Print this Article


මරණය අබියස අසරණ නොවීමට...

මරණය අබියස අසරණ නොවීමට...

නමෝ තස්ස් භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
“ගබ්බමේකේ උප්පජ්ජන්ති
නිරයං පාප කම්මිනෝ
සග්ගං සුගතිනෝ යන්ති
පරිනිබ්බන්ති අනාසවා”

ජරා , මරණ දුකින් පීඩා විඳින සත්වයාහට ඉන් නිදහස් වීම පිණිස මාවත විවර කරන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පමණි. උන්වහන්සේ පහළ වන අවධිය මරණය හා මරණින් පසු පැවැත්ම පිළිබඳ අවදි කමක් පැවති අවස්ථාවකි.

බුදුසමයේ දක්නට ලැබෙන “විපරිණාමය” යන වචනය නිරතුරුව වෙනස්වීම අර්ථවත් කරයි. එය භාග්‍යවතුන් වහන්සේගේ මුව මඬලේ උපන් සුන්දර වචනයකි. ලෝකයේ පවතින සංඛත, අසංඛත ධර්මයන් වෙනස්වීමට විශාල කාල පරාසයක් අවශ්‍ය නොවේ. ඔබටත්, මටත් අද රාත්‍රීය අවසාන රාත්‍රිය විය හැකි ය. කුඩා මදුරුවෙකුට වූව ද, මේ ජීවිතය උදුරා ගත හැකි බව මතක තබාගෙන කටයුතු කිරීම වැදගත් වේ. මේ ජීවිතයේ අවසානය, මරණය යනුවෙන් ද හැඳීන්වීම වරදක් නැත. උපන් සත්ත්වයා මරණය කරා ළඟාවේ. එය සුළං කවුළුවක හදන කුරුලු කූඩුවක් තරමට ම අවිනිශ්චිත ය. බුද්ධ දේශනාවට අනුව ගවයෙකු ගවඝාතනාගාරයකට දක්කන්නේ යම්සේ ද, උපන් සත්වයා ජරා මරණ දුක කරා ළඟා වේ. ගවඝාතනාගාරයට ළඟා වූ විට ගවයා අතිශය අසරණ භාවයට පත් වේ. ප්‍රධාන දොරටුව කරා ළඟා වන ගවයාට මරණයෙන් බොහෝ කල්ගත වූ ගවයන්ගේ හිස්කබල් දක්නට ලැබේ. අලුතින් මරණ ලද ගවයන්ගේ ලේ ගඳ දැනෙයි. එසේම මරණාසන්න වූ ගවයන් කෑ ගසන හඩ ඇසෙයි. මේ සියල්ල දකින ගවයාට කිසිවක් කරගත නොහැකි ය. එහෙත් එක දෙයක් කළ හැකි ය. එනම් මරණය පැමිණෙන තුරු කෑ ගැසීම පමණකි. එනිසා බුදුසමය පෙන්වා දෙන්නේ මරණය ඉදිරියේ අසරණ නොවීම පිණිස මානව චර්යා ගොඩනඟා ගැනිමට අප්‍රමාදී විය යුතු බවයි. බොහෝ දෙනෙක් මරණය ඉදිරියේ ජීවිතය යදින්නේ මරණින් මතු පැවැත්ම පිළිබඳ තමා තුළ පවතින අනපේක්ෂිත බව නිසා ය.

සැබැවින් ම මරණින් මතු පැවැත්මට කුමක් වේ ද? බුද්ධ කාලයේ ද මෙම ගැටලුවට විසඳුම් සෙවූ පිරිස් අතර ශ්‍රමණ සම්ප්‍රදාය සුවිශේෂී වේ. ආජීවක, පරිබ්‍රාජක, ජටිල, නිගන්ඨ, ආදී ශ්‍රමණයන් විශ්වාස කළේ මරණින් පසු පුද්ගලයාගේ පැවැත්මක් ඇති බවයි. එනිසා ඔවුන් ශරීරයට අධික දුක් දෙමින්, මරණින් පසු ජීවිතය යහපක් කරගැනීමට අත්තකිලමථානුයෝගය අනුගමනය කිරීමට පෙළඹී ඇත. මරණින් පසු උපතක් නැතැයි පිළිගත් බ්‍රාහ්මණ සම්ප්‍රදාය ශරීරයට අධික සැප දෙමින් කාමසුඛල්ලිකානුයෝගය අනුගමනය කළේ ය. බුදුසමය මෙම උභයාංශය බැහැර කරමින් මධ්‍යම ප්‍රතිපදාවක් කෙරෙහි අවධානය යොමුකරමින් මරණය පරිපූර්ණයෙන් නවතා දැමීමට මාවතක් විවර කරයි. එය පෙර නොඇසූ විරූ විග්‍රහයකි.

හේතුඵලවාදී ව පුද්ගලයා මුහුණ දෙන අත්දැකීම් විස්තර කළ භාග්‍යවතුන් වහන්සේ මරණින් මතු පවතින විවිධත්වය හා ඊට අනුරූපී විපාකයන් ද මැනවින් විස්තර කරයි.

දම් දෙසුම ආරම්භයේ දක්වන ලද ගාථාවට අනුව පුද්ගලයා මුහුණ දෙන අත්දැකීම් මගින් ගොඩනගා ගන්නා චින්තනය තුළ විවිධත්වයක් ඇත. එනිසාම එකම සිදුවීමක් මුල්කරගෙන මරණින් මතු උපන් සත්වයා තුළ විවිධත්වයක් දක්නට ලැබේ. පටිච්චසමුප්පාදයට අනුව උපාදානයට අනුව භවය සකස් වේ . අපගේ මූලාශ්‍ර ගාථාවට අයත් වන නිධාන කථාව ද මෙහිදී වැදගත් වේ. තිස්ස නම් රහතන් වහන්සේ නමක් අවුරුදු ගණනාවක් මැණික් ඔප දමන්නෙකුගේ නිවසට පිණ්ඩපාතයේ වැඩම කරන අතර, ඔහුත් , බිරිඳත් තිස්ස හිමියන්ට සැදැහෙන් දන්පැන් පිරිනමති. එනිසා මණිකාර කුළුපගතිස්ස නමින් ප්‍රසිද්ධ විය. හිමියන් දානය පිණිස වැඩම කොට සිටි අවස්ථාවක අසරුවකු පිට පැමිණි රාජ පුරුෂයකු ඔහු අත මැණිකක් තබා හැකි ඉක්මනින් ඔප දමා දෙන ලෙස දන්වා පිටව යයි. මණිකාර මාංශයක් පිළියෙල කරන අතර, ලේ තැවරුණු අතින් මැණික ගෙන පැත්තකින් තබයි. නිවසේ ආදරයෙන් ඇති කරන කොස්වාළිහිණියකු ලේ තැවරුණු මැණික ගිල දමන අතර, තිස්ස හිමියන් මෙම සිදුවීම දැක නිහඬව වැඩ සිටියි. පසුව මැණික සොයන මේ ඔපදමන්නා කලබලයට පත්ව, ස්වාමීනි , ඔබ වහන්සේවත් මැණික දැක්කදැයි විමසයි. තිස්ස හිමියෝ නිරුත්තර ව වැඩසිටිති. මැණික් කරුගේ සිතෙහි සැකය මෝරා වැඩෙයි. ඔහු සිතන්නේ, මේ හිමි හැර අන් කිසිවෙකු අපේ නිවසට පැමිණියේ නැත. මැණික දුටුවේ ද හිමියන් පමණයි. මැණික කෙරෙහි උපන් ලෝභ සිතින් හිමියන් මැණික සඟවා ගෙන ඇතැයි ඔහුට සැකයක් උපන්නේ ය. එය සාධාරණීකරණය කර ගැනීමට තිස්ස හිමියන්ගේ නිහැඬියාව ද හේතුවන්නට ඇත. පසුව ඔහු හිමියන් ඉදිරියේ ආයාචනා කරන්නේ “ස්වාමීනි මැණික ගත්තනම් ලබා දෙනු මැනවි! අපේ දරුවෙක් වගේ ඔබවහන්සේ නිවසට වැඩම කළ නිසා අහිතක් නොහිතමි” යනුවෙන් ඉල්ලා සිටිය ද, හිමියන් නිහැඬියාවෙන් ම වැඩසිටියි. එනිසා සැකය වැඩිකරවයි. පසුව වියරු වූ සිතින් ලණුවක් ගෙන හිමියන්ගේ හිස වෙළා හිරිහැර කරන අතර, තිස්ස හිමියන්ගේ හිසින් ගලන ලේ සුවඳට කොස්වාළිහිණියා පැමිණ හිසේ දැවටෙමින් ලේ රසවිඳීයි. මේ අතර බිරිඳ පැමිණ හිමියන්ගේ ගුණය කියමින් මෙය බලවත් අකුසලයක් බව හඬමින් ප්‍රකාශ කළද, ඔහු , ඇය ගණනකට ගත්තේ නැත. කේන්තියෙන් ළඟ තිබූ පොල්ලක් ගෙන හිසේ වසා සිටි ළිහිණියාට ද පහර දෙන විට පහර කෑ ළිහිණියා මැරී වැටෙයි. එවිට කොස්වාළිහිණියා මළ බව දැනගත් තිස්ස හිමියෝ ලිහිණියාගේ කුස පලා මැණික ලබාගන්නා ලෙස සිහි කරමින් උන්වහන්සේ ද පිරිනිවී යයි. ළිහිණියා මිය ගොස් ගර්භයක උපදී. බිරිඳ සුගතිගාමී වේ. මැණික් ඔප දමන්නා පසුතැවීමෙන් මියගොස් නිරයගාමී වේ. අරහත්වයට පත්ව සිටි මණිකාර කුළුපගතිස්ස හිමියෝ පිරිනිවුණු සේක. මෙම සිදුවීම මුල්කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ ඉහත ගාථාව දේශනා කළ සේක. මෙහි සුවිශේෂත්වය වන්නේ එකම සිදුවීමක් මුල් කොටගෙන මරණින් මතු මුහුණදෙන පහළවීමේ විවිධත්වයයි.

“ගබ්බමේකෙ උප්පජ්ජන්ති” යනු මරණින් පසුව ඇතැමෙක් ගර්භයක උපදින බවයි. “සග්ගං සුගති නො යන්ති” යනු පුණ්‍ය සංස්කාරයක් උපදවා ගත් තැනැත්තා සුගතිගාමී වේ යන්නයි. “නිරයං පාප කම්මිනො” යන්න පව් කරන්නා නිරයගාමී වන බවත්, “පරිනිබ්බන්ති අනාසවා” යනුවෙන් අර්ථවත් වන්නේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ රහත් උතුමන් පිරිනිවෙන බවයි. ඒ අනුව මරණින් මතු

පවතින ස්වභාවය ඒකාකාරී තත්වයක් නොව , විවිධත්වයක් මත සිදුවන්නක් බව ඉතා පැහැදිලි ව බුදුන් වහන්සේ දේශනා කොට ඇත.

මරණින් පසුව පවතින විවිධත්වය භෞතික විද්‍යාවකින් ස්පර්ශ කිරීමට තවත් බොහෝ කල් ගත වේ. එසේම බුදුසමය පෙන්වා දෙන මරණින් පසු පවතින විවිධත්වයට වගකිව යුත්තේ ද අන් කිසිවකු නොව තමන් ම ය. එනිසා තමන්ගේ භවගාමී සුගතිය තමන් සලසා ගත යුත්තකි. එය අන් කිසිවෙකුටවත් කළ හැක්කක් නොවේ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ තමන් වහන්සේ ද මග කියන්නෙකු පමණක් බවත්, මග අනුගමනය කිරීම තම තමන් කරගත යුතු දෙයක් බවයි. ලොව පවතින සෑම සිදුවීමක් දෙසම පළල් කල්පනාවක් සහිත ව අවධානය යොමු කිරීම සුගතිගාමී වීමට උපකාරී වේ. ඉහතින් සඳහන් කළ මැණික් ඔප දමන්නා තුළ පැවතුණේ පටු කල්පනාවකි. අවුරුදු ගණනාවක් තම නිවසට වැඩම කළ ගුණවතුන් වහන්සේගේ ගුණය , ස්වල්ප සිදුවීමකින් අමතක වීමට තරම් ඔහුගේ චින්තනය පටු විය. එනිසා ම ඔහු නිරයගාමී විය.

හේතුඵලවාදී ව ලෝකය දෙස අවධානය යොමු කිරීමට පුද්ගලයාට බුදුසමය මග පෙන්වයි. ඵලයට ප්‍රතිචාර නොදක්වා හේතුව ගවේෂණය කිරීම මරණින් පසු පැවැත්මට උපකාරී වේ. එය නිවනට ද කිට්ටු අවස්ථාවකි. පින ගැන වුව ද වැඩි වශයෙන් අවධානය යොමු කිරීම භාග්‍යවතුන් වහන්සේගේ අරමුණ නොවේ. එහෙත් බුදුරජාණන් වහන්සේ පිනට නින්දා නොකරති. පිනෙහි ප්‍රතිඵලයක් ලෙස මරණින් මතු සුගතිගාමී වුව ද, පුණ්‍ය සංස්කාරයන් අනිත්‍ය වූ විට නැවත නිරයට, ප්‍රේත ලෝකයට වැටීමට ඉඩකඩ ඇත. වඩා වැදගත් වන්නේ පරිපූර්ණ වශයෙන් කෙලෙස් නිරෝධ කොට නිවීමට පත් වීමයි. එය සැබෑ බුද්ධ පූජාවයි. මල්පහන්, ආහාර පිදීමට වඩා අරහත්වයෙන් බුද්ධ පූජා පැවැත්වීම වටින්නේ ය.

ගිහි පැවිදි කවුරුන් වුව ද මරණින් මතු පවතින විවිධත්වය පිළිබඳ අවබෝධ කරගැනීම වැදගත් වේ. මෙහි වැදගත් කරුණ නම් තමන් නුදුරු දිනක මිය යන බවත්, අනතුරුව මා නැවත උපදින්නේ කුමන ස්ථානයක දැයි නිරතුරුව සිහිකිරීමයි. එය ධර්මානුකූල ජීවිතයට දොරටු විවර කර දෙනු ඇත.

අකුසල් ප්‍රහාණය කරමින්, කුසලය තුළ සමාදන් ව තම චර්යා ගොඩනඟා ගැනීමට ඔබ තුළරුචිකත්වයක් ඇතිවීමට ද එය උපකාරී වේ. “මරණං තං හි ජීවිතං” යනුවෙන් ධර්මයේ දැක්වෙන්නේ ජීවිතය මරණයෙන් කෙළවර වන බවයි. අවසානය යනු ආරම්භයට මුලපිරීමකි. ආරම්භය වඩා යහපත් කරගැනීමේ වගකීම ඔබ සතු වේ. මරණින් පසු සුගතිගාමී වීම හෝ දුගතිගාමී වීමේ භාරකරුවා ද ඔබ ම ය. මරණින් පසු යහපත පිණිස සියලු පව් දුරු කරමින්, කුසල් වඩමින් සිත රැක ගනිමින් වාසය කිරීමට මෙම දම් දෙසුම උපකාර වේවා යැයි ප්‍රාර්ථනා කරමි.