Print this Article


මෙත් ගුණ මහිමය

මෙත් ගුණ මහිමය


අප ජීවත්වන සමාජය හරියට දම්වැලක් වගේ. ඒ ඒ සමාජ සාමාජිකයන් දම්වැල් පුරුක් සේ ඔවුනොවුන් හා බැඳී සිටිනවා.

එක් පුරුකක් හෝ ගිලිහී ගියේ නම්, අකර්මණ්‍ය වූයේ නම්, දම්වැලෙන් අපේක්ෂිත කාර්යභාරය ඉටුකරගත නොහැකි යි. එසේ එක් සාමාජිකයෙක් හෝ නො යා යුතු මග ගියේ නම්, ඒ සමාජයේ විකෘති බවක් ඇතිවෙනවා. සමාජයේ කුඩා ම ඒකකය පවුලයි. අම්මා, තාත්තා, දරුවන් ඔවුනොවුන්ට බැඳි යුතුකම්, වගකීම් නිසියාකාරව ඉටු කළහොත් පමණයි සාර්ථක පවුලක් තුළින් මහා සමාජයට සවි ශක්තිමත් පාදමක් ගොඩනැගෙන්නේ.

ගෘහයක පාදම මව්පිය දෙපළයි. ආගමානුකූල ව ජීවිතය ගෙනයන ගුණ යහපත් මවකට, පියෙකුට තමන්ට ද හිත, අනුන්ට ද හිත වැඩ පිණිස වන සාර්ථක දරුවන් සමාජයට දායාද කිරීම අපහසු වන්නේ නෑ. අසල්වැසි, නෑදෑ, හිත මිතුරු ආදී සියලු සමාජ සම්බන්ධතා යහපත් ලෙස පවත්වා ගනිමින් සාර්ථක ජීවිතයක් ගෙවීම ද අපහසු වන්නේ නෑ. එවැනි උතුම් මව්පිය පදවියකට හිමිකම් කියන්නට නම්, ඒ සඳහා සුදුසුකම් සපුරාලන්නට ඕනෑ. අපේ බුදුහාමුදුරුවෝ මව්පිය දෙදෙන මහා බ්‍රහ්මයාට උපමා කොට වදාළා. ඒ මහා බ්‍රහ්මයා සතු මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සිව් බඹ විහරණ ගුණයන්ගෙන් ඒ දෙදෙනා පරිපූර්ණ වන නිසයි. එසේ නම් සදහම් මග යන, මව් පිය පදවිය උසුලන කවර කෙනෙකු වුව අවබෝධයෙන් යුතුව ඒ උතුම් ගුණ තමන් තුළ වර්ධනය කර ගත යුතුම යි.

මෙත්තා ගුණය නම් මෛත්‍රීය යි. හිත අහිත සියලු ලෝ සතුන්ට යහපතක් ම වේවායි හදවතින් ම පැන නැගෙන පිරිසුදු ප්‍රාර්ථනය මෛත්‍රීය යි. විශේෂයෙන් තම දරුවන් කෙරෙහි මව්පියන් තුළ නිරන්තරයෙන් මෛත්‍රී සිතිවිලි පැතිරෙනවා. කුසින් වැදූ, දහදිය මහන්සියෙන් වැඩූ සිය දරුවාට සේ ම සෑම දරුවෙකුට ම මෛත්‍රීය පතුරුවන්නට මවකට, පියෙකුට හැකිවනවා නම්, මේ ලෝකය මොනතරම් යහපත් වනු ඇතිද?

තමන්ගේ දරුවා අභිබවා තවත් දරුවෙක් අධ්‍යාපනයෙන් හෝ වෙනයම් තනතුරකින් ඉහළට යනවා නම් එය දකිනු නො හැකිව හදවත දවමින් නැගෙන ඊර්ෂ්‍යා සිතිවිල්ලෙන් කටයුතු කරනවා නම්, ඔහු හෝ ඇය සැබෑ මව්පිය පදවියට හිමිකම් කියන්නේ නෑ.

කිසිදු මවකට, පියෙකුට තමන්ගේ දරුවා දුකට පත්වනු දකින්නට නො හැකි යි. අනේක ගැහැට විඳිමින් දරුවන්ට යහපත සදන්නට වෙහෙසෙන්නේ එහෙයින් ම යි. තම දරුවා සේ ම, අන් දරුවන් ද දුකට, කරදරයට, පීඩාවන්ට පත්වන මොහොතක තම දරුවන්ට සේ ඔවුන්ට ද පිහිට වී කරුණාවන්ත විය හැකි නම්, එය උදාර මාතෘත්වය, පීතෘත්වය බබළවන තවත් මාහැඟි ගුණාංගයක්. දරුවෙකුගේ සැපත, සතුට තරම් සතුටක් මවකට, පියෙකුට තවත් නෑ. ඒ මුදිතා ගුණය සෑම දරුවෙකුගේ ම දියුණුවේ දී පවත්වන්නට හැකි ලෙස පුරුදු පුහුණු විය යුතු යි. සිය දරුවාගේ දුක, සන්තාපය, ඔවුන් ලබන සතුට තමන්ගේ ම සතුට ලෙසින් දකින්නට හැකි උපේක්ෂා සහගත බව, විඳදරා ගැනීම අන් දරුවන් කෙරෙහි ද පැවැත්වීම තුළ ඇතිවන සංහිඳීම සමාජයක දියුණුවට හේතු වනවා.