වංකයන් ප්‍රහීණ බැවින් අවංක වූ ඉෂ්ටානිෂ්ටයන්හි ඇල්ම හා කෝපය නැත්තා වූ ආර්යයන් කෙරෙහි ප්‍රසන්න සිත් ඇත්තා වූ යමෙක් දන් දේ ද, ඔහුගේ දානය මහත් ඵල වන්නේ ය යනු ගාථාවෙහි අදහසයි.

බෞද්ධයාගේ අත්පොත ඇසුරෙනි.