Print this Article


කිරුවත් ලුණු බර තරාදියක් නෑ රස හඳුනන්නේ

කිරුවත් ලුණු බර තරාදියක් නෑ රස හඳුනන්නේ

"නාගසේන මහ රහතන් වහන්සේගේ ප්‍රඥා භාවයත්, ඉවසීමත්, අවබෝධයත්, ශාස්තෘ ගෞරවයත් අදහාගත නොහැකි තරම් විශ්මිත ය. සැබැවින්ම නාගසේන මහරහතන් වහන්සේ විනා වෙන කෙනෙකුට නම් මෙම මිළිඳු රජුගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට නොහැකි වනු ඇත."

නාගසේන මහරහතන් වහන්සේ මුණ ගැසුණ මිළිඳු රජු නැවත මෙසේ ඇසුවේ ය.

“ස්වාමීනි, නාගසේනයන් වහන්ස, කිම? මේ දුක නිරුද්ධ වී යන්නේ ද, යළි වෙනත් දුකක් නූපදින්නේ ද යන කරුණ පිළිබඳ ඔබවහන්සේ වදාරණවා නොවේ ද?

“මහරජාණෙනි, අපගේ පැවිදි බව තිබෙන්නේ ඔය කාරණය පිණිස තමයි”

“ නූපන් අකුසල් ආදියත්, උපන් අකුසල් ආදියත් දුරුකිරීම පිණිස, නූපන් කුසල් ඉපිදවීම පිණිස, උපන් කුසල් වැඩිදියුණු කිරීම පිණිස මුල සිට ම වීරිය කළ යුතු ද? එහෙම නැත්නම් අකුසල් ආදිය හටගත් අවස්ථාවන් හි දී ඒ ඒ තන්හි වීරියෙන් යමක් කළ යුතු නම්, ඒ වීරිය කළ යුතු ද?”

“මහරජාණෙනි, අවස්ථානුකූල ව බලා සිට කරන වීරියෙන් අදාළ කාරණය ඉෂ්ට වන්නේ නැත. මුල සිටම අඛණ්ඩ ව කරන වීරියෙන් තම යි අදාළ කාරණය ඉටුවන්නේ?”

“ස්වාමීනි උපමාවක් වදාළ මැනැව“

“මහරජාණෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ? යම් විටෙක ඔබට පිපාසය ඇතිවෙනවා ද? “මට පිපාසයි පැන් බොන්නට ඕන.” කියා සිතෙනවා. එවිට ද? ඔබ ළිඳක් කණින්නේ? එවිට ද ?ඔබ පොකුණක් කණින්නේ?”

“නැත ස්වාමීනි”

ඒ වගේ තමයි මහරජතුමනි, වීරියෙන් යමක් කළ යුත ªද, ඒ සඳහා කලින් වීරිය නො කොට එයට අවස්ථාව ලද කල්හි , වීරිය කිරීම සාර්ථක දෙයක් නොවේ. වේලාසනින් ම වීරිය කරමින් සිටිය යුතුයි. එයයි සාර්ථක වන්නේ?”

“ස්වාමීනි, තවත් උපමාවක් වදාළ මැනව.”

“මහරජාණෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ?” යම් විටෙක ඔබට කුසගින්න ඇතිවෙනවා. එතකොට ද ඔබ ‘මට බත් අනුභව කරන්නට ඕන’ කියලා කුඹුරු සී සාන්නේ? වී වපුරන්නේ? ධාන්‍ය රැස් කරන්නේ?”

නැත ස්වාමීනි”

“ඒ වගේ තමයි මහරජතුමනි, වීරියෙන් යමක් කළ යුතු ද, ඒ සඳහා කලින් වීරිය නොකොට එයට අවස්ථාව ලද කල්හී වීරිය කිරීම සාර්ථක දෙයක් නොවේ. වේලාසනින් ම වීරිය කරමින් සිටිය යුතුයි. එයයි සාර්ථක වන්නේ.”

“ස්වාමීනි, තවත් උපමාවක් වදාළ මැනව“

“මහරජාණෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ? යම් විටෙක ඔබට යුද්ධයකට මුහුණ දෙන්නට වෙනවා. එවිට ද ඔබ ඇතුළු නුවර වටේට දිය අගල තනන්නේ? ප්‍රාකාර බඳින්නේ? දොරටුව කරවන්නේ? මුර අට්ටාල කරවන්නේ? ධාන්‍ය රැස් කරවන්නේ? එවිට ද ඔබ ඇත් සේනාව පුහුණු කරවන්නේ? අශ්ව සේනාව පුහුණු කරවන්නේ? රථ සේනාව පුහුණු කරවන්නේ? දුනු සේනාව පුහුණු කරවන්නේ? කඩු සේනාව පුහුණු කරවන්නේ?”

“නැත ස්වාමීනි”

“ඒ වගේ තමයි මහරජතුමනි, වීරියෙන් යමක් කළ යුතු ද?, ඒ සඳහා කලින් වීරිය නො කොට එයට අවස්ථාව ලද කල්හි වීරිය කිරීම සාර්ථක දෙයක් නොවේ. වේලාසනින් ම වීරිය කරමින් සිටිය යුතුයි. එයයි සාර්ථක වන්නේ.

මහරජාණෙනි , භාග්‍යවතුන් වහන්සේ ඔය කාරණය මේ අයුරින් වදාළ සේක.

පටිගච්චේච නං කයිරා

යං ජඤ්ඤා හිතමත්තනෝ

න සාකටිකචින්තාය

මන්තා ධීරෝ පරක්කමේ

තමාගේ හිතසුව පිණිස ඇති යමක් ඇද්ද?, ඒ දන්නා තැනැත්තා විසින් මුල සිට ම වීර්යය කළ යුත්තේ ය. නුවණැති ප්‍රඥාවන්ත තැනැත්තා වීරිය කරන්නේ මඟ වැරදුණු ගැල්කරුවා සිත සිතා සිටින අයුරින් නොවේ.

යථා සාකටිකෝ නාම

සමං හිත්වා මහාපථං

විසමා මග්ගමාරුය්හ

අක්ඛච්ජින්නෝවඣායති

ගැල්කරුවන් යා යුතු ප්‍රධාන සම මාර්ගය අත්හැර විෂම වැරැදි මඟකට පැමිණෙයි. වැරැදි මඟට පිළිපන් කරුණ හේතුවෙන් ගැලෙහි අකුර බිඳී ගිය විට චිත්ත වික්ෂෝපයෙන් පසුවන්නේ යම් සේ ද?

ඒවං ධම්මා අපක්කම්ම

අධම්මමනුවත්තිය

මන්දෝ මච්චුමුඛං පත්තෝ

අක්ඛච්ඡින්නෝ ච සෝචති

මෙසේ යා යුතු ධර්මයෙන් බැහැර වී අධර්මයට අනුව දිවි ගෙවූ බාල තැනැත්තා මරණය අභියසට පැමිණි කල්හි ශෝක කරන්නේ අකුර බිඳී ගිය ගැල්කරුවා ශෝක වන ලෙසිනි.

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක” මිළිඳු රජු පැවසී ය.

නැවත මිළිඳු රජු මෙසේ ඇසුවේ ය

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, මේ ධර්මයන් එකට එක් වී තිබෙද්දී එහි ඇති දේ වෙන් වෙන් කොට වෙන් වෙන් වශයෙන් පැහැදිලි කළ හැකි ද? එනම් මෙය ස්පර්ශය යි. මෙය විඳීම යි. මෙය සංඥාව යි. මෙය චේතනාව යි. මෙය විඤ්ඤාණය යි. මෙය විතර්කය යි. මෙය විචාරය යි කියා.”

“මහරජාණෙනි, මේ ධර්මයන් එකට තිබෙන විට. වෙන් වෙන් කොට වෙන් වෙන් වශයෙන් මෙය ස්පර්ශය යි, මෙය විඳීම යි, මෙය සංඥාව යි, මෙය චේතනාව යි, මෙය විඤ්ඤාණය යි, මෙය විතර්කය යි, මෙය විචාරය යි කියා පෙන්වන්නට බැහැ”

“ස්වාමීනි උපමාවක් වදාළ මැනව.”

මහරජාණෙනි, එය මෙවැනි දෙයකි. රජතුමාගේ අරක්කැමියා රස නැති දෙයක් හෝ රස ඇති දෙයක් හෝ, වෑංජනයක් පිණිස පිළියෙළ කරද්දී එයට දී කිරිත් දමයි. ඉඟුරුත් දමයි. දුරු පහේත් දමයි. මිරිස් දමයි, වෙනත් රසකාරකත් දමයි. එවිට රජු ඔහුට මෙසේ පවසයි. “මට මේ වෑංජනයෙන් දී කිරි රස වෙන ම ගෙන එන්න. මට ලුණු රස වෙනම ගෙන එන්න. මට ඉඟුරු රස වෙනම ගෙන එන්න. මට දුරුපහේ රස වෙනම ගෙන එන්න. මට මිරිස් රස වෙනම ගෙන එන්න. මට ඒ දැමූ සියල්ලේ ම රස වෙන වෙන ම ගෙන එන්න’ කියා. ඉතින් මහරජාණෙනි, ඒ ඒ රසයන් එකට එකතු වී තිබෙන වෑංජනයෙහි, රස වෙන් වෙන් කොට ඇඹුල් ගතිය හෝ ලුණු ගතිය හෝ තිත්ත ගතිය හෝ කටුක ගතිය හෝ කසට ගතිය හෝ මිහිරි ගතිය හෝ වෙන් කොට දෙන්නට පුළුවන් ද?”

” බැහැ ස්වාමීනි, ඒ සියලු රසයන් එකට එක් වූ වෑංජනයෙහි රස ඇඹුල් ගතියට හෝ ලුණුූ ගතියට හෝ තිත්ත ගතියට හෝ කටුක ගතියට හෝ මිහිරි ගතියට හෝ වෙන් වශයෙන් ගෙනෙන්නට බැහැ. එසේ නමුත් ඒ ලුණු, මිරිස් ආදියෙහි ඇති ස්වභාවය එය අනුභව කරද්දී වැටහේ.”

“මහරජාණෙනි, එබඳු ම තමයි. මේ ධර්මයන් එකට තිබෙන විට, වෙන් වෙන් කොට, වෙන් වෙන් වශයෙන් මෙය ස්පර්ශය යි. මෙය විඳීම යි. මෙය සංඥාව යි. මෙය චේතනාව යි. මෙය විඤ්ඤාණය යි. මෙය විතර්කය යි. මෙය විචාරය යි කියා පෙන්වන්නට බැහැ. නමුත් එය අත්දකින විටදී ඒ ඒ දෙයට අදාළ ස්වභාවය තේරුම් ගත හැකි ය.”

ඉන්පසු නාගසේන තෙරුන් වහන්සේ මෙසේ ප්‍රශ්න ඇසූ සේක

“මහරජාණෙනි, ලුණු යනු ඇසට පෙනෙන දෙයක් නේ ද?”

“එසේය ස්වාමීනි, ලුණු යනු ඇසට පෙනෙන දෙයකි”

“මහරජාණෙනි, දැන් ඔබ ලුණු රසය දැන ගත්තා නේ ද?”

“ස්වාමීනි, ලුණු රස යනු දිවෙන් දැනගත යුතු දෙයක් නොවේ ද?

“එසේය මහරජාණෙනි, දිවෙන් දැනගත යුතු දෙයකි”.

“ඒ කියන්නේ ස්වාමීනි, සෑම ලුණු වර්ගයක් ම දිවෙන් දැනගත යුතු ද?”

“එසේය මහරජාණෙනි, සෑම ලුණු වර්ගයක් ම දිවෙන් තමයි විශේෂයෙන් දැනගන්නේ”

ස්වාමීනි, සෑම ලුණු වර්ගයක් ම විශේෂයෙන් දැනගන්නේ දිවෙන් නම්, ගැල්වලින් ගවයෝ ලුණු අරගෙන එන්නේ කුමක් සඳහා ද? ලුණු විසින් ම ලුණු ගෙන ආ යුතු නොවේ ද?”

මහරජාණෙනි, ලුණු විසින් ම ලුණු අරගෙන එන්නට බැහැ. නමුත් මේ ලුණු භාජනවලට දමා එකට එකතු කර ගැනීමෙන් ගෙන ආ හැකි ය. ඒ ලුණු වර්ගවල වෙනස්කම් නම්, ඒ අයුරින්ම තිබේ. ලුණුවල බරකුත් තිබේ.

මහරජාණෙනි, එතකොට ලුණු තරාදියෙන් කිරන්නට බැරි ද?.”

”ස්වාමීනි, ලුණුු තරාදියෙන් කිරන්නට පුළුවනි.”

”මහරජාණෙනි ලුණු රසය තරාදියෙන් කිරන්නට බැහැ. තරාදියෙන් කිරන්නේ ලුණුවල ඇති බර පමණි.” යැයි නාගසේන මහරහතන් වහන්සේ වදාළ සේක.