Print this Article


පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී කවිය

පහන් මග

මෙත් මල් සුවඳ හැම අතකම විසිරේවා
සිල් ගුණ සුවඳ හැමතැනකම පැතිරේවා
කරුණා ගුණය හැම හදකම ඇති වේවා
මේ තුන් ලොවට හැමදා අසිරිය වේවා

උසස් පහත් යන භේදය දුරු වේවා
පව් කම්වලින් තොර ලක්දිව බැබළේවා
පින්කම්වලට හැමගෙම සිත යොමු වේවා
මේ පින් බලෙන් සැමට ම සෙත සෑදේවා

****

සැබෑව

නෙතු ගාව පේන ලෝකයක්
සිත ගාව
ලොවම
මායාවක්
අඟර දඟර
අරුමෝසම් ජීවිතේ
සිතේ රඟපෑමක්
මොහොතක්ම හැම
මළ ගමක් නැති
මරණයක්

****

දම්සක් පැවතුම

දුකින් බර වූ භවයේ ඉරණම
පිළිපැදිය යුතු දිවියේ ඇවතුම
දෙසූ දහම් කඳ සසර මඟ නිම
ඉසිපතන ඉම මිගදාය බිම

සියලු සැප දී කයක් සැනසුම
මහා දුකක් විඳ සිතින් ඉවැසුම
පලක් නොමැතිය මැදය විසඳුම
අරි අටගි මඟ ලෙසට පැවසුම

****

හෙළ බොදු වැසියනි

රටවට යනෙන විට නිරතුරු නෙත ගැටෙන
සරණක් යදින අසරණ අය දැක මෙතින
පිහිටක් නොවන්නට දෙවරක් නොම සිතන
යහගුණ පිරුණ බොදු වැසියෙකු වෙමු නිතින

****

තාත්තා

පෙමාදර සිත වසන් කරගෙන වරද දුටු විට තාත්තා
පමා නැති දඬුවම් ලබා දී සුමග හෙළි කළ තාත්තා
අමා මී වැනි දහම් පොත පත අතට හුරු කළ තාත්තා
නිමා නැති සංසාර සයුරෙන් එතෙර වනු මැන තාත්තා

****

ලෝකය සහ මිනිසුන්

මාරයා විසින් ලෝකය වසනා ලද්දේ
දුක මත පිහිටි ලෝකය දුක් දෙයි නිතිනේ
තණ්හා ක්ලේශයෙන් එල්ලෙන ලොව පැද්දේ
ලෝකය ජරාවෙන් නිති පිරිලා ඇත්තේ

එහෙව් ලොවක කුමටද නෙක නැටුම් නටලා
පලවෙද වස්තු නෙක රැස්කර පොදි බැඳලා
නිති මරු වසඟයට යනවා ලොව සැවොමා
මාරයා පැරදුමයි කළ යුතු සෑම කෙනා

****

මව්පියන්ට සලකමු

අහසේ පුන් සඳයි ඔබෙ ආදර අම්මා
ඔබගේ දියුණුවට කළ වැඩ නැත නිම්මා
නිවසේ රජුය ඔබගේ පියතුම පෙම්මා
දෙගුරුන් වඳීමු විලසින් සම්බුදු සම්මා

මව්පිය ගුණ දකින දරුවෝ බිහි වේවා
සංසාරය ද දෙපිරිසගෙම කෙටි වේවා
අම්මා කියන නම තුන්ලොව බැබළේවා
තාත්තා ලොවේ සැමදා රජ වේවා

****

මාස්පොත ලොකු හාමුදුරුවෝ

නීතිය විනය බුදු සසුනේ රුව නෙළුවා
කාසිය ධනය නොව පීඩිත දුක බැලුවා
භීතිය අපේ දුරු කළ රුව මරු හෙළුවා
බෝධිය මාස්පොත අකලට කොළ හැලුවා

දැන බණ දහම් නිසි යන මග දරාගිය
පින පව කියා දී සිත් තුළ නසා විෂ
ගෙන දුන් මිණිපහන නිවුණත් අමාරස
සැනසුම ලැබේවා නිවනේ නිරාමිස

****

උඳුවප් පොහොය

සිරිමා බෝධි අංකුරයක් ගෙන පැමිණී
අනුබුදු මිහිඳු මාහිමියන්ගේ නැඟණී
අඳුරින් මුදා ඇති කර සසුනත් මෙහෙණී
වනිතා සේවෙ සැලසුව සඟමිත් තෙරණී

උඳුවප් පොහොය දින විය මේ සිදු වී ම
ලක් ජනතාව ලැබුවා ඉන් සැනසී ම
මේ වැනි උතුම් මෙහෙයක් ඉටු කරදී ම
සිහිපත් කළ යුතු යි දම් සෝ රජු නා ම

****

නිවැරැදි මග

දානය පිරිත මංගල හැම තැනක දි ම
අවමංගල්‍ය උත්සවයක පළමුව ම
පන්සල් ගිය විට ද තෙරුවන පුදන සැම
පන්සිල් ගැනුම සිරිතකි එය බොදුනු කම

කුසලය පමණක්ම කළ ය ුතු යැයි සිතුව
උගතුන් සිටී අද බිම් මල් මෙන් මතුව
හිනි මග නැගුන පසු පෙරළන්නේ නැතුව
යන මග හැඳින යමු කව්රුත් එක මුතුව