Print this Article


බුදුදහම හා සොබාසිරිය

බුදුදහම හා සොබාසිරිය

සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය යැයි කල්පනා කරමින් උකටලී වීම බුදුදහමේ අපේක්ෂාව නොවේ. අනිත්‍ය වූ වස්තුව තුළ පවා පවතින යථාර්ථවාදී සුන්දරත්වය දක්වමින්, එය ඉක්මවා යෑමට පෙළඹවීම බුදුදහමේ මුඛ්‍ය පරමාර්ථයයි.

සමස්ත බුද්ධ වචනය සූත්‍ර, විනය, අභිධර්මය යනුවෙන් තුන් පිටකයේ වෙන්කොට වසර ගණනක් මුළුල්ලේ භික්ෂූන් වහන්සේලා විසින් මහත් උත්සාහය ගෙන කටපාඩමෙන් පවත්වාගෙන අවුත් මාතලේ අලු විහාරයේ දී ග්‍රන්ථාරූඪ කරන ලද බව ඓතිහාසික වාර්තාවල සඳහන් වේ. එයින් සූත්‍ර පිටකයෙහි බුද්ධ දේශිත සූත්‍ර දේශනාවන්හි සෞන්දර්යාත්මක රසවින්දනය පිළිබඳ පැහැදිලි ඉගැන්වීම් බොහෝ සෙයින් හමු වේ.

සෞන්දර්යය යනු සුන්දරත්වය හෝ සොඳුරු බවයි. විවිධ භාෂාවන්ගෙන් සෞන්දර්යය පිළිබඳව විවිධ නිර්වචන ඉදිරිපත් වී තිබේ. සුන්දරත්වය ප්‍රකට කෙරෙන්නේ කලාව හරහා ය. කලාව යනු කාව්‍ය, නාට්‍ය, සංගීතය, චිත්‍ර මූර්ති හා සාහිත්‍ය යන අංගයන්ගේ එකතුවයි. කලාවේ උත්තරීතර අරමුණ නම් සොබා දහමේ ඇති විවිධ අරමුණු රසවත්ව නිර්වචනය කරමින් ඉදිරිපත් කිරීමයි.එක් පසෙකින් කලා නිර්මාණය හා සෞන්දර්යය රසාස්වාදය ලෙස සැලකේ. සෞන්දර්යාත්මක කලා නිර්මාණයන් සඳහා දැඩි වූ මිනිස් මනස වෙඬරු පිඩක් සේ මෘදු කළ හැකි යැයි විශ්වාසයක් පවතී. සියල්ලටම කලා නිර්මාණය බිහි කිරීමේ හැකියාව නැති වුව ද, රස විඳීමේ හැකියාව ද ඇත. එය ද විවිධ ආකාර වේ. එයට හේතුව වන්නේ ඒ ඒ පුද්ගලයා සතු දැනුම කුසලතාව, අවබෝධය හා දෘෂ්ඨියේ ඇති පුළුල් බව හා පටු බව මත ය. ඕනෑම කලා නිර්මාණයක් විවිධ දෘෂ්ටි කෝණ ඔස්සේ නිර්වචනය කිරීමේ හැකියාව තිබේ. එය උක්ත කරුණ මත පදනම් වේ.

මෙවන් පසුබිමක් තුළ ලෝකයේ පවතින සුන්දර වස්තු සහ සුන්දර ස්වභාවය ඉක්මවා ගිය දහමක් ලෙස බුදු දහමට සෞන්දර්යය ගැන කතා කළ හැකි ය. කලාවට අන්තර්ගත සියලු විෂයයන්හි සොඳුරු බව බුදුදහමට දැකිය නොහැකි යැයි ඇතැම්හු විශ්වාස කරති. එයට හේතු ලෙස ඔවුන් දක්වන්නේ බුදුදහම දුක පිළිබඳව නිරන්තර අවදිකමකින් හා ඒ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන හෙයිනි. බුදු දහමේ ප්‍රමුඛ අපේක්ෂාව වන්නේ සංසාරගත දුකින් අත් මිදීමත්, ලෞකිකත්වයෙන් බැහැරව ලෝකෝත්තර වූ නිවන කරා ළඟා වීමයි. ඒ සඳහා පුද්ගලයා යොමු කිරීම හා මග කියාදීම බුදු දහමින් ප්‍රකට වන මූලික ලක්ෂණයකි.

එවන් තත්ත්වයක් හමුවේ කලාව, සාහිත්‍ය වැනි රසෝත්පාදක විෂයක් පිළිබඳව සාකච්ඡා කරන්නේ කිනම් අයුරකින් දැයි ප්‍රශ්න කිරීමට පෙළඹීම ද යම් ප්‍රමාණයක සාධාරණයක් ව පවතී. ලොව පවතින සුන්දරත්වය රසවිඳින ආකාරය විවිධ අවස්ථාවලදී පැහැදිලි කොට දක්වා තිබේ.

සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය යැයි කල්පනා කරමින් උකටලී වීම බුදුදහමේ අපේක්ෂාව නොවේ. අනිත්‍ය වූ වස්තුව තුළ පවා පවතින යථාර්ථවාදී සුන්දරත්වය දක්වමින්, එය ඉක්මවා යෑමට පෙළඹවීම බුදුදහමේ මුඛ්‍ය පරමාර්ථයයි. ලෞකික ජීවිතයේ කලා මාධ්‍යයන්ගෙන් අප බලාපොරොත්තුවන්නේ ඇස්, කන්, නාසා දී ඉන්ද්‍රියන් කුල්මත් කරවන, භාවයන් ප්‍රකෝපයට පත් කරවන රසාස්වාදනය යි. බුදුන් වහන්සේ එබඳු ස්වරූපයේ සෞන්දර්යය අගය නො කළහ.

“රුණණමිදං භික්ඛවේ අරියස්ස විනයෙ යදිදං ගීතං උම්මත්තකමිදං අරියස්ස විනයෙ යදිදං නච්චං.....................

යනුවෙන් ගීතය හැඬිමක් ලෙසත්, නෘත්‍ය උමතු වූවකුගේ ක්‍රියාවක් ලෙසත් දක්වා ඇත. මේ අනුව බුදුරදුන් සෑම ගීතයක් ම, සෑම නෘත්‍යක් ම ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසීම යුක්ති යුක්ත නොවේ.

බුදුන් වහන්සේ පොදු ජනයා අරභයා ස්වකීය ධර්මය දේශනා කිරීමේ දී සෞන්දර්යය ඉවහල් කරගනු ලැබුවේ ද ඒ නිසා ය.

බුද්ධ ධර්මය යථාර්ථවාදී ය. ඇත්ත ඇති සැටියෙන් දැන දැක ගැනීමට උගන්වන්නේ ය. එසේම බුදුදහම දර්ශනයක් වශයෙන් ද මධ්‍යස්ථ හේතුඵල දර්ශනය එහි පදනම වන අතර එය මධ්‍යම දේශනාවකි. බුදුදහම චරණයක්, ප්‍රතිපදාවක් වශයෙන් ද මධ්‍යස්ථ ය. ආර්යය අෂ්ටාංගික මාර්ගය එහිලා නිර්දේශ කරන අතර, එය මධ්‍යම ප්‍රතිපදාවකි. සෞන්දර්යය කලා රස වින්දනය හෝ වෙනත් යමක් දෙස අන්තගාමීව නොබලන, අන්තගාමී ප්‍රතිචාර නොදක්වන ධර්ම මාර්ගයක් ලෙස බුදු සමය හැඳින්විය හැකි ය. බුදුන් වහන්සේ සෞන්දර්යය පි‍්‍රය කළ බව ඓතිහාසික සාධක රැසක් ඔස්සේ තහවුරු කළ හැක. ඒ අනුව උන්වහන්සේ උපතේ සිට පිරිනිවන දක්වා කාලය ගෙවන්නේ සෞන්දර්යාත්මක ස්ථාන භාවිත කරමිනි.

විශේෂයෙන් ම, සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදුවන්නේ සල්ගසක් යට ය. උතුම් සම්බුද්ධත්වය සිදු වන්නේ ඇසතු වෘක්ෂය මුලයේ දී ය. පිරිනිවන සල් ගස් දෙකක් අතර මලින් පිරුණු උද්‍යානයක ය. ඒ අනුව බුදු සිරිතේ සුවිශේෂී අවස්ථා ත්‍රිත්වය ද ස්වභාවික අපේක්ෂා ඉටු කරගෙන සිදුවීම තුළින් සෞන්දර්යය හා සබඳතාව ප්‍රමුඛ ව ප්‍රකට කෙරෙයි. එපමණක් නොව විවිධ අවස්ථාවල බුදුන් වහන්සේ භාවනා කිරීමට, සමවත් සුවයෙන් වැඩ සිටීමට, ධර්ම දේශනා කිරීමට නිරතුරුව ම භාවිත කොට ඇත්තේ ස්වභාවික සෞන්දර්යයන් අනූන ස්ථානයෝ ය.

බෝසත් අවදියේ භාවනා කිරීමට උපයෝගී කර ගත්තේ වැලිතලාවලින් පිරුණු අලංකාර බිමක්තුළ ය. උන්වහන්සේ වේළුවනයේ උණ ගස්වලින් පිරුණු, ලෙහෙනුන් වාසය කරන කලන්දකනිවාප නම් ස්ථානයේ බොහෝ කලක් වැඩ හිඳ ඇත. එසේම සතා සිව්පා, ගහ කොළ, මල්, පලතුරු, අලංකාර වාසභූමි නිස්කලංක වන ලැහැබවලට බුදුන්වහන්සේ පි‍්‍රය කළ බවට සාධක හමුවේ. මහා පරිනිබ්බාන සූත්‍රයේ දී අලංකාර ස්ථාන කීපයක් පිළිබඳව හා එහි රමණීයත්වය අනඳ හිමියන්ට ප්‍රකාශ කොට තිබේ. වේසාලීස, චාපාල චෛත්‍යය, සාරානාත් චෛත්‍යය ආදී වශයෙන් මෙම ස්ථාන රමණීය බව බුදුන් වහන්සේ පැහැදිලි කොට තිබේ.