Print this Article


දක්ෂයෙක් වෙන්න අදිටන් කර ගන්න

දක්ෂයෙක් වෙන්න අදිටන් කර ගන්න

කරණීය මෙත්ත සූත්‍රයේ ‘සක්කො’ යනුවෙන් පදයක් වෙයි. එනම්, දක්ෂයෙක් වීම යි. සක්කො කියන පදය හෙවත් දක්ෂයෙක් වීම නිවන් සම්පත් ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කරුණක්. අධ්‍යාපනය, රැකීරක්ෂාව, දෛනික වැඩකටයුතු සියල්ලක් ම සාර්ථක වන්නේ දක්ෂයෙක් වුණොත් පමණ යි. දක්ෂකමට බුදු දහමේ සුවිශේෂී තැනක් තිබෙනවා.

ඒ නිසා කුඩා දරුවාගේ පටන් ගිහි, පැවිදි කවුරුත් දක්ෂ විය යුතු යි. බුදුරජාණන් වහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේ අමතමින් මෙය දේශනා කර වදාළා. ඔබලාගේ සසුන් ගුණ දියුණු කර ගැනීම සඳහා මාර්ග , බාධක, අපල සංසිඳුවා ගැනීම සඳහා අමනුෂ්‍ය කරදර දුරු කර ගැනීම සඳහා කවුරුත් මෛත්‍රී භාවනා කළ යුතු යි යනුවෙන් දක්ෂකම පැහැදිලි කළා. ‘සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! යනුවෙන් සිය දහස්වර සිතෙන් මෙනෙහි කරන්න පුරුදු වන්න. එවිට දක්ෂකම, සක්‍ර බව හොඳින් වැඩෙයි. අනිවාර්යෙන් මරණින් මතු දෙව්ලොවට යන්නට පුළුවන්. මෙලොවදීමත් මෛත්‍රී භාවනාවේ අනුසස් ද හොඳින් ලැබෙයි.

බුදු දහමට අනුව කටයුතු කරන කිසිවෙකුට වරදින්නේ නැහැ. පංච දුශ්චරිතයෙන් වැළකිය යුතු යි. දාන ශීලා දී පින්කම් කළ යුතු යි. පෝයට අටසිල් ගත යුතු යි. මව් පියන්ට, ස්වාමියාට සලකන්න, ස්වාමි දියණිය ගැන බලන්න, දරුවන්ට නිසි මඟ පෙන්වා දිය යුතු යි. කාටවත් කරදරයක්, පීඩාවක් නැතිව ජීවත් විය යුතු යි. ඒ සඳහා මෛත්‍රී භාවනාව වැදගත්. මේ සඳහා දක්ෂකම ඉතාම වැදගත්. ඔබ අප සියලු දෙනාම පිනට , දහමට , ගුණයට ලැදිව කටයුතු කරන විට, දක්ෂකම ඉබේම දියුණු වී යන්න පුළුවන්. දක්ෂ පුද්ගලයෝ , මෛත්‍රී අදහස් ඇත්තෝ පමණක් මනුලොව, දෙව්ලොව, බඹලොව උපත ලැබුවා. සෝවාන්, සකෘදාගාමී , අනාගාමී , අර්හත් මාර්ග ඵලවලට පත් වුණා. නිවනට පත් වුණා. එසේම ලොවුතුරා බුද්ධත්වයට, පසේ බුද්ධත්වයට පත් වුණා. ඒ අනුව සලකාගෙන කවුරුත්, දක්ෂකම අනිවාර්යයෙන් දියුණු කර ගත යුතු ම යි. කුමන දෙයකටවත් නැවත පසුගාමී නොවී කම්මැළි නොවී , බලවත් උත්සාහය මතු කොටගෙන දක්ෂකම පෙරටුවට ගෙන වැඩ කළ යුතු යි. එයට ස්ත්‍රී , පුරුෂ, ගිහි, පැවිදි භේදයක් නැහැ.

කල්වේලා ඇතිව උදෑසන පිබිදෙන්න, රාත්‍රී දහයට පමණ නිදා ගන්න, තම රැකියාවට කලට වේලාවට යන්න, අවංක භක්ත්‍යාධරයෙන් රාජකාරී කටයුතු කළ යුතු යි. පාසලට යන දරුවන් නියමිත වේලාවට යා යුතු යි. ගුරුවරුන්ට ගෞරවය පුද කළ යුතු යි. හොඳින් ඉගෙන ගත යුතු යි. කළකෝලාහල, කැරැලි ආදිය ඇති නොකළ යුතු යි. අසභ්‍ය දර්ශන නොබැලිය යුතු යි. තමාගේ නුවණ දියුණුව කරා යොමු කර ගත යුතු යි. පිරිහීමට යන දේ භාවිත නොකළ යුතු යි. උසස් අධ්‍යාපනය දක්වා තම නුවණ දියුණු කරගනු ලැබුවොත් හොඳ තත්තවයකින් රටේ ජීවත් විය හැකි යි . එසේ නොවුණොත් දුගී දුප්පත් අසරණ භාවයට පත් වෙනවා. අධ්‍යාපන කාල වකවානුව තුළ ඉතාම හොඳ දක්ෂයෙක් සේ කටයුතු කළොත්, තමාට කිසිවකින් අඩු පාඩුවක් නොවී දක්ෂකම ඉස්මතු කරගෙන ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා.

ගෞතම බෝසතාණන් වහන්සේ බෝධි සම්භාර පුරන පළමු ආත්ම භාවයේ දී ම දිවි හිමියෙන් අති දක්ෂ ලෙස, උත්සාහයෙන් ජීවිතය ගෙන ගියා. මහා සාගරයේ දී තම මෑණියන් කරමතින් තබාගෙන පිහිනමින් එතෙර වූයේ කෙතරම් දක්ෂයෙක් වූ නිසාද? එය ද බුද්ධත්වය පිණිස හේතු වාසනා වුණා. කරදර කම්කටොළු බාධක ඉවත් ව සිල්වන්තබව, ගුණවන්ත බව හොඳින් දියුණු වී ගියා. පාරමී ගුණ දියුණුවට ද තමන්ගේ වාසනාව උදා වුණා. මේ ආදර්ශයට ගෙන පිනට, දහමට, ගුණයට ලැදිව කටයුතු කළොත්, කිසිවකින් අඩු පාඩුවක් වන්නේ නැහැ.

සම්මා සම්බුද්ධ ශාසනයක ගුණ දියුණු කර ගැනීමට අවශ්‍ය සීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණු කරගන්නට දක්ෂ බව අවශ්‍ය වෙයි. දාන පාරමිතාව, සීල පාරමිතාව, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, වීර්යය පාරමිතාව, ඛන්ති පාරමිතාව, සත්‍ය පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව සහ උපේක්ෂා පාරමිතාව ආදී දස පාරමිතා හොඳින් දියුණු කර ගැනීම සඳහා උපනිශ්‍රය වන්නේ ද දක්ෂ බව යි. එමෙන් ම කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව ආදී ගුණ දියුණු වන්නේ ද දක්ෂකම මත යි. එමෙන්ම ආර්ථික වශයෙන් රැකියාවේ දියුණුව, ගොවිතැන් කටයුතු, ගව පාලනයේ දියුණුව, ආධ්‍යාත්මික බාහිර දියුණුව සැලසෙන්නේ ද දක්ෂ පුද්ගලයාට පමණ යි.

බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන මහා සංඝයා වහන්සේ අධ්‍යාපනයෙන් ඉහළට ගොස්, නීති ගරුකව , විනය ශික්ෂාකාමිත්වයෙන් යුක්තව , සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන , දියුණු කරගෙන, ලෝවැස්සන්ට අවවාද අනුශාසනා ලබා දෙමින් කටයුතු කරනවා. සැරියුත්, මුගලන්, ආනන්ද, කාශ්‍යප වැනි මහා රහතන් වහන්සේලා පුණ්‍යවන්ත , ගුණවන්ත, නැණවන්ත , තේජවන්ත, බහුශුැතභාවයට පත් වුණේ දක්ෂකම මත යි.

දක්ෂකම මත පිහිටාගෙන බුදුන් වැඳ, මල් පහන් පූජා කළොත්, දාන මාන පූජා කළොත්, ලැබෙන පින අති විශාල යි. සසරෙන් ගැලවෙන වගකීම තමන් ම බාර ගත යුතු යි. තණ්හාවෙන්, තරහවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් ජීවත් වුණ අයට දහමෙන් ප්‍රයෝජන ගන්නට බැහැ. එවිට දක්ෂකම යටවී යයි. තවද බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව යටහත් පැවතුම් ඇතිව නිහතමානී පුද්ගලයෙක් වීම , ගුණමකුකම ඉවතලා වාසනාවන්තයෙක් වීමත් දක්ෂ පුද්ගලයාටම හිමි වේ.

සංකිච්ච ස්වාමීන් වහන්සේ කෙතරම් දක්ෂ ද? යනුවෙන් සඳහන් කළොත් උන්වහන්සේ අතීත සංසාරයේ පාරමී ගුණ දියුණු කළ උත්තමයෙක්. සංසාරයේ සිදු කළ පින් බලයෙන් දක්ෂකම ඉස්මතුව අවුරුදු හතේ දී මහණ වී, රහත් බවට පත්ව, අති විශිෂ්ඨ සේවයක් සිදු කළා.

සංසාරයේ සිටීම සුබදායක නොවන අතර අපා දුකට පත් වෙනවා, රෝගීව, ජරා ජීර්ණ වෙනවා, මරණයට පත් වෙනවා. මාස ගණන්, අවුරුදු ගණන් ඇඳමත වැතිර දුක් විඳින්න සිදු වෙනවා. මෙයින් නිදහස්ව, අපා දුකෙන් නිදහස් ව සුගතිගාමීව නිවනට පත් විය යුතු යි. මේ අදහස සිතේ තබාගෙන නිවැරැදි පුද්ගලයෙක්, දක්ෂයෙක් වෙන්න තමන් අධිෂ්ඨාන තබා ගන්න. තමන් නිරතුරුවම ‘නිවන් සුව’ බලාපොරොත්තු වන බැවින් දක්ෂ පුද්ගලයෙක් වන්නෙමි යනුවෙන් සිතන්න. මෛත්‍රී භාවනාව සම්පූර්ණකරගෙන ඉදිරියට ගියොත්, කාටවත් වරදින්නේ නැහැ. හොඳට ගුණ දහම් වඩා වර්ධනයෙන් අවසන් හුස්ම පොද දක්වා ගමන් කළ හැකි යි. සියලු දේ ම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා උපනිශ්‍රය වෙයි. ධර්මය අවබෝධය සඳහා දක්ෂකම ඉවහල් වෙයි. එය නිවන් මඟ, විශුද්ධි මාර්ගය , ආර්ය මාර්ගය නම් වෙයි. එසේනම් මේ ගැන කල්පනාකර සෑම දෙනාම තම ගුණ, වාසනාව වැඩි වැඩියෙන් දියුණු තියුණුවෙන් උතුම් නිවන දක්වා යා හැකි යි. නිවන දෙසට යන සැවොම ඡන්ද ඍද්ධිපාදය එනම් නිවන දෙසට යන බලවත් කැමැත්ත දියුණු කළ යුතුයි. හැම දෙයක්ම නුවණින් කල්පනා කර, පිරික්සා කර, කල්පනාවෙන් ඉදිරියට යා යුතු යි. එය වීමංස ඍර්ධිපාද වන අතර එයත් අනිවාර්යෙන් දියුණු කළ යුතු යි. මෙලෙස සතර ඍර්ධිපාද වැඩෙන සේ කටයුතු කර මාර්ග ඵල අවස්ථාව දක්වාම කරදරයක් නැතිව ඉදිරියට යා හැකි යි.