Print this Article


පෑලියගොඩ විද්‍යාලංකාර ධර්ම විද්‍යාලය

පෑලියගොඩ විද්‍යාලංකාර ධර්ම විද්‍යාලය

පෑලියගොඩ ද්‍යාලංකාර ධර්ම විද්‍යාලය ආරම්භ කළේ 1948 වසරේදී ය. විද්‍යාලංකාර පිරිවෙනේ තවත් ධර්ම ශාස්ත්‍රීය සේවයක් ලෙස සලකා ඇරඹූ නව දහම් පාසලේ එවකට ප්‍රධානාචාර්යවරයා වූයේ ත්‍රිපිටකාචාර්ය කොටහේනේ ප්‍රඤ්ඤාකීර්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. වර්තමාන ප්‍රධානාචාර්ය සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති සාහිත්‍ය චක්‍රවර්තී අග්ග මහා පණ්ඩිත මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ එවකට දහම් පාසලේ සම්පාදකවරයා වූ හ.

1948 වර්ෂයේ ආරම්භ කළ විද්‍යාලංකාර ධර්ම විද්‍යාලය එයට ම විශේෂ වූ පාඨමාලා ඔස්සේ දහම් අධ්‍යාපනය ලබා දුන් අතර, එම අධ්‍යාපනයේ අවසාන ඉලක්කය වූයේ විද්‍යාලංකාර පිරිවෙන මඟින් පවත්වන ධර්මාචාර්ය පරීක්ෂණය යි. එම පාඨමාලාව හදාරා ධර්මාචාර්ය සහතිකය දිනුවෝ රැසක් ම වූ හ.

දහම් පාසලේ අද මෙන් ම එදා ද පිළිවෙත වූයේ විවිධ කුසලතා ඇති සිසුන් හඳුනාගෙන ඔවුන්ගේ කුසලතා වර්ධනයට අදාළ ශක්තිය හා ධෛර්යය ලබා දීමයි. ඒ අනුව කුසලතා වර්ධනය කරගත් කථිකයන්, ලේඛකයන්, ගායක ගායිකාවන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, රංගන ශිල්පීන් රැසක් ම රටට ප්‍රදානය කිරීමට දහම් පාසලට හැකි විය.

ඒ අතර විශ්ව කීර්තියට පත් මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා, ගායිකා සුජාතා අත්තනායක, චිත්‍රපට අධ්‍යක්ෂ එච්.ඩී. ප්‍රේමරත්න ආදී සිසුහු රටත් දිනා, ලොවක් දිනූ කලාකරුවෝ බවට පත් ව සිටිති. මාලනී ෆොන්සේකා පවුල, සුජාතා අත්තනායක පවුල විද්‍යාලංකාර දහම් පාසලේ ආභාෂය ලබමින් ඉදිරි පියවර තබා ඇත. ඒ අතර නර්ථන ශිල්පිනියක් මෙන් ම ගායිකාවක් ද වන රංජනී පෙරේරා නම් වූ ගුරු උපදේශිකාව නූර්ති ගී පරපුර ඉදිරියට ගෙන යන විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයේ කීර්තිමත් ආදී සිසුවියකි.

වත්මන් විද්‍යාලංකාර පිරිවෙන්පති පදවිය උසුලන කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, අග්ගමහා සද්ධම්මජෝතික ධජ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

1960 වර්ෂයේ දී විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමත් සමඟ අවශ්‍ය ඉඩකඩ හා පරිසරය සකස් කර ගැනීමට එහි වූ ඇතැම් ආයතන ඉවත් කිරීමට ද, ඇතැම් ආයතන තාවකාලික ව නතර කිරීමට ද සිදු විය. ඒ අනුව විද්‍යාලංකාර ධර්ම විද්‍යාලය තාවකාලික ව නොපැවැත්වීමට සිදු විය.

1979 දී විද්‍යාලංකාර ධර්ම විද්‍යාලය නැවත ආරම්භ කළේ සිසු සිසුවියන් 279 කිනි. ඒ සඳහා පළපුරුදු ආචාර්ය මණ්ඩලයක් පත් කර ගත් අතර විෂය මාලා පෙර පරිදි ආරම්භ කළ ද, විද්‍යාලංකාර පිරිවෙනේ ධර්මාචාර්ය විභාගය නොපැවැත්වීම හේතුවෙන් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ අධ්‍යාපන පාඨමාලාව හා වාර විභාග සඳහා සිසුන් යොමු කරවා එමඟින් සහතික පත් ලබා දීමට ක්‍රියා කරන ලදී.

1979 නැවත ආරම්භ කරන ලද විද්‍යාලංකාර ධර්ම විද්‍යාලය වසරින් වසර සංවර්ධනයට පත් විය. සිසු සිසුවියන්ගේ කුසලතා හඳුනාගෙන ඒ ඒ කාර්යයන් වෙත යොමු කොට පුහුණුව හා මඟ පෙන්වා දීම නිසා දක්ෂ කථිකයන්, විවාද කරුවන්, ගායක ගායිකාවන්, නර්ථන ශිල්ප ශිල්පිනියන් හා ලේඛකයන් රැසක් ම වසරක් පාසා සමාජයට ප්‍රදානය කිරීමට වාසනාව ලැබුණි.

සෑම වසරක ම වෛද්‍යවරුන්, ගණකාධිකාරීවරුන්, ඉංජිනේරුවරුන්, කථිකාචාර්යවරුන්, බැංකු නිලධාරීන්, හෙදියන් හා රාජ්‍ය ආයතනවල උසස් නිලතල දරන දරුවන් රටට දායාද කිරීමට හැකි වීම ද එම දරුවන් කලාත්මක සිතිවිලිවලින් පෝෂණය වීම ද සමාජය සුමඟට හැරවීමට හැකි කරුණක් විය.

දැනට පවත්නා අධ්‍යාපන රටාව සමඟ විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයට දරු දැරියන් නො අඩුව පැමිණෙන්නේ දහම් පාසල් වේදිකාව දරුවන්ගේ ජීවන ගමනට හොඳ තෝතැන්නක් බව හඳුනාගෙන ය. තරගයට වඩා තම දැනුම, ආකල්ප, කුසලතා ඇති කර ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙන ය.

විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයේ දරු දැරියෝ වාර්ෂික ව පන්ති මට්ටමින් සිල් සමාදන්වීම, වස් කාලය තුළ ඉරිදා දිනවල මහා සංඝරත්නය වෙනුවෙන් දන් දීම, සිත සන්සුන් කරගන්නා භාවනාමය වැඩසටහන්වලට යොමු වීම ද සිදු කරති. ඒ ඒ පන්ති මට්ටමින් සිදුකර ඒ ඒ ක්‍රියාකාරකම්වලින් දරුවන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීමට ක්‍රියා කෙරේ. මේ සඳහා ආචාර්ය මණ්ඩලය දක්වන උනන්දුව හා කැපවීම ඉතා අගය කළ යුතු ය.

මේ සඳහා වසරක් පාසා ගුරු පුහුණු වැඩසටහනක්, ගුරු සුහද හමුවක්, සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර හා අධ්‍යාපන චාරිකා ගුරුවරුන් සඳහා පැවැත්වෙන අතර ශිෂ්‍ය නායක පුහුණු කඳවුරක් පැවැත්වේ. “හිස තෙල් ගෑම” සඳහා සියලු ම කටයුතු ශිෂ්‍ය නායක මණ්ඩලය සිදු කිරීම ද තවත් වැදගත් කටයුත්තකි.

පී‍්‍රතිපුර ළමා නිවාසයට ශිෂ්‍ය නායක නායිකාවන් සමඟ ගොස් ශ්‍රමදානයක් සිදු කර එම දරුවන්ට ආහාර වේලක් ලබා දීම හා දරුවන් එම දරුවන් සමඟ එකතු වී දරුවන්ගේ සතුට වෙනුවෙන් කටයුතු කිරීම නියඟයෙන්, ගං වතුරෙන් හා වෙනත් හදිසි ව්‍යසනයන්ට ලක් වූවන්ට පිහිට වීම, ගුරුවරුන්ගේ දුකක දී පිහිට වීම, ආචාර්ය මණ්ඩලය, දරු දැරියන්, දෙමාපියන් හා දහම් පාසලට ආදරය කරන අය විසින් කරන ලද පරිත්‍යාගයන්ගෙන් ආචාර්යවරියකගේ ගින්නෙන් විනාශ වූ ගෙයක් සාදා දීම දහම් පාසල් ප්‍රජාව තුළ රට ගැන ලෝකය ගැන මෙන් ම ජීවිතය පිළිබඳ ව ද හැඟීමක් අවබෝධයක් ඇති කිරීමට මෙම ප්‍රජා සංවර්ධන වැඩ පිළිවෙ අනුන් ගැන සිතා ඔවුන් වෙනුවෙන් යමක් කිරීමේ පරෝපකාරී බුදු පිළිවෙත හුරු පුරුදු කිරීමට මෙම වැඩසටහන් වැදගත් ආදර්ශ පාඩමක් බවට පත් වී ඇත.

“පරත්ථං පටිපජ්ජථ” - මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම ය යන බුද්ධ වචනය ක්‍රියාත්මක කිරීමට දහම් පාසලට වඩා සුදුසු වෙනත් තැනක් නැත. බුදුරජාණන් වහන්සේ තරම් පරිසරය අගය කළ, පරිසරය සේවනය කළ තවත් ශාස්තෘවරයකු ද නැත. ජීවිතයේ සුන්දරත්වය හා ආශ්වාදය පිණිස ද නිරෝගී සුව පිණිස ද පරිසරය පිළිබඳ දැනුම අවබෝධය දහම් පාසල තුළින් ලබා දෙයි. මෙය ආදර්ශයට ගත් ශිෂ්‍ය නායක මණ්ඩලය ගුරු දිනය වෙනුවෙන් සෑම ගුරුවරයකුට ම පැළයක් ලබා දීම කාලෙත් පැසසුමට ලක් විය.

ආචාර්ය මණ්ඩලයේ සියයකට අධික පිරිසකට සෑම ඉරිදා දිනක ම ආහාර වේලක් ලබා දීම, දිනකට 3500කට අධික දරුවන් සඳහා පෝෂ්‍යදායක කොළ කැඳ ලබා දීම, සෑම දරුවකුගේ ම ආරක්ෂාව වෙනුවෙන් දීම සහ ඒ සඳහා බැංකු 2ක් ධර්ම විද්‍යාලය තුළ ම භාවිත කර ඇත.

ධර්ම විද්‍යාලයේ සියලු ම ශිෂ්‍ය ප්‍රජාව නිවාස 3කට වෙන් කර වාර්ෂික ව නිවාසාන්තර ඇගයීම් පවත්වා කුසලතා අගය කොට ත්‍යාග ප්‍රදානය කිරීම මඟින් කුසලතා සංවර්ධනයට හා ශිෂ්‍ය හැකියා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සපයා ඇත. මීට අමතර ව ගවේෂණාත්මක හා පර්යේෂණාත්මක පැවරුම් නියම කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ අවධානය යොමු කිරීමටත් එමඟින් දැනුම දියුණු කර ගැනීමටත් ඔවුන් ඉදිරිපත් කරන නිර්මාණ තුළින් බුද්ධි වර්ධනය හා ලේඛන කුසලතා දියුණු කර ගැනීමටත් ඉවහල් වේ. මීට අමතර ව දරු දැරියන්ගේ කුසලතා සංවර්ධනයට හා මානසික ශික්ෂණයට අදාළ වැඩසටහනක් ලෙස භක්ති ගීත සජ්ඣායනා වැඩසටහන යොදා ගෙන ඇත. 2007 වර්ෂයේ ‘දහසක් මුවින් බුදු බැති ගී’ නමින් දරුවන් 1000 ක් සම්බන්ධ කර ඉදිරිපත් කරන ලද භක්ති ගීත වැඩසටහන වර්ෂයක් පාසා විවිධ මාතෘකා ඔස්සේ සිදු කිරීමට හැකි විය. 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් දරුවන් 2600 ක් සහභාගීත්වයෙන් යුද්ධය නිමා වීමත් සමඟ උතුරු හා දකුණ යා කරමින් 2600 ක් දරුවන් වවුනියාව නගරයට රැගෙන ගොස් භක්ති ගීත ඉදිරිපත් කිරීම, දරුවන්ගේ දක්ෂතා කුසලතා එළි දක්වමින් ‘ඇසිදිසි බුදු සිරිත’ නාට්‍ය වෙසක් දින ඉදිරිපත් කිරීම, ජාත්‍යන්තර වෙසක් දිනය වෙනුවෙන් දහසක් මුවින් බොදු බැති ගී, ඇසිදිසි බෞද්ධ නාට්‍ය හා අභාවයට යන නූර්ති ගී ටවර් හෝල් ශිල්පීන් ද සමඟ දහම් පාසල් දරුවන් මඟින් ගායනා හා නර්ථන වේදිකාගත කිරීම ධර්ම විද්‍යාලයේ කාර්යයන්ගෙන් කිහිපයකි.


හැඳල ප්‍රීතිපුර ළමා නිවාසයට දානය පිරිනැමූ දා...