Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්: සම්බුදුගුණ අනන්ත ය

සම්බුදුගුණ අනන්ත ය

ඇතැම් මානසික රෝගවල ස්වභාවය වන්නේ තමාට රෝගයක් පවතින්නේ යැයි තමාට ම නොවැටහීම ය. සියලු මානසික රෝග එබඳු නොවුණත්, එම වර්ගයේ ඒවා ද ඕනෑ තරම් තිබේ. වඩාත් භයානක ඒවා ය. සමාජයේ විවිධ තලවල සිටින පුද්ගලයකු වුවත්, එක්කෝ එබඳු තත්ත්වයකට පත්වන්නේ තමා බලාපොරොත්තු වූ අපේක්ෂා කඩවීම නිසා ය.

දණ්ඩ නම් වූ එක්තරා ගමක ‘බුද්ධදාස’ නමින් බුදුරදුන් සරණ ගිය උපාසකයෙක් ජීවත් විය. ඔහු සෑම කාර්යයක් ආරම්භයේ දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරමින්, උන්වහන්සේගේ අනන්තඅපරිමාණ වූ බුදුගුණ සිහිපත් කිරීම සිරිතක් කරගෙන සිටියේ ය.

දණ්ඩ ගමට පැමිණි එක්තරා පුද්ගලයෙක් බුද්ධදාස නම් උපාසකතුමාගේ නිවසෙහි ටික දවසක් ජීවත්වීමට අවසර ඉල්ලා සිටියේ ය. උපාසකතුමා ද එයට කැමැති විය. එම පුද්ගලයාට එක්තරා යක්ෂ ආවේශයක් තිබිණි. එසේ පැවතිය ද, බුද්ධදාස උපාසකතුමාගේ නිවසේ ජීවත්වන නිසාත්, බුද්ධදාස උපාසකතුමා බුදුන් සරණ ගිය උපාසකයෙකු නිසාත්, තම නිවසෙහි මැනවින් ආගමික වතාවත් ඉටු කරන නිසාත්, යක්ෂයාට එම නිවසට පැමිණීමට අවස්ථාව උදාවුණේ නැත. එනිසාම එම පුද්ගලයාට යක්ෂ ආවේෂ සිදුවන්නේ ද නැත. එම නිවසින් පිටත් වී ගමට යන අතරමග දී අතරමග රැක සිටි යක්ෂයා මනුෂ්‍යයාට ආවේශ විය.

ගෙදර යන අතරමග දී මගේ සිරුරට ආවේශ වී වද දෙන්නේ කුමන හේතුවක් නිසාදැයි යක්ෂයාගෙන් විමසී ය. ‘මට ඔබගෙන් බොහෝ වැඩ කරවාගන්න තිබෙනවා. ඒ නිසා මම හැමදාමත් ඔබගේ සිරුරට ආවේශ වී ඔබ ලවා මට අවශ්‍ය ආහාර සපයා ගන්නවා. මම බොහෝ අවස්ථාවලදී සා දුකින් පීඩා විඳින නිසා මම සා ගිනි නිවාගන්නට ඔබට ආවේශ වී ඒ දෙය ඉටු කර ගන්නවා යැයි යක්ෂයා කී ය.

එවිට එම පුද්ගලයා ද මෙසේ විමසමින් සිටී. ‘එම්බල යක්ෂය, එසේ තට ආහාරයෙන් ප්‍රයෝජන ඇති කල ඇතුළු ගමදී කුමක් හෙයින් මා අල්ලා නොගනිත් ද? එවිට යක්ෂයා කියන්නේ එම්බල පින්වත, තා නැවතී හුන් ඒ ගෙයි බුදුරජාණන් වහන්සේගේ සරණ ගිය උපාසකයෙක් වෙසෙයි. මම ඔහුගේ ඒ බුද්ධරත්නයේ තේජස නිසා ඔබ හට ආවේශ වීමට නොහැකිව ගමින් මෙපිට සැඟවී සිටියෙමි.’ යි කී ය. එවිට එම පුද්ගලයා තමා බුදුසරණ යාම තුළින් අමනුෂ්‍ය උපද්‍රවවලින් මිදෙනු හැකි නොවේදැයි සිතා ආවේශ වී ඇති යක්ෂ උවදුරින් මිදීම සඳහා යක්ෂ ආවේශය පවතිද්දී ම ‘බුද්ධං සරණං ගච්ඡාමි’ යි මහ හඬින් කීය. ඒ ඇසිල්ලෙහි යක්ෂයා මහත් බියට පත්ව මහ හඬින් ගුගුරා වෙව්ල වෙව්ලා ඒ දනව් වැසි පුරුෂයා අතහැරදමා දුවන්නට විය. ‘බුදුරදුන් සරණ ගිය’ නිසාම කවදාවත් යක්ෂයාගෙන් එම පුද්ගලයාට හිරිහැරයක්, කරදරයක්, පැමිණියේ නැත.

බොහෝ කාලයක් පුරාවට යක්ෂ භයින් පීඩාවට පත් වූ එම පුද්ගලයා එයින් සුවපත් වූ එම කතා පුවත සද්ධර්මාලංකාරයෙහි යක්ෂ වඤ්පිත කතා වස්තුවෙහි දක්නට ලැබෙයි.

බුද්ධරත්නය කෙරෙහි ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ජීවත් වන පුද්ගලයාට ජීවිත කාලයම සන්තෝෂයෙන් ජීවත් විය හැකි ය. ‘බුද්ධ’ යන වචනය සියලු උපද්‍රව නසන ඉතා ප්‍රත්‍යක්ෂ අත්දුටු ඖෂධයක් වෙයි.

ජරා මරණ දළ සඟලක් ඇති, සතර අගති නමැති පා සතරක් ඇති, මෘත්‍යුමාර නමැති සොඬක් ඇති, නිතරම වහනය වන්නා වූ කෙලෙස් නමැති මද ජල ධාරාවන් ඇති, ඉතා දරුණු වැළකිය නොහැකි සංසාර නමැති හස්ති රාජයා රැඳවීමට හෙවත් දමනය කිරීමට තියුණු වූ වීදුරු අකුස්සක් වැනි ය. සංසාර නමැති රාක්ෂයාට සද්ධර්මාලංකාරය මා හැඟි යන්ත්‍රයක් වැනි ය.

වර්තමාන සමාජයේ ජීවත්වන ඇතැම් පුද්ගලයන් තම ඇසට නොපෙනෙන නිසා අමනුෂ්‍ය බලවේග නැති බව කියති. ඇතැම් පුද්ගලයන් නවීන විද්‍යාවට, තාක්ෂණයට අසු නොවන නිසා පැවැති දේ නැති බවට ප්‍රකාශ කරති. ඇතැමුන් අමනුෂ්‍ය බලවේග ඇති බවට ප්‍රකාශ කරමින් තම ආර්ථික වාසි ලබා ගැනීම සඳහා ඒ පිළිබඳ කිසිදු වැටහීමක් නැතුවත් අමනුෂ්‍ය බලවේග තිබෙන බව පවසති. මිනිස් මොළයට යම් යම් රසායනික වෙනස්කම් නිසා ඇතිවන ඇතැම් මානසික අක්‍රමිකතා ද අමනුෂ්‍ය බලවේග ලෙස අර්ථකතනය කොට මුදල් උපයා ගනිති.

ඇතැම් මානසික රෝගවල ස්වභාවය වන්නේ තමාට රෝගයක් පවතින්නේ යැයි තමාට ම නොවැටහීම ය. සියලු මානසික රෝග එබඳු නොවුණත්, එම වර්ගයේ ඒවා ද ඕනෑ තරම් තිබේ. වඩාත් භයානක ඒවා ය. සමාජයේ ඉහළම තලවල සිටින පුද්ගලයකු වුවත්, එක්කෝ එබඳු තත්ත්වයකට පත්වන්නේ තමා බලාපොරොත්තු වූ අපේක්ෂා කඩවීම නිසා ය.

නිවැරැදි ප්‍රඥාව නැති, බොහෝ ආර්ථික අවශ්‍යතා ඇති පුද්ගලයන් සම්පත් මුදල් හම්බකරගැනීමට හැකි පරිදි මෙබඳු සමාජ වටපිටාවක් ගොඩනගමින් කටයුතු කරති. මිනිසා නිවැරැදි දෙය අවබෝධකරගත යුතු බවත්, ඒ සත්‍ය මාර්ගයෙන් පිට පැන මුදල් හම්බකිරීමේ මිථ්‍යා මාර්ගවල ගමන් කරති. බුද්ධ රත්නය උතුම් ගුණ හා නැණ සමුදායකින් පිරුණු දහමක් වුවත්, ඇතැමුන් යක්ෂ, භූත, ප්‍රේතයන් බුද්ධ රත්නයටත් වඩා ඉහළින් තබා යථාර්ථය විකෘති කරන්නට උත්සාහ දරති. මිනිස් චින්තනය විකෘති කිරීමට වෙර දරති. බුද්ධ රත්නයට එරෙහිවන බොහෝ යක්ෂ, ප්‍රේත, භූත, කුම්භාණ්ඩ, පිසාචයන් විසින් බුද්ධ රත්නය හමුවේ පරාජය පමණක් බාරගනු ලබන බව ආටානාටිය සූත්‍රයේ දක්වා තිබෙන බවත් ඔවුහු නොදනිති.