Print this Article


අනුරාධපුර ස්වර්ණමාලී මහ සෑ රදුන් වෙත නව චූඩාමාණික්‍ය සහ පළඳනාව පැළැඳවීම සහ නිරාවරණය 25,26 දිනවල දී

අනුරාධපුර ස්වර්ණමාලී මහ සෑ රදුන් වෙත නව චූඩාමාණික්‍ය සහ පළඳනාව පැළැඳවීම සහ නිරාවරණය 25,26 දිනවල දී


අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑයේ තැන්පත් කිරීමට නියමිත නව චූඩා මාණික්‍යය මහජනතාවට වන්දනා පූජෝපහාර පවැත්වීම සඳහා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ තැන්පත් කර තිබිණි. එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එම චූඩා මාණික්‍ය වන්දනාමාන කර ගැනීම ඉකුත්දා (19) සිදුවූ අවස්ථාව. එම අවස්ථාවට රුවන්වැලි මහ සෑ චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන නාහිමියෝ ද එක්වූහ.

අනුරාධපුර අසදෘශ ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත නව චූඩා මාණික්‍ය සහ පළඳනාව මහජන පූජෝපහාර මධ්‍යයේ පැළැඳවීම හා නිරාවරණය කිරීම මෙම මස 25 සහ 26 දිනවලදී සිදු කෙරේ.

අසිරිමත් ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ විෂයෙහි ශ්‍රී විභූතිය සහ ආරක්ෂාව මූලික කර ගනිමින් කොත් වහන්සේගේ පිළිසකර කිරීමේ කටයුතු විශ්ව පාරමී පදනමේ පූර්ණ අනුග්‍රහයෙන් ආරම්භ කරන ලදී.

දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක්‍රිස්ට්ස් (Rock crystal) නමැති පළිඟු පාෂාණ සැපයීමේ සහ කැටයම් කිරීමේ කටයුතු සඳහා ප්‍රචලිත ඔස්ට්‍රියානු සමාගමක් වන (Swarovski) සමාගම හරහා ඉතා වටිනා දුර්ලභ පළිඟුවක්, චූඩාමාණික්‍යය අති නවීන තාක්ෂණය මගින් කැටයම් කිරීම සඳහා සපයා ගැනීමට විශ්ව පාරමී පදනම සමත් විය.

නව චූඩා මාණික්‍ය හා සම්බන්ධිත පාදම පිරිසුදු රනින් නිර්මාණය කිරීම සඳහා සිංගප්පූරු සමාගමක් වෙත විශ්වපාරමී පදනම මගින් පවරන ලද අතර හැඩගන්වනලද ස්වභාවික නිල් මැණික් (Blue sapphire) සහ රතු මැණික් (Red Rubies) ගල් 4900 ක් නව චූඩා මාණික්‍ය සහිත පාදමට ඔබ්බවමින් පිරිසුදු රත්‍රං කිලෝ 28 කට වඩා වැඩි බරකින් යුතුව එම පාදම නිර්මාණය කර ඇත.

අසිරිමත් ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ අභිනවයෙන් රන් ආලේපිත කොත් වහන්සේ මත නව චූඩා මාණික්‍ය සහිත පාදම පැළැඳවීම සහ රන් ආලේපිත කොත් වහන්සේ නිරාවරණය මෙම 25,26 දිනවලදී සිදු කෙරේ.

දැනට පවත්නා පලුදු වූ සහ දුර්වර්ණ වූ චූඩා මාණික්‍ය ඇතුළු පාදම ඉමහත් ගෞරවයෙන් පහතට වැඩමකර වෙසෙසින් සකසන ලද ප්‍රදර්ශන ආසනයක් මත පෞරාණික පූජනීය වස්තුවක් ලෙස මහජනතාවගේ වන්දනා පූජෝපහාරයට පහසුවන පරිදි තැන්පත්කර තැබේ.